“රැකියා ලක්ෂ ගණනක් අහිමි වීමේ අවදානමක්”: රනිල් අනතුරු අඟවයි (VIDEO)

0
470

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදී රැකියා ලක්ෂ ගණනක් අහිමි වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ නව නගර ශාලාවේ අද (මැයි 1) පැවති එක්සත් ජාතික පක්ෂ ජාත්‍යන්තර මැයි දින රැලිය ඇමතූ අවස්ථාවේදී ය.

ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට ත් බොහෝ පිරිසකගේ රැකියා අහිමි වී ඇති බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේ ය.

හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව මේ වන විට අරාජික වී ඇති බව ය.

21 වන සංශෝධනය මගින් මෙරට ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් නොලැබෙන බව ද ඔහු එහිදී පැවසීය. එබැවින් මෙරට ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

“අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා. ව්‍යාපාර බංකොලොත් වෙලා. කෘෂිකර්මාන්තයට පොහොර නැහැ. ධීවරයින්ට ඩීසල් නැහැ. අපේ රැකියා ගණනාවක් නැති වෙලා තියෙනවා සේවක පන්තියේ. තවත් රැකියා ලක්ෂ ගණන් නැතිවෙන්න පුළුවන්. කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාර ගණනාවක් කඩා වැටෙන්න පුළුවන්. අද මේ රටේ තරුණයින්ට විතරක් නොවෙයි, සියලු දෙනා ට ම අනාගතය නැති වෙලා තියෙනවා.”