විදුලි කැපිල්ල නිසා පාසල් දැරියකගේ ජීවිතය අහිමි වෙයි

0
351

විදුලි බලය විසන්ධි කර තිබූ අවස්ථාවක ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිටියදී ලාම්පුව පෙරළී ඇති වූ ගින්නක් හේතුවෙන් ඊයේ (02) සවස යාපනය, සන්ඩිලිපායි ප්‍රදේශයේදී පාසල් දැරියක ජිවිතක්ෂයට පත්ව ඇති බව මානිප්පායි පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, එම දැරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පාඩම් කරමින් සිට ඇති අවස්ථාවක ලාම්පුව පෙරළී කාමරය තුළ ගින්නක් හටගෙන ඇති බව ය.

ගින්න හටගත් අවස්ථාවේ පියා විසින් ගෙන එන ලද පෙට්‍රල් බෝතලයක් ද ගිනිගෙන ඇති අතර, එහිදී දැරිය පිළිස්සි ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ගින්නට හසුවීමෙන් යාපනය, සන්ඩිලිපායි ප්‍රදේශයේ පදිංචි සුදර්ශන් සදුර්ශිකා නමැති 16 හැවිරිදි දැරියක මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් යාපනය, සංගානෙයි රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.