දිව පිනවන, බඩ පුරවන කෑම, බීමවලටත් කටකතා, ඕපාදූප හැදෙනවා

0
576

සංස්කෘතිය යනු කලාවකට විතැන් වූවක් නොවේ. ලෝකයෙහි පවතින සෑම දෙයටම සංස්කෘතියක් ඇත. ආහාර සංස්කෘතිය යනුද එවැන්නකි. නමුත් මේ පිළිබඳ කතාබහ කරනු දකින්නට නොලැබෙන්නේ මේ රටේ අවාසනාවකටය. ආහාර සංස්කෘති මෙන්ම ආහාර ගැනද ලෝකයෙහි මිථ්‍යා මත දහස් ගණනක් පවතී. අමු ආහාර අනුභවයේ පටන් උයා පිහා කෑම දක්වා ද සියලු දේ මේ මාතෘකාවට අදාළය. එය දඩයම් යුගයේ සිට වර්තමානය දක්වාම වලංගුය. දඩයම් යුගයේ පටන් පශ්චාත් නූතන යුගය දක්වාම මිනිසා සත්ත්ව ආහාරයෙන් යැපුණේ ලෝකය මත වැඩෙන පරපෝෂිතයෙක් බඳුවය. එසේම ඊට නොදෙවැනිව  නොනවත්වාම ශාක ආහාර ලබා ගනිමින්ද සොබාදහමට වින කටිමින් පෘථිවිය මරණයේ තුරුලට යවමින් සිටී. ජෝන් ග්‍රේගේ පිදුරු බල්ලෝ වැනි කෘතියක් පවා ඒ මානව කේන්ද්‍රීය චින්තනයෙහි විනාශකාරී භාවය මෙන්ම කටුක යථාර්ථය පිළිබිඹු කරයි.

කෙසේ හෝ දඩයම් යුගයේ පටන් අද දක්වාම සතුන් ආහාරයට ගැනීම නොනවත්වාම පැවැතුණකි. සත්ත්ව ආහාර ආහරයට ගැනීම යනු දඩයම් යුගයේ අතීතකාමී රසය, ම්ලේච්ඡත්වය අමතක නොකිරීමක ප්‍රතිඵලයක් මිසක ශාක ආහාරයන් හි අඩුවක් නොවන බව පූර්ණ සත්‍යයකි. මෙයට නූතන විද්‍යාවද පරිපූර්ණව වගකිව යුතු බව කියා සිටිය යුතුමය. සත්ත්ව ආහාර සම්බන්ධයෙන් ඇති දුර්මත එසේ නොවේ නම් මිථ්‍යා මත කිහිපයක් පිළිබඳව අපි සොයා බලමු. ඒවගේම වීදි ආහාර එහෙමත් නැත්නම් Junk Foods පිළිබඳවද, අප එදිනෙදා භාවිතයට ගන්නා ස්වාභාවික පලතුරු, එළවළුවල මෙන්ම ටින් තුළ අසුරුම් කරන ලද ආහාර පිළිඳව දුර්මත කිහිපයක් පිළිබඳවත් අපි සොයා බලමු.

සත්ත්ව ගොවිපොළවල් සතුන්ව දුර්වල කරනවා

සත්ත්ව ගොවිපළවල් තුළ දිවි ගෙවන සතුන් දුර්වල තත්ත්වයන් යටතේ ඇති දැඩි කරන්නේය යන්න තවත් මිථ්‍යාවකි. සත්‍යය වන්නේ  වර්තමාන ගොවිපළවල් බොහොමයක් අතීතයේ පැවැති ගොවිපළවලට වඩා විශාල වුවද වඩා හොඳ සත්ත්ව ආරක්ෂණ පිළිවෙත්, වැඩිදියුණු කළ පෝෂණ අවශ්‍යතා සහ සත්ත්ව නිවාසද ගොඩනඟා තිබෙන බවය. ඒවා විලෝපිකයන්ගෙන්, රෝගයන්ගෙන් සහ ආන්තික කාලගුණයෙන් සතුන් ආරක්ෂා කරයි. නවීන සත්ත්ව නිවාස හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි, උෂ්ණත්වය පාලනය කිරීම සහ සතකුගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා විද්‍යාත්මකව වැඩිදියුණු කරමින් නිර්මාණය කර ඇත. ඔවුන් මරණය තෙක් දුක් විඳිනවාය යන්න මිථ්‍යාවකි.

ගොවිපොළවල් සතුන්ගේ ආරක්‍ෂාව ගැන සිතන්නේ නැහැ

ගොවීන් ලාභය ගැන මිසක සත්ත්ව රැකවරණය ගැන නොසලකන බව තවත් එක් ව්‍යාජයකි.  සැබෑවටම ගොවීන්ගේ ප්‍රමුඛතාව වන්නේ තම සතුන්ට හැකි උපරිම රැකවරණය ලබාදීම සහතික කිරීමය. සතුන් නිසි ලෙස රැකබලා නොගන්නේ නම් ඔවුන්ට ගුණාත්මක නිෂ්පාදනයන් ලබාගත නොහැකිය. ලාභදායී ගොවිපළකට ගුණාත්මක සත්ත්ව රැකවරණයක් පමණක් නොව එය සිදුකිරීමට නිසි ක්‍රියාවලියකුත් තිබිය යුතුය. එය නූතන විද්‍යාව සමඟ අතිනත බැඳගනිමින් ඉදිරියට ගලායයි.

සතුන් තර කිරීමට හොර්මෝන ලබාදෙයි

තවත් එක් මිථ්‍යා මතයක් වන්නේ කුකුළන්, කළුකුමන්, කිකිළියන් සහ උෟරන් විශාල කිරීමට හා වේගයෙන් වැඩීම සඳහා හෝර්මෝන එන්නත් කරන බවයි. ෆෙඩරල් නීතිය මඟින් එක්සත් ජනපදයේ සියලුම කුකුළු මස් සහ ඌරු නිෂ්පාදනය සඳහා හෝර්මෝන සහ ස්ටෙරොයිඩ් භාවිතය තහනම් කළේය. ඒ එන්නත් කිරීම වනාහි පරිපූර්ණ මිථ්‍යාවකි. නමුත් තුන්වන ලෝකයේ තත්ත්වය මීට වෙනස් බවද පැවැසිය යුතුය.

ටින් කෑම සිරුරට අහිතකරයි

ටින් තුළ ඇසුරුම් කරන ලද ආහාර ආහාරයට නුසුදුසුය යන්න තවත් එක් මිථ්‍යා මතයකි. එළවළු හෝ පලතුරු නෙළාගත් දිනයෙන් පසුව ක්‍රම ක්‍රමයෙන් ඒවායේ විටමින් හා ඛනිජ ලවණයන්ට හානි වෙන්නට පටන්ගනී. නමුත් ටින් කරන ලද එළවළු හෝ පලතුරු බොහෝ විට ටින් කෙරෙන්නේ ඒවායේ අස්වනු නෙළාගන්නා දවසේමය. එමෙන්ම ටින් කිරීමේ දී එම අසුරණය ඇතුළත වාතය ඉවත් කර රික්තකයක් ඇති කොට ටින් කෙරෙන නිසා ඒවායේ ගුණයට කිසිදු ලෙසකින් හානි වීමක් හෝ ආහාර නරක් කරන බැක්ටීරියාවල වර්ධනයක් සිදුවන්නේද නැති තරම්ය. එබැවින් ඒවා ශරීරයට අහිතකර බවින් ඉතා අඩුය. නිදසුනක් ලෙස, මීට මාසයකට පමණ පෙර ටින් කරන ලද තක්කාලිවල දැනට දින තුනකට පෙර අස්වැන්න ලබාගෙන ස්වාභාවික පරිසර තත්ත්ව යටතේ තැබූ තක්කාලිවලට වඩා වැඩි ලයිකොපීන ප්‍රමාණයක් අන්තර්ගත වෙන බව ඔබ දන්නවාද? ලයිකොපීන පිළිකා ඇති වීම වළක්වන ප්‍රතිඔක්සිකාරකයකි. මීට අමතරව නැවුම්ව පවතිද්දී ටින් කරන ලද බෝංචිවල සිය කල් ඉකුත්වීමේ දිනයට පෙර එනම් දින 3ක් හෝ හතරක් ස්වාභාවික තත්ත්ව යටතේ පැවැති ඒවාට වඩා වැඩි ජලයේ දියවන තන්තු ප්‍රමාණයක් අන්තර්ගතව තිබෙන බැව්ද සොයාගෙන තිබෙනවා.

යොදය සහිත කිරිපිටි ගුණදායකයි

සම්පූර්ණ යොදය සහිත කිරි ආහාර සංතෘප්ත මේද සහ කැලරිවලින් ගහන බවත් තරබාරුකම වගේම හදවත් රෝග වැලඳීමේ අවදානමද වැඩි කරන බව බොහෝ දෙනා කියති. මේ හේතුව නිසාම යොදය රහිත ආහාර අනුභව කරන්නට බොහෝ දෙනා පෙලඹෙනවා. නමුත් පර්යේෂණවලින් පෙනීයන්නේ සම්පූර්ණ යොදය සහිත ආහාර හදවත් රෝග වැලඳීම හා සම්බන්ධ නොවන බවත් තරබාරු බවට විශාල ලෙස බලනොපාන බවය. යොදය රහිත කිරිපිටි යනුද තවත් එක් මාෆියාවකි. එය ශරීරයට ඉතා හිතකර යැයිද යොදය සහිත ආහාරවලට වඩා ගුණදායි යන්න මිථ්‍යාවකි.

කිරි බොන්න හොඳ නැහැ

ආමන්ඩ්, සෝයා, පොල් සහ සහල් කිරි වැනි විකල්ප කිරි, කිරිවලට වඩා සෞඛ්‍යසම්පන්නයි කියා බොහෝ දෙනා කියති. නමුත් කිරි සඳහා වන විකල්ප සැබෑ කිරිවල රසය සහ පෝෂණ පැතිකඩ සමඟ ගැළපීමට උත්සාහ කිරීම සඳහා බොහෝ ආකලන භාවිත කරයි. එළකිරි යනු සරලවම විටමින් A සහ ​​D එකතු කරන ලද කිරි වේ. එහි ස්වාභාවිකව වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ඇත. සෑම වීදුරුවකම උසස් තත්ත්වයේ ප්‍රෝටීන් ග්‍රෑම් අටක් ඇතුළත්ය. අස්ථි සෞඛ්‍යය වර්ධනය කිරීම, හෘදවාහිනී රෝග සහ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩුවීම මෙන්ම වැඩිහිටියන්ගේ රුධිර පීඩනය අඩුවීම වැනි සෞඛ්‍ය ප්‍රතිලාභ රැසකට දශක ගණනාවක පටන්ම කිරි උපකාරී වේ. එය ස්වභාවධර්මයේ මුල්ම ප්‍රෝටීන පානයයි. හෝමර්ගෙ ඔඩිසිවල පවා මේ කිරි ආහාර ගැන සඳහන්ය.

පැස්චරීයකරණයේදී කිරිවල වන පෝෂ්‍ය පදාර්ථ විනාශ වන බව තවත් එක් මිථ්‍යාවකි. සැබෑව නම්, පැස්චරීයකරණයේ දී සිදුවන්නේ විසබීජ විනාස වීම මිසක පෝෂ්‍ය පදාර්ථ විනාශ නොවන බවය.

කැරට් උයන්න එපා අමුවෙන් කන්න

අමු කැරට් පිසින ලද කැරට්වලට වැඩියෙන් පෝෂ්‍යදායී බව බොහෝ දෙනා කියනා දෙයකි. සමේ වර්ණය පැහැපත් කිරීමට උත්තරය ලෙසද කැරට් ජූස් බීම බෙහෙවින් ජනප්‍රියය. සැබැවින්ම කැරට් පිසීමේදී එහි පෝෂ්‍යදායී බව වැඩිවේ. මන්ද බීටා සහ කැරොටීන්වලින් ආවරණය වූ බිත්ති බිඳී යෑම නිසාවෙන් කැරට්වල පෝෂ්‍යදායී බව වැඩි වන බව වෛද්‍ය මතයයි.

මාගරින්වලට වඩා බටර් හොඳයි

බටර්වලට වැඩියෙන් මාගරින් යහපත්ද? බටර් යනු සත්ත්වමය ආහාරයකි. නමුත් මාගරින් එසේ නොවේ. එය සම්පූර්ණ ශාකමය ආහාරයකි. බටර් හා මාගරින්වල ඇත්තේ එක සමාන කැලරි ප්‍රමාණයකි. ඇතැම් මාගරින් බටර්වලට වැඩියෙන් සෞඛ්‍ය තත්ත්වයෙන් උෟනය. ඒ ඒවායෙහි බපචදඵ ටචබඵ හෙවත් අසංතෘප්ත මේද අඩංගු වීම නිසාවෙනි.

කාබනේටඩ් බීම නම් බොන්නම එපා

කාබනේටඩ් ඩ්‍රින්ක්ස් එහෙමත් නැත්නම් කාබනික පානයන් වන කෝලා වර්ග, සෝඩා වර්ග වැනි බීම වර්ග ශරීරයට අහිතකර බව සත්‍යයක්ද? සැබෑව නම් ලෙමන් හෝ දෙහි දැමූ සෝඩියම් රහිත පාන වර්ග සෞඛ්‍ය ආරක්ෂිත බවින් යුතුව ඔබේ පිපාසය සන්සි¾දුවන බවය. අනෙක් අතට සෝඩා පානය නිසාවෙන් අධික රුධිර පීඩනය, බර වැඩිවීම හෙවත් ස්ථුලතාව ද අඩු කරයි.

සැර නම් කන්න එපා බඩවැල් තුවාල වෙනවා

සැර ආහාර අනුභවය කිරීම ඔබේ බඩවැල් තුවාල ඇති කරන්නේය යන්න තවත් එවැනි මතයකි. Helicobacter Pylori නම් බැක්ටීරියාව හා ඇස්ප්‍රීන් වැනි ඇතැම් ඔෟෂධ තුවාල සහ පිළිකාකාරක ඇති කරන බව අනාවරණය වී ඇත. සැර ආහාරවලින් වන්නේ බඩවැලෙහි වේදනාවක් ඇති වීම පමණි. සැර ආහාර අනුභව කළවිට තුවාලයක් ඇති වන්නේ ‍යැයි සිතීම අපේ වැරදි වටහා ගැනීමකි. වෛද්‍යවරුන් පවසන්නේ ගම්මිරිස් වැනි ආහාරයක් ඔබට දීර්ඝායුෂ ලබා දෙන බවය.

සුදු බිත්තර වැඩක් නෑ රතු බිත්තර තමයි ගුණ

රතු බිත්තර සුදු බිත්තරවලට වැඩියෙන් ගුණවත් බව තවත් එක් මිථ්‍යාවකි. රතු බිත්තරවල කිසිදු ලෙසකින් හෝ සුදු බිත්තරවලට වඩා පෝෂණ පදාර්ථ අඩංගු නොවේ.

නමුත් රාක්කවල ගබඩා කිරීමේදී මේවායෙහි මිලෙහි සැලකිය යුතු වෙනසක් ඇත. දුඹුරු පැහැති බිත්තර සුදු බිත්තරවලට වඩා මිල අධික වන්නේ ඒවා දමන කිකිළියන්ගේ වෙනස නිසාය. සුදු බිත්තර දමන්නේ සුදු පිහාටු සහ සුදු කන් පෙති ඇති කිකිළියන් වන අතර දුඹුරු බිත්තර දමන්නේ රතු කන් පෙති සහිත රතු පිහාටු සහිත කිකිළියන්ය. රතු පිහාටු සහිත කිකිළියන් ශරීර ප්‍රමාණයෙන් විශාල වන අතර ඔවුන් වැඩි වශයෙන් ආහාර ලබාගනී. රතු බිත්තර සුදු බිත්තරවලට වැඩියෙන් කිසිදු ලෙසකින් ගුණාත්මක නොවේ.

කැරට් කෑවම ඇස් පෙනීම වැඩි වෙනවා

කැරට් ආහාර ගැනීමෙන් ඔබේ දෘෂ්ටිය වර්ධනය වෙනවාද? මේ සඳහා බලපෑවේ දෙවැනි ලෝක යුද්ධ කාලයේ ගුවන් නියමුවන් සිය පෙනීම වැඩි දියුණු කර ගැනීම සඳහා නැවුම් එළවළු හා පලතුරු අනුභව කළේය යනුවෙන් කටකතා පැතිර යෑමත් සමඟය. ඇස් පෙනීම වැඩි දියුණු කිරීම තාක්ෂණයේ ප්‍රතිඵලයකි. ඔබ විටමින් A ඌනතාවකට පත් වුවහොත් පෙනීයෑම දුර්වල වනවා මිසක කැරට් වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඔබේ පෙනුම වැඩිදියුණු වනවාය යන්න මිථ්‍යාවකි.

කෝපිවල කැෆේන් සිරුරට අහිතකරයි

කෝපි පානය ශරීරයට ඉතා අහිතකර බව තවත් දුර්මතයකි. කෝපි පානය අහිතකර බවට බොහෝ විට සැලකෙන්නේ කැෆේන් අඩංගු නිසාය. කැෆේන් යනු උත්තේජකයකි. කෙසේ නමුත් කෝපි පානය කිරීමෙන් අත්වන ප්‍රධාන වාසිද තිබේ. කෝපි යනු බටහිර රටවලට ඇති ඉතා ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි. එසේම බටහිර රටවල කෝපි සංස්කෘතියක් පවා තිබේ. කෝපි මඟින් මානසික අවපීඩනය, දියවැඩියාව, ඇල්සයිමර්, පාර්කින්සන් වැනි රෝග වැලඳීමේ හැකියාව අවම කරයි. කෝපි අධිකව පානය කිරීම ශරීරයට අහිතකර වුවද කෝපි අගුණය යන්න දුර්මතයකි.

මුත්‍රා ආසාදනවලට ක්‍රෑන්බරි තමයි හොඳම

ක්‍රෑන්බරි යුෂ මුත්‍රාශ්‍රිත රෝග සුව කරන්නේය යන්න තවත් මිථ්‍යාවකි. ක්‍රෑන්බෙරි යුෂ හෝ අතිරේක ප්‍රතිජීවක ඖෂධ මුත්‍රාශ්‍රිත ආසාදනයකට ප්‍රතිකාර කළ හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැත. නමුත් නිරන්තරයෙන් යුෂ පානය කිරීම හෝ නිතිපතා අතිරේක ආහාර ගැනීමෙන් එවැනි ආසාදන වළක්වා ගැනීමට දායක වේ. මන්ද යුෂවල ඇති සංයෝග ආසාදන ඇති කරන බැක්ටීරියා මුත්‍රාශයේ බිත්තියට ඇලී සිටීම නතර කරයි.

KFC‍ නම් කන්න එපා දෙන්නේ ජාන විකෘති කෑම

KFC‍ ආයතනය පාරිභෝගිකයාට ලබා දෙන්නේ ජානමය වශයෙන් විකෘති කරන ලද පිහාටු රහිත, හිසක් රහිත, පාද රහිත, හොටක් රහිත කුකුළකුගේ මස් බවට කට කතාවක් පවතී. එමෙන්ම Kentucky Fried Chicken නම් වෙළෙඳ නාමය KFC‍ බවට පත් කිරීමට සිදුවූයේ ද මේ ව්‍යාජ කුකුළු මස් නිෂ්පාදනය නිසාවෙන් බවද කටකතා පැතිර ගියේය. KFC‍ ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක Rick Maynard කියා සිටින්නේ KFC‍  ආයතනය භාවිතයට ගන්නේ Tyson සහ Pilgrim’s Pride වැනි විශ්වාසදායක සමාගම්වලින් මිලට ගන්නා උසස් තත්ත්වයේ කුකුළු මස් බවය. මේවා බෙහෙවින් එදිනෙදා ආහාරය සඳහා සුපිරි වෙළෙඳසල්වල පාරිභෝගිකයන් අතර විකිණෙන ප්‍රසිද්ධ මාංස සන්නාමයන් බවද ඔහු පවසයි.

මැක්ඩොනල්ඩ්ස් දෙන්නේ ඉවත දාපු මස්

ලෝකයේ ආහාර සම්බන්ධයෙන් මැක්ඩොනල්ඩ්ස් සමාගම යනු ඉතා උසස් සහ ප්‍රසිද්ධ වෙළෙඳ නාමයකි. මෙහි එම් අකුරු හැඩැති සලකුණත් ඒ තරම්ම ප්‍රබලයි. මේ සලකුණ නිර්මාණයට මූලික වෙන්නේ ඔවුන්ගේ පළමු අවන්හලේ තිබූ නියෝන් කහ පැහැයෙන් රන් පැහැයට හුරුව නිර්මාණය කරන ලද ආරුක්කු දෙක නිසාවෙනි. කෙසේ වෙතත් මැක්ඩොනල්ඩ්ස් සමාගම හරක් මස් පැටී නිපදවීමේදී ‘Pink Slime’ නමින් හැඳින්වන ඇමෝනියා සමඟ ප්‍රතික්‍රියා කර නිපදවන ලද රෝස පැහැති සෙවලක් භාවිත කරන බව ප්‍රසිද්ධ මිථ්‍යාවකි. සැබැවින්ම මේ Pink Slime යනු සිහින්ව ඇඹරූ ඉවතලන මස් කැබැලි වේ. මේවා පරිභෝජනයට නුසුදුසුය. මේවා ඉතා සිහින්ය.  එය සම්පූර්ණ රෝස පැහැ වමනි වැනි ඉතා උකු දියරත් නොවන ගණත් නොවන දෙයකි. එමෙන්ම චිකන් නගට් නම් ආහාරය සඳහාද මේවා බහුලව යොදා ගන්නා බවට කටකතා පැතිරිණි. හරක් මස් සහිත ආහාර සමඟ එය මුසු කරමින් විවිධ ආහාර නිපදවන බව ඒ දුර්මතයයි. එය එසේ නොවේ. මැක්ඩොනල්ඩ්ස් සමාගම පවසන පරිදි මැක් බර්ගර්වල රසෙහි රහස සොයන්නෝ එම වට්ටෝරුව හොරකම් කිරීම සඳහා දමන උප්පරවැට්ටියක් ලෙස මේ ‘Pink slime’ මිථ්‍යාව වපුරන බව මැක්ඩොනල්ඩ් සමාගම කියා සිටී. මේ මැක් බර්ගර් කුතුහලයට උත්තර දෙන මැක්බර්ගර් සමාගම පවසා සිටියේ ඔවුන්ගේ ආහාර 100%ක් සම්පූර්ණ හරක් මස්වලින් නිපදවන බවය.

ගිහාන් සචින්ත