“රට වෙනුවෙන් ඉන්නේ මන්ත්‍රීවරුන් 65ක් විතරයි. 148ක් ඉන්නේ රාජපක්ෂලා වෙනුවෙන්” – රාසමාණික්කම්

0
486

රට වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරුන් 65 දෙනෙකු පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, නියෝජ්‍ය කතානායක ධූරය සඳහා රංජිත් සියඹලාපිටිය මහතා නැවත තෝරා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා රංජිත් සියඹලාපිටිය සහ ඉමිතියාස් බාකීර් මාකාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා කෙරුණු අතර ඉන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී රංජිත් සියඹලාපිටියට මහතාට ඡන්ද 148ක් සහ ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට ඡන්ද 65ක් ලැබිණි.

ඉතිරි මන්ත්‍රීවරුන් 148 දෙනා සිටින්නේ රාජපක්ෂලා ආරාක්ෂා කිරීම සඳහා බව ඔහු පැවසීය.

රාසමාණික්කම් මහතා පෙන්වා දුන්නේ, නියෝජ්‍ය කතානායකවරයා පත් කර ගැනීමේදී සිදු වූ ක්‍රියාදාමය ‘නාටකයක්’ බව ය.

“අද නියෝජ්‍ය කතානායකවරයා තේරීමේදී මේ පාර්ලිමේන්තුව ඇතුළේ කරගෙන යන නාටකය ඉතාමත් පැහැදිලියි. අද උදේ අපි දැක්කා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා තනි තනි පුද්ගලයින්ගෙන් අහනවා අණ්ඩු පක්ෂයෙන් සියඹලාපිටිය මහත්තයාට සපෝර්ට් කරමු ද කියලා. බලද්දි විපක්ෂයේ ඉන්නේ.

අපි දැක්කා ශ්‍රීලනිපය සපෝර්ට් කරනවා සියඹලාපිටිය මහත්තයාට. පොදුජන පෙරමුණේ ජී.එල්. පීරිස් කියනවා සපෝර්ට් කරනවා කියලා.

අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්නේ මන්ත්‍රීවරුන් 65යි. මන්ත්‍රීවරුන් 148ක් ඉන්නේ රාජපක්ෂලා වෙනුවෙන්. මේ රාජපක්ෂලා බේරගන්න ඉන්නේ.

අද මට කියන්න තියෙන්නේ පැහැදිලිව ම, මොන විශ්වාසභංගය ගෙනාවත් මේ ඉන්න ඩ්‍රාමා කාරයෝ, මේ ඉන්න හොරු, මේ බොරුකාරයෝ මේ රාජපක්ෂට විරුද්ධව ඡන්ද දෙන්න එන්නේ නැහැ.”

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද අද (මැයි 5) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

“විපක්ෂය හැටියට අද අපි ඉදිරිපත් කළා ඉම්තියාස් බාකීර් මැතිතුමාව. එතකොට මේ මැතිතුමන්ලා විපක්ෂය නියෝජනය කරනවා කියලා තමයි මේ පැත්තට ඇවිල්ලා වාඩි වුණේ. එතකොට ඒ පැත්ත නියෝජනය කරමින් සහයෝගය දෙන්නේ නැතුව ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ එකඟත්වයකින් එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරපු එකෙන් ඒගොල්ලෝ පෙන්නුවා ඒගොල්ලෝ ඉන්නේ ආණ්ඩුවත් එක්ක කියලා. ඒ හින්දා ඒ ගොල්ලෝ විපක්ෂයේ නැහැ. ඒ හින්දා අද ජනතාව දැනගන්න ඕන කවුද තවදුරට ත් රාජපක්ෂලා ආරක්ෂා කරන්නේ, රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටින්නේ කියලා කියන එක අද ජනතාවට හෙළිදරව් වුණා. ඒ හින්දා හැංගි හැංගි වෙස් මුහුණු බැන්දාට නටන්න වෙන්නේ එළිපිට.”

මේ අතර, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ස්වාධීන මන්ත්‍රී කාණ්ඩයම නියෝජ්‍ය කතානායකවරයා පත් කර ගැනීමට සිදු කළ “ගනුදෙනුව” ජනතාව සමග සිටින්නේ මන්ත්‍රීවරුන් 65 දෙනෙක් පමණක් බවට පැහැදිලි සාක්ෂියක් පෙන්නුම් කළ බව ය.