කුලියාපිටියේ ඩිෆෙන්ඩර් අනතුර: 14 හැවිරිදි දරුවෙක් ඇතුළු 3ක් අත්අඩංගුවට (VIDEO)

0
295

කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී ඊයේ (මැයි 1) සවස යතුරුපැදියක් සහ ඩිෆෙන්ඩර් රථයක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

mawbima.lk කළ විමසීමකදී කුලියාපිටියි පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් තිදෙනා වයස අවුරුදු 14, 23 සහ 46 වන වියේ පසු වන පුද්ගලයින් බව ය.

සිද්ධිය පිළිබඳ විමර්ශන සඳහා ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු පමණක් උසාවියට ඉදිරිපත් කරන බව කුලියාපිටිය පොලිසිය පැවසීය.

අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබිණි.

මරණකරු වයස අවුරුදු 39ක් වන කුරුදල්පොත, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අනතුරෙන් පසුව ප්‍රකෝපයට පත් වූ ප්‍රදේශවාසීන් ඩිෆෙන්ඩර් රථයට ගිනි තබා ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.