සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට ජනපති එකඟ වෙයි

0
347

සියලු දේශපාලන පක්ෂවල සහායෙන්, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හවුල්කාර පක්ෂ එකොළහ සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම සමඟ ප්‍රකාශ කර ඇත.

රජයේ ක්‍රියාදාමය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා ජාතික  එකඟතා ආණ්ඩුවක් සැකසීමේ අවශ්‍යතාව හා එහි මූලික පියවර ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ජාතික සභාවක් පත්කරගැනීම කෙරෙහි අවධානය යොමු කෙරිණි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වු වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට සාකච්ඡාව සඳහා සහභාගි වූ නියෝජිතයන්ගෙන් පස්දෙනකු නම් කිරීමට ද තීරණය කර ඇත.

පොදුජන පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනීමෙන් පසු, ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

වත්මන් අගමැතිවරයා ඉවත් කොට නව අගමැතිවරයකු සහ නව කැබිනට්ටුවක් සමඟ සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට පක්ෂ 11 ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම් සමඟ පැවැති හමුවේදී ජනපතිවරයා එකඟතාව පළ කර ඇත. මේ මොහොතේ පවතින අර්බුදකාරි තත්ත්වය තුළ රටට දේශපාලන ස්ථාවරත්වයක් අත්‍යවශ්‍ය බැවින් ඉදිරි සතිය වනවිට හැකි ඉක්මනින් සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට අදාළ කටයුතු නිම කරන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ජනපතිවරයා සමඟ පැවැති සාකච්ඡාව සාර්ථකව නිම වූ බවද සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලද සහාය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා හා සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි ඉදිරියේදී පක්ෂ නායකයන්ට ලිඛිතව දැනුම්දීමට කටයුතු කරනු ඇති බවද ශ්‍රී ලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන පැවැසීය.

ජනපතිවරයා අතර පැවැති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීම සඳහා ඉකුත් සිකුරාදා (29දා) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

එසේ ස්ථාපිත කෙරෙන සර්වපාක්ෂික ආණ්ඩුවේ සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ‘ජාතික සභාවක්’ පිහිටුවනු ලබන අතර එමඟින් නව අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට්ටුව පත්කරගන්නා බවද ඔහු කීය.

සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා තම පක්ෂය කැමැත්ත පළ කළේ ආණ්ඩුවට මුක්කු ගැසීමකට හෝ ආණ්ඩුව ශක්තිමත් කිරීමකට හෝ නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

බහුවිධ ප්‍රශ්නවලින් පීඩා විඳින මහජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් මේ තීරණයට එළැඹුණු බවද ඔහු කීය.

රටේ නිර්මාණය වී ඇති අර්බුද සමඟ කිසිසේත්ම මැතිවරණයකට යෑමට නොහැකි නිසා අන්තර්වාර පාලනයක් ස්ථාපිත කොට මැතිවරණයකට සුදුසු පදනම  ගොඩනඟාගත හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඉදිරියේදී සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හමුවී සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කර ගැනීමට අවශ්‍ය සහාය ලබා ගැනීම සඳහා  සාකච්ජා කිරීමට සූදානම් බවද හිටපු ජනපති පැවැසීය.

ජනාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ව්‍යවස්ථාපිතව ක්‍රියා කළහොත් ඒ සඳහා වසරක් තරම් දීර්ඝ කාලයක් ගත වනු ඇති බව පෙන්වාදෙන හිටපු ජනපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම තුළින් එය සරලව සිදු කර ගත හැකි යැයිද කීය.

සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කළ වහාම 19 වැනි ව්‍යවස්ථාවේ සමහර වගන්ති සංශෝධනය කොට ජනපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට පැවරෙන පරිදි 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන බව ශ්‍රීලනිප ජේ‍යෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර පැවැසීය.

යම් හෙයකින් ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් එම ධුරයට අයකු පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතරයෙන් නිසා යම් හෙයකින් පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතරය හිමි රාජපක්ෂවරයකු පත් වුවහොත් කුමක් කරන්නේද යන්න ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රශ්න කළේය.

එම ධුරයට අයකු පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතරය නොමැති වුවහොත් එවිට ඒ සඳහා වන විකල්පය පිළිබඳව ව්‍යවස්ථාව තුළ සඳහන්ව නොමැති බවද ඔහු පැවැසීය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, විජේදාස රාජපක්ෂ, තිස්ස විතාරණ, ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, දයාසිරි ජයසේකර, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ලසන්ත අලගියවන්න, නිමල් ලංසා, ජයන්ත සමරවීර, ජයරත්න හේරත්,  ටිරාන් අලස්, ජගත් පුෂ්පකුමාර, නලීන් ප්‍රනාන්දු, එම්.එම්. අතාවුල්ලා, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ සහ අසංක නවරත්න යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

සවනි ශේශාධි