මැයි මල් පිපෙන වසන්තය අත ළඟ

0
132

ලෝක කම්කරු දිනය ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාවට අතිශයින් වැදගත් වේ. මෙවර මැයි දිනයේදී ශ්‍රී ලාංකේය කම්කරු පන්තියේ ප්‍රාර්ථනා අලුත්ය. අපේක්ෂාවන් වෙනස්ය. සටන් පාඨ උණුසුම්ය. වැඩ කරන ජනතා ජවය, ශක්තිය හා ධෛර්යය ඉතා ඉහළ මට්ටමක තිබේ. රටේ ජාතික ධනය කොල්ලකෑ පවුල් පාලනයකින් අත්මිදීමේ ජයග්‍රහණය එළිපත්තේ සිට ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය මෙවර මැයි දිනය සමරන්නේය.

ජාතික සම්පත් විදේශයන්ට විකුණා දැමූ, ඊනියා සංවර්ධන මාවතක රට ඉදිරියට ගෙනයමින් ශ්‍රී ලංකාව දූෂිත ගර්හිත රාජ්‍යයක් බවට පත්කළ වසර 74ක ධනපති පන්තියේ පවුල් පාලනය නිමාවන අරුණලු නැඟෙමින් තිබේ. ධනපති පවුල් පාලනය බලයට ගෙන ඒම සඳහා මෙරට කම්කරු පන්තියද සමාදන් වූ බව රහසක් නොවේ. ධනේෂ්වරයට මුක්කු ගැසූ කම්කරු පන්ති නායකයෝ මෙරට වැඩ කර ජනතාව ධනපති පන්තියේ වල්ගය බවට පත්කළ යුගය මෙතෙකින් නිමා වනු ඇත.

ලාංකේය කම්කරු පන්තියේ දෛනික ජීවිතය ඛේදවාචකයක් බවට පත්ව ඇති අඳුරු යුගයක ඔවුහු අද මැයි දිනය සමරති. මේ මොහොතේ රට කරවන පාලකයා කුකුළු ගොවිපොළක් හිමියකු කුකුළන්ට දක්වන සැලකිල්ලවත් රටේ ජනතාව කෙරෙහි දක්වන්නේ නැත. තුන්වේල බත ඉදෙන නිවෙසක් සොයා ගැනීම කළුනික සෙවීම බඳු අසීරු කාරණයකි. ආහාර ද්‍රව්‍ය මිල දෙගුණ වෙමින් ඉහළ නඟින අතර කම්කරු පන්තිය දෛනික රැකියාවන්හි නිරතවීම කෙසේ වෙතත්  දවස පුරා පෝලිම්වල තැවෙති.

අපේ රටේ කම්කරු පන්තිය මේ අත්විඳින්නේ වැරැදි පාරක ගමන් කිරීමේ ඵල විපාකය. ලෝකයේ කම්කරු පන්තිය රතු මැයි රැලි පවත්වද්දී ඉතිහාසය පුරාම අපි කොළ, නිල් මැයි දින රැලි පැවැත්වූයෙමු. ‘සකල ලෝකවාසී කම්කරුවනි එක්වව්’ මැයි දින සටන් පාඨය ලෝක කම්කරුවන් හඬා කියද්දී, අපි ධනපති පන්තිය පෙරටුකොට පෙළපාළි යමින් ‘අපි යන්නේ කොයි පාරේ ඩඩ්ලි හාමු ගිය පාරේ’, ‘බත් දුන් පියා බුදු වේවා’, ‘අපි යන්නේ කොයි පාරේ ඇන් ඇම් ලා ගිය පාරේ’ යනුවෙන් සටන් පාඨ කීවෙමු.

‘අපි යන්නේ කොයි පාරේ සිරිමා මැතිනි ගිය පාරේ’ සටන් පාඨ කීවා පමණක් නොව ‘හාල් නැතුව බත් කන්නම්. සීනි නැතිව තේ බොන්නම්. මැතිනි අපිට කියනවා නම් පිදුරු වුණත් අපි කන්නම්’, ‘කවුද රජා, මහින්ද රජා, මෙදා පොටේ, දෙනව බැටේ’ සටන් පාඨ කියමින් කොළඹ නගරය දෙවනත් කළ කම්කරු පන්තියට මහින්දලා මදි නොකියන්න බැට දී තිබේ.

අවුරුදු 74ක් ධනපති පන්තිය විසින් කෙවිටෙන් තළ තළා සෙක්කුව වටේ දක්කද්දී සුවච කීකරුව දණ්ඩ කර ගැසූ වැඩිහිටි පරම්පරාව ඉන් මුදා ගැනීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට තරුණ පරපුර පෙරට විත් තිබේ. කිලිටි කළ මැයි ධජය රක්ත වර්ණයෙන් යළි ප්‍රභාවත් කිරීමේ වගකීම ඔවුන් භාරගෙන තිබේ.

අද ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාවට නායකත්වය දෙන්නේ ක්‍රමයේ සැබෑ වෙනසක් අපේක්ෂා කරන තාරුණ්‍යය විසිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය පලවා හැරීම සඳහා ඔවුහු වීදි බැස සිටිති. පරම්පරාවක බලාපොරොත්තු, ප්‍රාර්ථනා සුනුවිසුනු කළ ධනපති පාලනයට තවත් එකදු හෝ අවස්ථාවක් ඔවුන් නොදෙනු ඇත.

‘සකල දේශවාසී කම්කරුවනි සමඟි වව්’ කියමින් කොළඹ නගරයේ විසි තිස් පොළක මැයි රැලි පැවැත්වූ යුගය මෙතෙකින් නිමා වනු ඇත. කම්කරු පන්තිය කෑලිවලට කඩා බෙදා පාලනය කළ යුගය නිමා වී සිංහල, දෙමළ, මුස්ලිම් වැඩ කරන ජනතාව සහෝදරත්වයෙන් බලමුළු ගන්වන යුගය ඇරඹී තිබේ. ඉතිහාසය වෙනස් කරමින් වැඩ කරන ජනතා පෙළපාළියේ පෙරමුණ තරුණ ජනයා අතට පත්ව ඇත. අභිමානවත් නවෝදයේ හිරු නිසැක ලෙසම හෙට දින පායනු ඇත. මැයි මල් පිපෙන වසන්තය අත ළඟයි.