පාතාලයට අධිපති සෙනසුරු පාපතරයන් අතුගා දමන මෙහෙවරේ

0
369

ලෝකායත ජේ‍යාතිෂයට අනුකූලව අප්‍රේල් මාසය තුළ සිදුවූ ග්‍රහයන්ගේ වෙනස්වීම ලෝක ප්‍රජාවට කෙසේ බල පවත්වයිද යන්න අධ්‍යයනය කළයුතු කරුණකි. සාමාන්‍යයෙන් වසරක් වැනි කාල සීමාවක් එකම රාශියක රැඳී සිටින ගුරු ග්‍රහයා ලෝකායත කේන්දරයේ දොළොස්වැන්නේ හෙවත් අයස්ථානයේ තමාට හිමි මීන රාශියේ ස්වක්ෂේත්‍ර වීම 2022 අප්‍රේල් මස දොළොස්වැනි දින සිට සිදුවිය. එමෙන්ම 2022 අප්‍රේල් මස දහතුන්වැනි දින රාහු ග්‍රහයා මෙතෙක් ගමන් කළ උච්ච භවනෙන් ඉවත් වී සතුරු රාශියක් වූ මේෂ රාශියේ ගෝචර වූ අතර, කේතු ග්‍රහයා තුලා රාශියේ සිය ගමන ආරම්භ කරන ලදී.  

අප්‍රේල් මස පස්වැනි දින සිට මැයි මස පළමුවැනි දින දක්වා පවතින ග්‍රහ යුද්ධවලින් මහ ජනතාව නියෝජනය කරන සෙනසුරු, සිකුරු සහ බුධ යන ග්‍රහයන් ජයග්‍රහණය කිරීම තුළ මහජන බලය තවදුරටත් ශක්තිමත් වනු ඇත.

එමෙන්ම 2022 මැයි මස පළමුවැනි දින අර්ධ සූර්ය ග්‍රහණයක් සිදුවන්නේ මේෂ රාශියේ සිකුරුගේ නැකැතකය. මෙවැනි ග්‍රහ පිහිටීම් අතරේ 2022 අප්‍රේල් විසිනවවැනි දින කුජ ග්‍රහයාගේ දෙනට නැකැතේ ගමන් කරමින් සෙනසුරු ග්‍රහයා ඔහුට හිමි කුම්භ රාශියේ ගෝචර වේ. පාතාලයේ දෙවියා ලෙස හඳුන්වන සෙනසුරු ලංකා කේන්දරයේ ලග්න ගත වීම නිසා රාග, ද්වේශ, මෝහවලින් පිරීගිය පාපී මිනිසුන්ට යහපත් නොවේ.

ලංකා කේන්දරයට අයත් වූ කුම්භ රාශියේ අප්‍රේල් අටවැනි දින කුජ ග්‍රහයා ගෝචර වූ අතර මේ වන විට සෙනසුරු ග්‍රහයාද එම රාශියේ යෝග වී ගමන් කිරීම තත්ත්වය තවත් බරපතළ කරයි.

ලංකා කේන්දරයේ බල රහිතව දොළොස්වැන්නේ සිටින රවි ග්‍රහයා මෙම අවස්ථාවේ තුන්වැනි භාවයේ උච්ච බලයෙන් ගමන් කරයි. එහෙත් රාහු සහ යුරේනස් යන ග්‍රහයන් තුන්වැනි භාවයේ ගෝචර වීම මත රාජ්‍යයේ බලය හීන කරමින් වැඩ කරන පන්තියේ නැඟීසිටීම වර්තමාන රජයට තර්ජනයක් වේ. මෙවැනි පරිසරයක් තුළ කුජ ග්‍රහයාගේ සිවුවැනි දෘෂ්ටිය සහ රාහු ග්‍රහයාගේ දොළොස්වැනි දෘෂ්ටිය ලබමින් බුධ ග්‍රහයා සිවුවැන්නේ ගෝචර වේ. මෙය දැනට රටේ උද්ගත වී පවතින මහජන අරගල ප්‍රබල වීමට හේතුවේ.

සාමාන්‍ය ජන ජීවිතයට බලපාන සියලුම අංශ දුර්වල වීමෙන් රාජ්‍ය නිලධාරීන් සහ පාලකයන් කෙරෙහි එල්ලවන විරෝධය රාජ්‍ය මර්දන බලපෑම් තුළින් මැඬපවත්වා ගැනීමට මෙම ග්‍රහ පිහිටීම්වලට අනුව රජයට අවස්ථාවන් නිර්මාණය නොවේ. දෙවැනි භාවයේ ගුරු ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා ගෝචර වන අතර, මෙහි ගුරු ග්‍රහයා අයස්ථානය සහ ධනස්ථානය අධිපති ග්‍රහයා වීම මත ජාත්‍යන්තර වශයෙන් සහයෝගය හිමිවන නමුත්, යම් යම් බලපෑම්වලට යටත්වීමට සිදුවන අතර, රාජ්‍ය පාලකයන්ට නීතිමය ගැටලුවලට මුහුණ දීමට හේතු වන කරුණු ඉස්මතු වේ.

ස්වභාවධර්මයේ අනුකූලතාව තේරුම් නොගත් පාලක පෙළැන්තිය සමාජයේ පවතින යථා ස්වරූපය හ¾දුනා නොගැනීම නිසා නීතිය වල්වැදී, ප්‍රසිද්ධියේම වංචා, දූෂණ, මංකොල්ලකෑම් සිදුකිරීමෙන්  පරිහානියට පත්වූ සමස්ත සමාජ පරිසරය අතුගා දැමීමේ වගකීම පාතාලයේ දෙවියන් වූ සෙනසුරු ග්‍රහයා විසින් අකුරටම ඉටුකරදීම මෙම කාල වකවානුව තුළදී සිදුවේ.

 ලංකා කේන්දරයේ ලග්නය වූ කුම්භ රාශියේ ගෝචර වූ සෙනසුරු ග්‍රහයා ආණ්ඩුව නියෝජනය කරන දහවැනි භාවය දහවැනි දෘෂ්ටියෙන් දැකීම මත එහි පවතින දුර්දාන්ත ක්‍රියාකාරිත්වය මුළුමනින්ම උපුටා දැමීමේ කාර්යභාරය 2022 අප්‍රේල් විසිනව වැනි දිනෙන් පසු ආරම්භ කරන අතර 2022 ජූලි මස හය වැනි දිනට ප්‍රථමයෙන් පාර්ලිමේන්තුව තුළ සාධනීය වෙනසක් ඇති කිරීමට මෙම ග්‍රහචාරය හේතු වන බව පෙනීයයි.

කිවිපති

කල්‍යාණි හේරත් මැණිකේ

071 8664273