නායක ගවයා කෙළින් නොයා ඇදේට ගියොත් පසුපසින් යන ගවරැළට මොකද වෙන්නේ?

0
191

බුදු දහම වූ කලී ලෝකෝත්තර සැපත පමණක් හෝ පරලොව දියුණුව පමණක් සඳහන් දහමක් නොවේ. මෙලොව දියුණුව සලසා ගැනීමටද බොහෝ සෙයින් උපදෙස් ඇතුළත් වෙයි. මෙහිදී පාලකයා දැහැමි විය යුතු ආකාරය පිළිබඳව සඳහන් ධර්ම කරුණු විමසීම ඉතා වැදගත්වේ. බුදුන් වහන්සේ ලොව පහළ වූයේ දේශපාලනඥයකුගේ හෝ විද්‍යාඥයකු කාර්යය කිරීමට නම් නොවේ. නමුත් උන්වහන්සේගේ ඇතැම් දේශනාවල දේශපාලන කරුණු පිළිබඳව සඳහන්ව ඇත. මෙයින් ජනතාවගේ සුබසිද්ධිය මෙන්ම රටෙහි අභිවෘද්ධිය අපේක්ෂා කරන්නට ඇත.

පාලකයන්ට තම කටයුතු වඩාත් ධාර්මිකව මෙන්ම ප්‍රතිපත්තිගරුකව සිදුකරගෙන යෑම සඳහා උන්වහන්සේ දේශනා කළ විවිධ කරුණු බොහෝ සූත්‍රවල සඳහන් වෙයි. මෙහි ජනතාවට වඩා යහපතක් සිදුවන දැහැමි ප්‍රතිපත්ති රාශියක් අඩංගු වෙයි. වර්තමාන සමාජය දෙස බලන විට රටේ පාලකයන් අධාර්මික වී ඇත. තම බලය ආරක්ෂා කර ගැනීමට පොරකනවා විනා ජනතාවගේ සුබසිද්ධිය සඳහා කටයුතු නොකරයි. බලයේ නැති පාලකයා බලයට පත් වන්නට නොකරන දෙයක් නැත. ජනතාවට රවටා දෙන බොරු පොරොන්දු අප්‍රමාණය. ඇතැම් බේබදු පුද්ගලයන්, හොරු – තක්කඩියන් පවා සල්ලි බල තණ්හාව නිසා බලයට පත්ව උගත් මිනිසුන් පහත් කොට සලකා තාඩන පීඩන සිදුකරති. එ නිසාම අද දේශපාලකයාගේ ගෞරවය සම්පූර්ණයෙන්ම නැතිවී ඇත. බලයට පත්වන දේශපාලකයා තම රටෙහි සංස්කෘතිය, ආගම, ගුණධර්ම යන ඒවා වර්ධනය කිරීමට කැප නොවෙති. ඔවුන් තම තමන්ගේ සුඛවිහරණය පිණිස පමණක් කටයුතු කරති. මේ නිසාම දේශපාලනඥයා අද දේශපාලුවකු බවට පත්ව ඇත. මෙය ශෝචනීය කරුණකි. නමුත් මේ අතර යහපත් දේශපාලකයන් රට තුළ සිටින බවද සිහිපත් කළ යුතුය. එමෙන්ම අතීතයේදී එවැනි යහපත් පාලකයන් සිටියහ. ඔවුන් සදා අනුස්මරණීය වේ.

රටක් සංවර්ධනය කරන විට රටේ පාලකයා දැහැමි විය යුතුය. එවැනි අය ගෙන යන දැහැමි පිළිවෙත ඉතා වැදගත් වේ. බුදු දහම තුළ ඉදිරිපත් කරන ප්‍රධාන කරුණක් නම්, ජනතාවට නායකත්වය දෙන පාලකයන් සදාචාරය සම්පන්න ආදර්ශමත් විය යුතුය යන්නයි. “ගව රැළක නායක ගවයා ඇදේට යන විට සෙසු ගවයන්ද ඇදේට යන්නාක් මෙන් රටක පාලකයා දැහැමි නොවූ කල ජනතාවද නොමඟ යන බව” ඉන් පැහැදිලි වේ. විශේෂයෙන්ම යම් රටක පාලකයන් අධාර්මික වුවහොත් මුළු රටම විපතට පත් වන බව රජෝවාද ජාතකයේද සඳහන් කොට ඇත. නායක ගවයා කෙළින් යන කල සෙසු ගවයන්ද කෙළින් යන්නාක් මෙන් රටේ පාලකයන් දැහැමි වූ විට රටද අභිවෘද්ධියට පත් වෙයි.

ඡක්කවත්ති සීහ නාද සූත්‍රය තුළ සඳහන් පරිදි පාලකයා ප්‍රථමයෙන්ම ධර්මයට මුල්තැන දිය යුතුයි. එනම් පාලකයා උතුම් සත්පුරුෂ මනුෂ්‍යයකු විය යුතුය යන්නයි. නොහොඹිනා අසත්පුරුෂ ක්‍රියාදාමයන්ගෙන් වැළකී ගුණධර්ම අනුව ජීවත්විය යුතුයි. වර්තමානයේදී බොහොමයක් මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, වෙනත් විනය විරෝධී ක්‍රියාවන්ගේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ රට පාලනය කරන දේශපාලකයන්ය. ගම්බිම් භේද කිරීම, මිනිසුන් භේද භින්න වීම වැනි මේ සියල්ලටම අයහපත් දේශපාලනය වගකිව යුතුය.”

දානං සීලං පරිව්ච්ගං අජ්ජවං මඡ්ංජවං තපං

අක්කොධං අවිහිංසංච ඛන්තිංච අවිරොධනං”

මෙම ගාථාව තුළ සඳහන් වන්නේ “දස රාජ ධර්මයන්” පිළිබඳවයි. එය රටක් පාලනය කරන පාලකයකු හට අතිශය වැදගත් කාරණා දහයකි. ඉහත ගාථාවේ ස¼දහන් රාජ ධර්ම දහය සහ එහි අර්ථය පහත පරිදි දීර්ඝ කොට විස්තර කළ හැකිය.

1. දානය

2. ශීලය

3. පරිත්‍යාගය

4. සෘජුභාවය

5. මෘදුභාවය

6. තපස

7. ක්‍රෝධ නොකිරීම

8. අවිහිංසාව

9. ඉවසීම

10. අවිරෝධතාව යන ඒවාය.

මෙම දසරාජ ධර්ම සෑම පාලකයකුම පිළිපැදිය යුතුය. පළමුවැන්න “දානය”යි. දානය ලෙස හඳුන්වන්නේ ජනතාවට ජීවත් වීමට අවශ්‍ය වන ආහාරපාන, නිවාස ආදිය ලබා දීමයි. ඒවා අයකිරීමකින් තොරව ලබා දීම ඉතා වැදගත් වේ. දෙවැන්න ශීලයයි. රටේ පාලකයා පන්සිල් සුරකින අයකු නම් අල්ලස් ආදිය ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. රටේ පාලකයන් නිරන්තරයෙන්ම පන්සිල් සුරකින සමාජයක් නිර්මාණය කිරීමට උත්සුක විය යුතුය. පාලකයාට “සීලයක්” තිබීමද ඉතාම වැදගත්ය. සීලයෙන් හික්මීම මෙන්ම ආකල්ප ආදිය සංවර්ධනය කිරීමටද හැකිය. එමෙන්ම තුන්වැන්න පරිත්‍යාගයයි. පාලකයා තම ජනතාගේ විවිධ කටයුතු කෙරෙහි තම කාලය, ශ්‍රමය කැපකළ යුතුය. එය පරිත්‍යාගයයි.

හතරවැන්න සෘජු බවයි. පාලකයකු වූ කලී කියන දේ කරන කරන දේ කියන සෘජු පාලකයකු විය යුතුය. වර්තමාන සමාජය තුළ දේශපාලකයන් ඡන්දය ලබා ගැනීමට නොකරන දෙයක් නැත. ඡන්ද කාලය වන විට සිඟන්නන් මෙන් ජනතාව සොයා පැමිණෙන ඔවුන් තමන්ට අවශ්‍ය ඡන්දය ලබා ගනිති. ඉහත ගාථාවේ අජ්ජවං යනුවෙන් සඳහන් වනුයේ අවංකම හා සාධාරණ බවයි. පාලකයා ජනතාව කෙරෙහි අවංක විය යුතුය. පස්වැන්න මෘදු බවයි. එනම් මද්ධව නොහොත් මෘදු බවද පාලකයකුට අතවශ්‍ය කාරණයකි. මෝඩයකුගේ ස්වරූපයෙන් තොරව අනුකම්පාවෙන් ජනතාව දෙස බැලිය යුතුය. සයවැන්න තපසයි. තප යනු පාලනය කරගත් හැඟීම් ඇත්තකු වීමයි. සත්වැන්න ක්‍රෝධ නොකිරීමයි. ජනතාව සමඟ මිත්‍රශීලී වීම අකේ‍රා්ධයයි. අටවැන්න අවිහිංසාවයි. එනම්, හිංසන ක්‍රියාවන්ගෙන් වැළකීම අවිහිංසාව වශයෙන් දැක්විය හැකියි. නව වැන්න ඉවසීමයි. වන්ති යනුවෙන් හදුන්වන්නේ එයයි. පාලකයකු වූ කලී තම රට තුළ ජනතාවගේ ගෞරවය මෙන්ම විවේචනයන් ද සම සිතින් ඉවසීම විඳදරා ගැනීමටද පුරුදු විය යුතුය. තවද තම සුරතෙහි බලය තිබෙන විට අන් අයගෙන් පළිගැනීම ආදිය නොකළ යුතුයි.

දස වැන්න අවිරෝධයයි. අවිරෝධය යනු නම් ජනතාවගේ අදහස්වලට ඇහුම්කම් දීමයි. ජනයාගේ හඬට විරුද්ධ නොවීම අවිරෝධයයි. මෙම කරුණු රටේ පාලකයන් තුළ තිබේ නම්, එම රට සමෘද්ධියට පැමිණෙනු ඇත. දුප්පත්කම මිනිසුන් බොහෝ අපචාර සිදු කරති. මෙම අපචාරයන් සිදුකරන හොරුන් සිරගත කොට ඔවුන්ට සහනාධාර ලබා නොදීම  මඟින් ප්‍රශ්න විසඳෙන්නේ නැති බවත් පොදු සමාජ ගැටලුවක් ලෙස සියල්ලටම  ආධාර කළ යුතු බව “චක්‍රවර්ති සීහනාද සූත්‍රය” තුළ දක්වා ඇත.   අවිරෝධතාව, ගැටුම්වලට ඉඩ නොතිබීම අවිරෝධ ගුණයයි. එනම් රටක් තුළ රටේ කැරලි කෝලහාල හොර මැරකම් නැති කිරීමට නම්, රැකියා මාර්ග ලබා දිය යුතු බවත්, කෘෂි කර්මාන්තයට අවශ්‍ය බීජ, පොහොර ආදිය සැපයීම පාලකයන් විසින් සිදු කළ යුතු බවත් මෙමඟින් සමාජ සුබසිද්ධිය ඇති වන බව කූඨ දන්ත සූත්‍රය තුළ පෙන්වා දෙයි.

මේ අනුව බලන විට පැහැදිලි වන්නේ නිවැරදිව රට පාලනය කිරීමට නම් පාලකයන් නිවැරදි ප්‍රතිපත්තිවල කටයුතු කළ යුතුයි. සප්ත අපරිහානි ධර්ම, සතර සංග්‍රහ වස්තු ආදියද පාලකයන්ගේ දැහැමි බවට බොහෝ උපදෙස් ලබා දෙයි.

දිනූෂා මනෝරි නිශ්ශංක

පූජ්‍ය වත්තේගම රතනසාර හිමි

මහනුවර, වත්තේගම, ඉහළයටවර හි

මෙත්තාරාම මූලමහා විහාරවාසී

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති