පෙට්‍රල් හිඟයක් නැති ලු, ඩීසල් හිඟයක් ඇති ලු: ඇමති කංචන කියයි

0
310

රට තුළ මේ වන විට ප්‍රමාණවත් තරම් පෙට්‍රල් තොග ඇති නමුත් ඩීසල් පිළිබඳව යම් ගැටලුවක් ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (මැයි 5) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

නොරොච්චෝලේ බලාගාරයේ සිදුවූ හදිසි බිඳ වැටීම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඊට ඩීසල් ලබා දීමට සිදු ව ඇති බව ඔහු මෙහිදී සඳහන් කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ හේතුවෙන් ඩීසල් තොග පිරවුම්හල් වෙත නිකුත් කිරීම සීමා කර ඇති බව ය.

ඊයේ මෙරටට ආ නෞකාවෙන් පෙට්‍රල් තොග පිරවුම්හල වෙත ලබා දීමට කටයුතු කර ඇති අතර දින තුනක් ඇතුළත පෙට්‍රල් සම්බන්ධයෙන් පවතින ගැටලුව යථා තත්ත්වයට පත් කළ හැකි යැයි තමා බලාපෙරොත්තු වන බව කංචන විජේසේකර මහතා මෙහිදී පැවසීය.

“දෛනිකව මෙට්‍රික් ටොන් 4000ක් ඩීසල් නිකුත් කරනවා වෙළෙඳපළට නමුත් මේ දින කිහිපයේ මෙට්‍රික් ටොන් 1000ක් 1500ක් තමා අපිට නිකුත් කළ හැක්කේ.

අපිට ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න සිද්ධ වුණා ඉන්ධන තොග පිරවුම්හල්වලට දීලා ඉන්ධන පෝලිම නැති කරනවා ද ඉන්ධන තොග බලාගාරවලට දීලා පැය 3යි විනාඩි 20ට විදුලි කප්පාදුව පවත්වාගෙන යනව ද කියන එක. එසේ වෙනවා නම් අපේ විදුලි කප්පාදුව පැය 7ක් 8ක් දක්වා යන්න වෙනවා. ඒ හින්දා අතිගරු ජනාධිපතිවරයාගේ උපදෙස් මත ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා.”