රන්මසු උයනේ තාරකා දොරටුව විවෘත වෙන්නේ වෙනත් ග්‍රහලොවකටද?

0
568

පසුගිය කලාපයෙන් අපි සාකච්ඡා කළේ හින්දු ආගමික විශ්වාසවල තිබෙන “ෂම්බාලා” නගරය තවත් එක් සමාන්තර ලෝකයක්ද යන්න පිළිබඳවයි. එම ලිපියේදී අප අද සාකච්ඡා කරන මාතෘකාවට සම්බන්ධව යම් ඉඟියක් ලබා දුන්නා. ඔබ එම ලිපිය කියැවූවා නම් ඔබට මතකයේ ඇති මා එහිදී “රන්මසු උයන” ගැන යම් සඳහනක් කළා. රන්මසු උයනේ ඇති සක්වළ චක්‍රය” ෂම්බාලා නගරය වැනි වෙනත් සමාන්තර ලෝකයකට හෝ වෙනත් ග්‍රහලෝකයකට හෝ වෙනත් මානයකට ප්‍රවේශ වීමට හැකි යතුරක් හෝ ‍ෙදාරටුවක් වන්නට හැකි බව බොහෝ විද්වතුන් මත පළ කරනවා. මෙවැනි සටහනක් එසේත් නොමැති නම් තාරකා ‍ෙදාරටු ලෝකයටම ඇත්තේ කිහිපයක් පමණයි. මෙම සක්වළ චක්‍රය විශ්ව ‍ෙදාරටුව, මායා ‍ෙදාරටුව වැනි නම් වලින්ද හඳුන්වනවා.

ආදිතමයෝ සක්වළ චක්‍ර ඇති ප්‍රදේශවල අද්විතීය නිර්මාණයන් රැසක්ම ඉදිකොට ඇත. ලංකාවේ රජරට ප්‍රදේශය ආශි්‍රතවත් ලෝකය පුදුම කරවන නිර්මාණයන් රැසක් ඉදිවී තිබෙන බව ඔබට අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. බහුතරය විස්වාස කරන්නේ එම නිර්මාණ පෙර හෙළ වැසියන් සිදුකළ ඒවා බව වුවත් නවීන විද්‍යාව අපගේ විශ්වාසයන් අභිභවා ගොස් අපට සිතන්නට යමක් ඉතිරි කරනවා. අපි සාමාන්‍යයෙන් විස්වාසයක් හෝ මිථ්‍යාවක් කියල කියන්නේ එය අපට විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට නොහැකි නිසයි. නූතන විද්‍යාවට අනුව යම් දෙයක් සත්‍යය ලෙසම පිළිගැනීමට නම් විද්‍යාත්මක ක්‍රමය මඟින් සනාථ කළ යුතුය. විද්‍යාත්මක ක්‍රමය යනු පරීක්ෂණ, නිරීක්ෂණ  සහ නිගමන මඟින් විද්‍යාගාරයක් තුළදී තහවුරු කරගැනීමේ ක්‍රමයයි. නමුත් නූතන විද්‍යාවටත් හසු නොවන දැනුම් පද්ධති මේ විශ්වය පුරාම පවතින්නට පුළුවන්. ඒ නිසා විද්‍යාව නිතරම සිටින්නේ විශ්ව ගවේෂණයට සහ විශ්ව දැනුම ලබාගැනීමට පොටක් පාදා ගැනීමේ දැඩි උනන්දුවෙනි.

ක්වොන්ටම් භෞතික විද්‍යාව කරළියට පැමිණෙන්නේ මේ උනන්දුවේ අතුරු ප්‍රතිඵලයක් විධියටයි. ක්වොන්ටම් භෞතික විද්‍යාව කියන්නේ ඉතාමත් සංකීර්ණ සහ ගැඹුරු විෂයක්.

සම්භාව්‍ය භෞතික විද්‍යාවෙන් පැහැදිලි කරගැනීමට නොහැකි වූ ඇතැම් කාරණා ක්වොන්ටම් විද්‍යාව මඟින් පැහැදිලි කරගන්නට හැකි විය. ඒ අනුව විශ්වයේ බොහොමයක් රහස්, ගවේෂණය කිරීමට යතුරක් විදිහට ක්වොන්ටම් විද්‍යාව භාවිත කළ  හැකි බව විස්වාස කරනවා. මා ක්වොන්ටම් විද්‍යාව ගැන යම් සඳහනක් කළේ හේතුවක් ඇතිවයි.

ක්වොන්ටම් විද්‍යාවේ ගණනය කිරීම් ඉතාමත් නිවැරදි බව විද්‍යාඥයෝ පිළිගන්නවා. ඒ අනුව ඔවුන් විස්වාස කරනවා මේ විශ්වයේ ජීවයේ පවතින එකම ග්‍රහලෝකය පෘථිවිය නොවන බවට. ඒ අනුව පෘථිවියට සමාන්තර අවකාශය හෝ මානයන් සියදහස් ගණනක් විශ්වය පුරා ඇතැයි විශ්වාස කරනවා. රන්මසු උයනේ ඇති විශ්ව චක්‍රයත් එවැනි මානයකට ඇතුළු විය හැකි එක් ක්‍රමයක් හෝ එලෙස යෑමට අවශ්‍ය දැනුමක් ගබඩා කරගත් සටහනක් ලෙස බොහෝ දෙනා උපකල්පනය කරනවා. ඇත්තටම කියනවා නම් මේ විශ්වයේ තිබෙන ඕනෑම කාරණාවක් පැහැදිලි කරගැනීමට ඇති හොඳම උපකරණයක් තමයි ගණිතය කියන්නේ. ගණිතය විශ්ව භාෂාව ලෙසත් ඇතැමුන් හඳුන්වන්නේ ඕනෑම සිද්ධාන්තයක් පැහැදිලි කිරීමට ගණිතයට හැකියාව තිබෙන නිසයි. ගැටලුව වන්නේ ගණිතයේත් අපි නොදත් ඉසව් බොහොමයක් තිබීමයි. ඒ කෙසේ වෙතත් සක්වළ චක්‍රය කියන්නේ වෙනත් සමාන්තර තලයකට හෝ ග්‍රහලෝකයකට හෝ යෑම සඳහා විසඳිය යුතු එක්තරා ප්‍රහේලිකාවක්. අපි ඕනෑ තරම් ප්‍රහේලිකා පුරවා තිබෙනවා. හරස් පද තිරස් පද ගැළපුවාම අපිට ඒ ප්‍රහේලිකාව තේරුම් ගන්න පුළුවන්. අපි සාමාන්‍ය ජීවිතයේදී ප්‍රහේලිකා පුරවන්නේ අප පොත්වලින් හෝ ජීවන පරිචයෙන් ලබාගත් දැනුම උපයෝගී කරගෙන. නමුත් සක්වළ චක්‍රය ප්‍රහේලිකාවක් නම් මිනිසාට විසඳීමට අවශ්‍ය දැනුම ප්‍රමාණවත් නොවී තිබෙනවා. රන්මසු උයන තිබෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. අනුරාධපුරය කියන්නේ අද්භූත සිදුවීම් රැසක්ම වාර්තා වුණු ප්‍රදේශයක්.

බොහෝ සිදුවීම් අපගේ ඇදහිලි සහ විස්වාස අනුව ලඝු කළත් ඒ තුළ යම් දෙයක් අනිවාර්යයෙන් තිබෙන්නට පුළුවන්. අනුරාධපුරය සහ පොළොන්නරුව ආශි්‍රතව සිදු වූ එවැනි සිද්ධීන් කිහිපයක් මා පහත දක්වනවා. මේ සියලු සිදුවීම් ඇසින් දුටු සාක්ෂි.

1992 මාර්තු 22, පූනෑව අනුරාධපුරය

මෙම අත්දැකීමට මුහුණදී තිබුණේ එවකට පලුගොල්ලෑව විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබූ කීර්ති විසිනි. ඔහු රාත්‍රියේදී කුඹුරට වතුර බැඳීමට ගිය අවස්ථාවේදී මීටර් 50ක් පමණ සමීපයට අහසේ ගිනි බෝලයක් වැනි වස්තුවක් දැක ඇත.

කහටගස්දිගිලිය. 1992  මාර්තු මස 22

මෙම සිදුවීමට මුහුණදී තිබුණේ අනුරාධපුර පහළ කුඩාපට්ටිය විදුහලේ ගණිත ගුරුවරයෙකි. එදින රාත්‍රි 12ට පමණ දකුණු දිග අහසේ නැඟෙනහිර කෙළවරින් විවිධ ආලෝකයන් පේළියකට ගමන් කර ඇත. ඒවායේ දිග අඩි 40 -50ක් අතර බව සිද්ධියට මුහුණ දුන් පද්මසිරි මහතා පැවැසුවේය. එහි එළි 14ක් පමණ තිබූ බව සහ ඒවා අධික වේගයකින් ගමන් ගත් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම 2002 මැයි, ජුනි සහ ජූලි යන මාසවලදී පොළොන්නරු නගරයෙන්, මෙවැනි අත්භූත සිදුවීම් කිහිපයක්ම වාර්තා විය. මේ සෑම සිදුවීමක්ම සිදුවූයේ පොළොන්නරු පුරාවිද්‍යා ප්‍රදේශයන් කේන්ද්‍ර කොටගෙනය. 2002 වසරේ මැයි මස 13 වැනිදා පොළොන්නරුව කදුරුවෙල බීජ ගොවිපොළෙහි රාත්‍රි මුර සේවයේ යෙදුණු උපුල් නම් තරුණයා අහසේ සැරිසැරූ අත්භූත යානාවක් දැක තිබේ. එය ත්‍රිකෝණාකාර හැඩයකින් යුක්ත විය. යානාවෙන් විවිධ ආලෝක ධාරා නිකුත් වී ඇති අතර, “ගුමු ගුමු” නාදයට සමාන නාදයක් මෙමඟින් නිකුත් වී ඇත. මෙම දිනයට පෙර දින, එනම් මැයි මස 14 වැනිදා තරුණ යුවළක් කුරු මිනිසුන් දෙදෙනකු දැක තිබේ. ඔවුන් දිය නෑමට යනවිට අංගුටුමිට්ටන් වැනි මිනිසුන් තිදෙනෙක් දිවගොස් ඇති අතර ඔවුන්ගේ පාද තාරාවන්ගේ මෙන් එකට ඇලී තිබුණු බව ඔවුන් පැවසුවා. මීට අමතරව දිඹුලාගලින්, ධානිගලින් මෙවැනි හඳුනා නොගත් පියාසැරි වස්තු දුටු බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙහි ඇති පුදුමය නම් මෙලෙස දිස් වූ එකදු වස්තුවක් හෝ කිසිදු රේඩාර් පද්ධතියකටවත් කිසිදු සන්නිවේදන උපකරණ පද්ධතියකටවත් හසු නොවී නොතිබීමයි. එසේ නම් මොවුන් පැමිණියේ කොහි සිටද? ඔවුන් වෙනත් ග්‍රහලොවක, තරු පද්ධතියක හෝ චක්‍රාවාටයක සිට අභ්‍යවකාශය තරණය කරමින් මෙහි පැමිණියාද? එසේත් නොමැතිනම් කිසියම් සමාන්තර අවකාශයක සිට ‍ෙදාරටුවක් මාර්ගයෙන් මෙහි පැමිණියාද? එසේත් නැතිනම් මේවා හුදෙක් මිනිසුන්ගේ මනෝ විකාරද?

රන්මසු උයනේ ඇති සක්වළ චක්‍රය ඉදිරිපිට පුද්ගලයකුට හෝ පුද්ගලයන් සිවු දෙදෙනකුට හිඳගත හැකි ගල් ආසනයක් තිබෙනවා. භෞතික දැනුම් පද්ධතියට ගෝචර නොවන දැනුමක් ආධ්‍යාත්මිකව අපට ලබාගත හැකි බව අපි දන්නවා. ෂම්බාලා නගරයට ඇතුළු වීමට ආධ්‍යාත්මික දියුණුවක් ලබාගත් සෘෂිවරුන්ට, භික්ෂුන් වහන්සේලාට හැකි වූ බව පසුගිය ලිපියේ අපි සාකච්ඡා කළා. රන්මසු උයන ආශි්‍රතවත් සෘෂිවරුන් සහ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා සිටි බවට ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. එසේ නම් විශ්ව චක්‍රයේත් අතීත භාවනානුයෝගී සෘෂිවරයන් ප්‍රයෝජන ලබාගත්තේදැයි සැකය උපදිනවා.

සක්වළ චක්‍රය අනුරාධපුර යුගයේ නිර්මාණය කරන්නට ඇති බව සනාථ වී තිබෙනවා. නමුත් අනුරාධපුර යුගයට අයත් යැයි පුරාවිද්‍යාත්මකව සනාථ කරගත් කිසිදු නිර්මාණයකට සක්වළ සටහනේ ඇති රූප සටහන් සහ සලකුණු භාවිත කර නැහැ. මෙයත් ආන්දෝලනයට තුඩු දෙන කරුණක්.

සාමාන්‍යයෙන් සඳකඩපහණක කැටයම් කරන්නේ පලාපෙති, ලියවැල්, හංසයන්, ගවයන්, අශ්වයන්, අලින් වැනි ගොඩබිම ක්ෂීරපායී සතුන්ය. නමුත් විශ්ව චක්‍රයේ සිටින්නේ මත්ස්‍යයන්, හක් බෙල්ලන්, කැස්බෑවන් හෝ ඉබ්බන්, කකුළුවන්, මුහුදු අශ්වයන්, මුහුදු සිංහයා සහ දැල්ලකු වැනි සත්ත්වයන්ය. අනුරාධපුර යුගයේ වෙනත් කිසිදු නිර්මාණයකට යොදා නොගත් රූප සටහන් සහ ජ්‍යාමිතික හැඩතල සක්වළ චක්‍රයේ අඩංගු වීම සිතීමට යුතු කාරණාවක්. විශ්ව චක්‍රයේ රූප සටහන් හා ජ්‍යාමිතික හැඩතලවල එකතුව “පනස් තුනකි” එම අගය විශ්ව සටහනට ඉහළින් “පනති පනශ” යනුවෙන් දන්වා ඇත. මෙහි යම්කිසි අබිරහසක් තිබෙන බවට පිළිගත හැකි තවත් ප්‍රබල සාධකයක් තිබෙනවා. අපි හැමෝම දන්නවා ඊජිප්තුවේ තේජස්ව බැබළෙන ගීසා, කුෆු සහ කෆරේ යන පිරමීඩ ත්‍රිත්වය ගැන. ඒ වගේම අපි දන්නවා මෙරට රුවන්වැලි මහ සෑය, මිරිසවැටිය සහ ජේතවනාරාමය යන දාගැබ් ත්‍රිත්වය. නමුත් ඔබ දන්නවද ගීසාහි පිරමීඩ ත්‍රිත්වයත්,  පෙර කියූ දාගැබ් ත්‍රිත්වයත්, ඔරායන් තරු රටාවේ බඳ පටියේ ඇති ‘අල්නිටාක්”, මින්ටාකා, අල්නිලාම්, යන තාරකා ත්‍රිත්වයත් පිහිටා තිබෙන්නේ එකම දිශාවකට සහ එකම කෝණයකට බව.

ලෝකයේ අන්ත දෙකක නිර්මාණයන්, ගණිතමය වශයෙන් අතිශය සමාන වීමක්, සම ගණිතමය සබැඳියාව පෘථිවියෙන් එපිට විශ්වයේ තරු රටාවකට ගැළපීමත් අහඹුවක් වන්නට පුළුවන්ද? පැරැන්නන් මෙවැනි දියුණු ගණිතමය ඥානයක් ලබාගත්තේ කෙසේදැයි අදටත් කිසිවකුට සිතා ගැනීමට නොහැකිය. එමෙන්ම රන්මසු උයනට ජලය ලබාගෙන ඇත්තේද දියුණු ගණිතමය සංකල්ප ප්‍රයෝජනයට ගනිමිනි.

උතුරු මැද දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ විවිධ අද්භූත සිදුවීම්ද, ඇස් අදහා ගත නොහැකි නිර්මාණයන් මඟින්ද සැක පහළ වන්නේ සක්වළ චක්‍රය මඟින් යම්කිසි දැනුමක් හුවමාරු වූවාද යන්න ගැනයි. කෙසේ නමුත්  රන්මසු උයනේ ඇති තාරකා ‍ෙදාරටුවේ ප්‍රහේලිකාව විසඳීම මානව ශිෂ්ටාචාරයම වෙනත් අතකට යොමු කළ හැකි ප්‍රබල දෙයක් වනු ඇති බව නම් නිසැකය.

දුමිදු ලංකා බණ්ඩාර