සිරුර දෙකඩ කොට මුහුණ විකෘති කොට සුරූපි නිලි එළිසබෙත්ව මරා දැමුවේ කවුද?

0
433

Mystery කිව්වම අබිරහස් සිදුවීම් පමණක්ම නොවෙයි වරදකරුවන් සොයා ගන්නට බැරි කාටවත් සිතා ගන්නවත් බැරි විදිහේ ඝාතනයන්ද ඇතුළත් කරන්නට පුළුවන්. ඉතින් අද ලිපියේ අවසානය වනකොට සමහරෙක්ට සිතෙන්න පුළුවන් මෙය කා විසින් කොහොම කළ දෙයක්ද කියලා. මොකද ඒ තරමටම මේ කතාව ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා, මේ වනවිට කාලයට යට වෙලා ගිහින් තිබෙනවා.

මේ සිදුවීමට මුහුණ දෙන්නේ ඒ කාලයේ හිටපු සුරූපි නිළියක් වුණු එළිසබෙත් ශෝර්ට්.  ඇය ඉපදෙන්නේ 1924 වර්ෂයේ ජූලි මාසයේ 29 වැනි දින ඇමෙරිකාවේ මැසචුසෙට්වල. ක්ලියො ශෝට්ට සහ ෆීබි නම් යුවළට දරුවන් පස් දෙනකු සිටියා. ඒ පස් දෙනාගෙන් තුන් වැන්නා වුණේ එළිසබෙත් ශෝර්ට්. 1927දී එනම් එළිසබෙත්ට වයස 3දී පවුලෙ අය අසල නගරයකට තාවකාලිකව ජීවත් වීම සඳහා යනවා. ඉතින් ඔහොම වසර දෙකක් ගත වනවිට  1929දී යුරෝපයට සහ ඇමෙරිකාවට බලපෑ මහා අවපාතය පැමිණෙනවා. මෙම කාලයේදී රටවල්වල බැංකු 50%ක් පමණ වසා දැමීමට සිදු වූ අතර විශාල ව්‍යාපාර ප්‍රමාණයක් බංකොලොත් වෙලාම ගියා. මිනිසුන්ට රැකියා නැතිව ගියා. සරලවම කිව්වොත් කන්න බොන්න නැති තත්ත්වෙටම පත් වුණා.

ඉතින් මේ කාලයේදී එළිසබෙත් ශෝර්ට්ගේ පියා ව්‍යාපාරවලට හවුල් වී සිටියා. නමුත් ඒ ව්‍යාපාර කඩාවැටෙන්නට වුණා. 1930 වෙනකොට ලොකුවටම මේ ආර්ථික අවපාතය ඇති වූ නිසා එළිසබෙත් ශෝර්ට්ගෙ පියා හදිසියේම අතුරුදන් වුණා සලකුණක්වත් සොයාගන්න බැරි විදියට. නමුත් දවසක් අසල ගංගාවක පාලමක් උඩ ඔහු ගමන් ගත් කාර් රථය නවතා තිබෙනවා මිනිස්සු දකිනවා. ඉතින් මිනිසුන් විශ්වාස කළේ එළිසබෙත්ගේ පියා ගඟට පැනල දිවි නසාගන්නට ඇති කියලයි. ඒත් ගඟේ තිබිල මළ සිරුරක් නම් හමු වූවේ නැහැ.

ඉතින් ඔය සිද්ධීන්ට පසුව එළිසබෙත්ගෙ මව තම දියණියන් පස් දෙනා තමාට හැකි පමණින් රැක බලා ගත්තා. ඇය ඒ වෙනුවෙන් කැප වීමට හැකි රැකියාවක්ද තෝරා ගත්තා. ඇයගේ රැකියාව වූවේ ගිණුම් තැබීමයි. ඉතින් ගිණුම් තැබීමේ රැකියාවක් කරන ගමන් සොයා ගන්නා මුදල් සියල්ලම දරුවන් වෙනුවෙන් ඇය වියදම් කළා.

කාලය ගත වෙලා එළිසබෙත් වයස අවුරුදු 15ක තරම් යොවුන් ගැහැනු ළමයෙක් බවට පත් වුණා. ඉතින් මේ කාලයේදී එළිසබෙත් ලොකූ කරදරයකට මුහුණ දෙනවා. ඒ තමා ඇදුම රෝගයට ගොදුරු වීම. එමෙන්ම ඇය බ්රොන්කයිටිස් රෝගයටත් ගොදුරු වී සිටියා. ඉතින් මේ සඳහා වෛද්‍යවරු නිර්දේශ කළේ ඇය සිටින දේශගුණය හිතකර නොවන බැවින්  පදිංචිය වෙනස් කිරීමයි. ඒ අනුව එළිසබෙත් ශෝර්ට්ව ෆ්ලොරිඩාවල මියාමිවලට යවනවා.

1942 වර්ෂයේදී එනම් එළිසබෙත්ගෙ පියා මියගොස් වසර 12කට පමණ පසුව ඇයගෙ මවට තැපැල් මාර්ගයෙන් ලිපියක් පැමිණෙනවා, ඔහු මිය නොගිය බවත් 1930දී සිය දිවි නසාගන්නට සිතුණත් එලෙස නොකර කැලිෆෝනියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කළ බව සඳහන්ව.  ඉතින් ඔහු කළ දේට බිරියගෙන් සමාව අවශ්‍ය නිසා මෙවැනි ලියුමක් එවා තිබුණා. නමුත් එළිසබෙත්ගේ මව එම ලියුම ප්‍රතික්ෂේප කළේ ඇය මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කර තිබූ නිසාවෙන්. ඇයට දරුවන් හැර තවත් ආදරයක් ලබන්න අවශ්‍ය වී තිබුණේ නැහැ.

එහෙත් එළිසබෙත්ගේ ජීවිතයේ ඉතුරු ටික ගොඩනංවාලීමට ඔහු උදවු කරාවි  යැයි බලාපොරොත්තුවෙන් එළිසබෙත්ගේ මව ඇයව පියා සමඟ ජීවත් වීමට කැලිෆෝනියාව බලා පිටත් කොට යනවා.

ඉතින් අවසන් වරට වයස 6දී පමණ දැකපු ඇයගේ පියා නැවත දකින්නට ලැබුණේ වයස 18දීයි. පියා දැක්මෙන් ඇයට කිසි හැඟීමක් නොදැනුණත් පියා ඇය දුටු විගස අතීතය සිහිපත් කරගනිමින් ඇයව පිළිගත්තා.

ඒ වෙනවිට ඔහු රැකියාව වශයෙන් කැලිෆෝනියාවේ සැන්ෆ්‍රැන්සිස්කො බොක්ක අසල නාවික නැව් අංගණයක සේවය කළා. තාත්තා ළඟ ජීවත් වෙන්න ගියාට ඇයට  ගෙදර පුරුදු නවත්ත ගන්න බැරි වුණා. මොකද කියනව නම් ඇය ඒ දේවල් ජීවිතේම කොටසක් කරගෙන සිටි නිසා. ඇය වයස 7 වගේ කුඩා කාලයේ සිටම චිත්‍රපට බලන්න පුරුදු වී සිටි කෙනෙක්. ඇය චිත්‍රපටවලට කෙතරම් ආදරය කළාද කියනවා නම් ඇය ඒ තුළම ජීවත් වුණා. නළු නිළියන් දැකීමට ලොකු කුතුහලයකින් සිටියා.  ඉතින් පවුලේ සිටි දියණියන්ගෙන් ලස්සනම කෙනා විදිහට සලකපු මෙයා පියා ළඟට ආවත් ඒ චිත්‍රපට ලෝකයෙන් මිදීමට නම් හැකියාව ලැබුණේ නැහැ.

ඇය කැලිෆෝනියාවට පැමිණෙන්න අකැමැත්තක් නොදැක්වුවේ කැලිෆෝනියාව පොහොසත් අය නිතර ගැවසෙන තැනක් නිසා වෙන්නට ඇති. ඒ කාලයෙදිත් කැලිෆෝනියාව නළු නිළියන් නිතර යන එන තැනක් විදිහට හඳුන්වන්න පුළුවන්. නළු නිළියන්ගේ පාරාදීසය වශයෙන් හැඳින් වුවත් වරදක් නැහැ.

ඔහොම ටික දවසක් එළිසබෙත් පියා සමඟ සිටියා. ඇය කැලිෆෝනියාවට පැමිණියේ ඉතින් ජීවිතේ හදාගන්න හිතාගෙන. ඒකට උදවු කිරීමට පියා ඉදිරිපත් වෙලා ඇයට රැකියාවක් සොයන්න මහන්සි වුණා. එළිසබෙත් මීට පෙර රැකියාවක් නොකරපු කෙනෙක්මත් නෙවෙයි. ඇය අවන්හල්වල මෙන්ම සිනමාහලකත් රැකියාව කර තිබෙනවා. සිනමාහලේ රැකියාව ඇය කළේ ඉතාමත් ආසාවෙන්. මොකද චිත්‍රපටය ආරම්භ වුණාට පස්සේ සිනමාහල වැහුවම ඇයට චිත්‍රපටය නොමිලේම බලන්න පුළුවන් නිසා. අනිත් කාරණය තමා අලුතෙන් එන හැම එකක්ම ඇයට නැරැඹීමට හැකියාව ලැබීම.

එළිසබෙත්ට ඉක්මනින් රැකියාවක් සෙව්වත් රැකියාවක් සොයාගන්නට පියාට හැකියාව ලැබෙන්නෙ නැහැ. ඉතින් එහෙම කියල අතඇරලා හිටියෙ නැහැ. ඔහු දිගින් දිගටම ඇයට සුදුසු රැකියාවක් සෙව්වා. ඒත් ඇය නම් රැකියා සොයන්න උනන්දු වෙනවාට වඩා නළු නිළියන්ගෙ ගොසිප් සොයන්න තමා වැඩියෙන්ම උනන්දු වුණේ. නිතරම නළු නිළියන් ගැන ලියැවුණු පත්තරවල ලිපි කියවන්න ඇය ඇබ්බැහි වෙලා සිටියා.

ඔය දේවල් නිසා වැඩි කාලයක් නම් පියා එක්ක ඉන්න හම්බුණේ නැහැ. 1942 දෙසැම්බර්වල පියා ළඟට ගිය එළිසබෙත් 1943 ජනවාරි මාසයේදී පියා සමඟ ප්‍රශ්නයක් ඇති කර ගන්නවා. හේතුව වුණේ එළිසබෙත්ගෙ හැසිරීම. ඇය බොළඳ ළමයෙක්.

නිතරම චිත්‍රපට නළු නිළි මානසිකත්වයෙන් සිටින නිසා ගේ ‍ෙදාර වැඩක් කරන්නේම නැති තරම්.  අනිත් කාරණය ඇයට රැකියාවක් සොයා ගැනීමට කිසිම උනන්දුවක් නැති වීම. ඒ නිසාම පියා ඇයව නිවෙසින් පන්නා  දමනවා.

මෙහෙම රණ්ඩු වෙලා එතැනින් එළියට බැස්ස එළිසබෙත් නිවෙසට නොයා කැලිෆෝනියාවල ලොම්පොක් අසල රැකියාවක් සොයා ගන්නවා. ඔය කාලයේදී ඇයව එක්සත් ජනපද ගුවන් හමුදා නිලධාරියෙක් අතින් අතවරයට ලක් වූ අතර කෙටි කාලයක් ඇතුළත ඔහු සමඟ සම්බන්ධකමක් ඇති කරගෙන ඇය ඔහු සමඟ ජීවත් වෙනවා. ඒ වනවිට ඇයට වයස අවුරුදු 18ක් පමණයි. ඉතින් 1943 වර්ෂයේ මැද භාගයේදී ඇය එම නගරයෙනුත් අෑත් වී සැන්ටා බාබරා නගරයේ පදිංචියට තනිව පැමිණෙනවා. එහි ආ මුල් කාලයේදී ඇය බාර් එකකට ගොඩ වී මත්පැන් පානය කරනව කෙළින් ඉන්නවත් බැරි ගානටම. අවසානයේ බාර් හිමියා මේ ගැන පොලිසියට දැන්වූවාට පසුව ඇයව පොලිසිය  බාල වයස්කාරයෙක් ලෙස සලකා නැවතත් බොස්ටන්වල මැසචුසෙට්වලට යවනවා.

ඒත් ඇය බොස්ටන්වලට නොගිහින් ෆ්ලොරිඩාවලට පැමිණ ජීවත්වෙනවා. මේ කාලයෙදි ඇය ඉඳ හිට ඇයගෙ මව බලන්න බොස්ටන්වලට ගිය බවටත් වාර්තා වෙනවා.

ෆ්ලොරිඩාවල ඉන්න කාලෙ ඇය රංග කලාව ගැන යම්තාක්දුරට හැදෑරුවා. ඉතින් රංග කලාව සම්බන්ධ ඉගැන්වීම් කරන කලාගාරයේ ආරක්ෂාවට පුහුණුව ලබමින් සිටි එයාර් කමාන්ඩෝ සෙබළුන් කිහිපදෙනෙක් යොදා තිබුණා. ඒ සෙබළුන් අතරින් එක පුද්ගලයෙක් එළිසබෙත්ගෙ හිත දිනා ගැනීමට සමත් වෙනවා. ඔහු නමින් මේජර් මැතිව් මයිකල් ගෝඩන්. ඒත් සුළු කාලයකට පසුව ඔහුට සේවයට වාර්තා කිරීමට සිදු වීම නිසා දෙදෙනා අෑත් වෙනවා. මක් නිසාද ඒ සමය දෙවැනි ලෝක යුද්ධයේ උච්චතම කාලය වූ නිසා. කාටවත් ජීවිත ගැන බලාපොරොත්තුවක් නොවූ කාලයකදී ඔහු ඇයගෙන් වෙන් වී ගොස් සිටියදී හදිසියේම ඉන්දියන් සාගරය කිට්ටුවදී ඔහු ගමන් ගත් ගුවන් යානය කැඩී අනතුරට ලක් වී තුවාල ලබනවා. ඔහු ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව සුවය ලබමින් සිටියා. මේ කාලයේදී එළිසබෙත් මිතුරන්ට පවසා සිටියේ ඇයට ඔහුගෙන් විවාහ යෝජනාවක් ලැබුණු බවයි.

ඉතින් එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් එළිසබෙත්ගේ පෙම්වතා නැවත වාරයක් සුවය ලබා සේවයට වාර්තා කිරීමෙන් පසුව ඇය සමඟ විවාහ වීමට කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒත් අවාසනාවකට වගේ 1945 අගෝස්තු 10 වැනිදා ඔහු නැවත අනතුරට ලක් වූ අතර එවර ජීවිතය බේරා ගැනීමට නම් හැකි වුණේ නැහැ. ඔහු මිය යෑම එළිසබෙත්ගෙ හිතට ලොකු වේදනාවක් ගෙන දුන්නා. එම සිදුවීමෙන් වසර දෙකකට පසුව නැවතත් ඇය නළු නිළි පාරාදීසය වූ ලොස්ඇන්ජලිස් බලා ගිය අතර හොලිවුඩ් නළු නිළියන් පැමිණෙන සමාජ ශාලාවක වේටර්වරියක් ලෙස සේවය කරමින් සිටියා. ඇය ඒ අසලම කාමරයක් කුලියට ගෙන ජීවත් වීමට තීරණය කළේ රැකියාවට යෑමේ ඒමේ පහසුව නිසායි. ඉතින් ඔහොම මාසයක් පමණ ගත වෙනකොට ඇයට යම් යම් චිත්‍රපටවල පොඩි පොඩි දර්ශනවලට සහ වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කිරීමට නිෂ්පාදකවරු ආරාධනා කළා. ඒ ඇයගෙ සුන්දර පෙනුම නිසාවෙනුයි. කොහොමත් ඇයට අවශ්‍ය වුණෙත් ඒ තැනට යෑමටනෙ. ඒත් ලොකු ජනප්‍රියත්වයක් උසුලන නිළියක් වීමට ඇය තවමත් ආශා කළා. මොකද ඇය ඒ තරමටම ක්ෂේත්‍රයේ ඉහළට ගිය නිළියක් නොවූ නිසා.

ඉතින් අලුත් වෘත්තීයමය ජීවිතය එලෙස අරගෙන ගියත් ඇයට එලෙස මාස 5ක්වත් ජීවත් වීමට වරම් ලැබෙන්නෙ නැහැ.

1947 වර්ෂයේ ජනවාරි 9 දින එළිසබෙත් ශෝර්ට් විවාහක විකුණුම්කරුවකු වන රොබට් මැන්ලි සමඟ ලොස් ඇන්ජලිස්වල තිබෙන සෙසිල් හෝටලයට යනවා. ඔවුන් දෙදෙනා අතර යම් සම්බන්ධයක් පැවැතුණු බවට සිතන්න පුළුවන්. කොහොම වුණත් රොබට් මැන්ලි සුළු මොහොතකට පසුව එළිසබෙත්ගෙන් සමුගත් අතර ඇය තව මොහොතක් හෝටලයේ රැඳී සිටියා. ඉතින් මේ තමා එළිසබෙත් ශෝර්ට් ජීවත්ව සිටි අවසාන දවස. ඒ වගේම ඇයව දැකපු අවසාන කෙනා වුණෙත් රොබට් මැන්ලි වගේම ඇය අවසානයට හිටපු ස්ථානය වුණේ සෙසිල් හෝටලයයි. ඉන් පසුව ඇයව දැකගන්නට ලැබුණේ උදෑසන මිය ගොස් සිටියදීයි.

පහුවදා උදෑසන බෙටී බසින්ගර් නම් කාන්තාවක් උදෑසන ඇයගෙ තුන් හැවිරිදි දියණියව කුඩා ළමයි වෙනුවෙන් සාදා තිබෙන රෝද පුටුවක තල්ලු කරගෙන යන විට කාන්තාවකගෙ කකුලක් පාර අයිනේ පඳුරකින් එළියට ඇවිත් තිබෙනවා දකිනවා. ඇයට තිබූ කුතුහලය නිසාම මේ සිහිසුන්ව සිටින්නෙ කවුරුන්දැයි බැලීමට ළඟට ගිය පසු ඇය දකින දර්ශනය නිසා භීතියට පත් වෙනව. බෙටී බසින්ගර් ජීවිතයෙ ඒ තරම් බිය වූ දිනයක් තව නැතිව ඇති. මොකද ඇය දකින්නෙ නිකන්ම අතඇරල දාපු සිරුරක් නොවෙයි. ශරීරය ඉණෙන් පහළ කොටස වෙනමත් ඉහළ කොටස වෙනමත් සිටින පරිදි දෙකට වෙන් කර දැමූ සිරුරක්. එම සිරුර කාගෙදැයි හඳුනා ගැනීමට ඇයට නොහැකි වුවත් ඇය ගත යුතු හොඳම තීරණය වශයෙන් පොලිසිය දැනුවත් කළා.

මරණ පරීක්ෂකවරුන්ගේ ගණනය කිරීම්වලට අනුව එළිසබෙත්ගෙ සිරුර සොයාගෙන තිබෙන්නෙ මියගිහින් පැය 10කටත් වඩා වැඩි කාලයක් ගෙවුණට පසුවයි. ඒ කියන්නෙ පෙර දින රාත්‍රියේ හෝ එදින පාන්දර මේ ඝාතනය සිදු වෙන්නට ඇති.

මේ ඝාතනයේ විශේෂම දේ තමයි එළිසබෙත්ගේ සිරුරෙ රුධිරය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබීම. සිරුර සොයාගන්නා විට ඇයගෙ පියයුරු යුගල සම්පූර්ණයෙන්ම කපා ඉවත් කර තිබුණා.

මෙවැනි කුරිරු ආකාරයෙන් එළිසබෙත්ව ඝාතනය කිරීමට නම් අනිවාර්යෙන්ම ඝාතකයා පළපුරුදු පුද්ගලයකු විය යුතුයි. තවද එළිසබෙත්ගෙ මුහුණ විකෘති කර තිබුණා. ඇයගෙ කට දෙපැත්ත කන් දෙක ළඟට වෙනකම් සිනහ වී සිටින ආකාරයට පළලා තිබීම ඉතාමත් බියකරුයි. ඒ බියකරු සිනහව වර්තමානයෙදී Glasgow Smile යනුවෙන් හඳුන්වනවා. මීට අමතරව ශරීරයේ යම් යම් තැන්වල මස් ඉවත් කර තිබීම සහ දෙකට වෙන් කර ඇති සිරුරේ රුධිරය ඉවත් කර නැවත උදරය තුළට බඩවැල් අසුරා තිබීම වගේ දේවල් නිසා මෙම සිරුර පරික්ෂා කළ පරීක්ෂකවරුන්ද භීතියට ලක් කළා. එමෙන්ම ඇයගෙ විළුඹේ කොටසක් පැය කිහිපයකට පසු අසල ගොඩ ගසා තිබූ ටයර් ගොඩක තිබී හමු වෙලා තිබෙනවා. ඉතින් මේ සිරුරෙ රුධිරය ඉවත් කරලා කියල කිව්වනේ. ඒ ඉවත් කළ රුධිරය වෙන කොහෙවත් විසි කරල තිබුණේ නැහැ. ජලය සමඟ කලවම් වූ රුධිර බෑගයක් අසල තිබී පොලිසියෙන් සොයා ගන්නවා. කවුරු වුණත් මෙය සිදු කළ ඝාතකයා විනෝදයට මෙන් කළ ක්‍රියාවක් බව පෙනී යනවා. නැතිනම් මිනිසකුට මේ වගේ දෙයක් කරන්න තබා සිතා ගැනීමටත් හැකියාවක් නැහැ. ඝාතකයා සාමාන්‍ය මානසිකත්වයක් තිබෙන කෙනෙක්ට වඩා වෙනස් මානසික විකෘතියකින් සිටින පළපුරුදු පුද්ගලයෙක් විය යුතු බවට සැක කෙරුණා. ඉතින් මේ සිද්ධිය ශීඝ්‍රයෙන් මාධ්‍යවල පැතිරීම නිසා මේ ආශ්‍රිතව  ජීවත් වන සාමාන්‍ය ජනතාව යම් තරමක් බිය වී සිටියා ඔවුන්ටත් මෙවැනි දෙයක් සිදුවේද කියා. ඉතින් වැඩිදුරට පරික්ෂා කළ මරණ

පරීක්ෂකවරුන්ගේ අවසාන මතය වුණේ එළිසබෙත්ගේ මරණයට හේතුව මොළේ නහර පිපිරීමක් කියල. ඒකෙන් අදහස් වෙන්නෙ ඝාතකයා මේ සියල්ලම කරන්න කලින් ඇයට මිය යන තෙක් පහර දී තිබෙන බවයි. ඒ වගේම මිය යෑමට ප්‍රථම ඇයව දූෂණයට ලක් වී තිබෙන බවක් පෙනෙන්න තිබුණත් සිරුරේ ශුක්‍රාණු සාම්පල දැකගන්න හැකි වූවේ නැහැ. ඒත් ගුද මාර්ගය නම් සෑහෙන හානි වෙලා තිබුණා හරියට විශාල පොල්ලක් ඇතුළු කළාක් මෙන්. ගුද මාර්ගයේ මිලිමීටර් 44ක පමණ විශාලත්වයක් දැකගන්නට තිබුණා.

අවසානයේ මේ කතාව ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පතේ පළවීමත් සමඟ ඇය ජීවත්ව සිටි කාලයේදී නොලැබුණු ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය ඇයට මිය ගියායින් පසුව ලැබුණා  විතරක් නෙවෙයි, වසර 100ක් ගියත් ඇයට වූ මේ ඛේදවාචකය මිනිසුන්ගෙන් අෑත් නොවෙන තරමට ඉතිහාසයට එක් වී තිබෙනවා.

මෙම මරණයෙ නිශ්චිත සැකකරුවෙක් නොමැති වුණත් මෙම පරීක්ෂණයේ මුල් පරීක්ෂකවරයෙක් වන රැල්ෆ් අස්ඩෙල් 2003 ටයිම්ස් සඟරාවට කියල තිබෙන්නෙ ඔහුගේ අත ළඟ ඝාතකයා සිටියත් ඔහුව අත්අඩංගුවට ගන්න පුළුවන් ප්‍රමාණයේ සාක්ෂි නොමැතිකම හේතුවෙන් කිසි දෙයක් කරගන්න බැරි වන බවයි. රැල්ෆ් අස්ඩෙල් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ඔහුගේ නිගමනයන්වලට අනුව ඝාතකයා ජෝර්ජ් හොඩෙල් නම් පුද්ගලයා කියලයි. කොහොම නමුත් කාලාන්තරයක් යනකම් මිනීමැරුම සම්බන්ධව පාපෝච්චාරණ 60ක් පමණ ඉදිරිපත් වුණත් අද වන විට පාපෝච්චාරණ 500කට අධිකව ලැබී තිබෙනවා. ඒත් ඒ පාපෝච්චාරණ 500න්  ඇතැම් පාපෝච්චාරණ කළ පුද්ගලයන් 1947දී එළිසබෙත් ශෝර්ට් මැරෙනකොට ඉපදිලාවත් ඉඳලා නැහැ. ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙන්න ඕනවට කළ පාපෝච්චාරණත් මේ මෑත කාලයේදී හමු වෙලා තිබෙනවා. ඉතින් නමක් ගමක් නොදන්නා මේ ඝාතකයා අදටත් අබිරහසක් වී තිබෙන්නෙ ඔහුගේ සූක්ෂ්මතාව සහ සාක්ෂි සඟවා තැබීමේ හැකියාව නිසාවෙනුයි. නීතියෙන් ගැලවුණත් ඔහුට කර්මයෙන් ගැලවීමට නම් නොහැකි වේ යැයි අපි සිතමු.

ධනංජය මධුෂාන්