අජන්තා වෙන්න කලින් මම ගැහැනියව හොඳින් වටහා ගත්තා

0
157

“කොළඹ ඉතාලිය” ටෙලි නාට්‍යයේ “අජන්තා”ගේ චරිතයට පණ පොවන ඔහු මේ දිනවල ටෙලි නාට්‍ය රසිකයන් අතර ඉතාම ජනප්‍රිය චරිතයක්. පවුලේ ආභාසය ඇතිව වේදිකාව හරහා කලාවට පිවිසෙන ඔහු නමින් ජෙනට් ඇන්තනි. මෙවර ‘හදගැස්ම’ කතාබහ වෙන් වන්නේ ඔහුටයි.

මේ දවස්වල වැඩකටයුතු මොනවද?

ගුග්ලි සහ කොළඹ ඉතාලිය යන ටෙලි නාට්‍යය ද්විත්වයේ අවසන් කොටස්වලටත්, ජගත් මනුවර්ණ අධ්‍යක්ෂවරයාගේ කොඩි ගහ යට ටෙලි නාට්‍යයේත් රූගත කිරීම්වලට සම්බන්ධ වනවා. ඊට අමතරව තවත් අලුත් ටෙලිනාට්‍ය 2කටත්, වේදිකා නාට්‍ය 2කටත් ආරාධනා ලැබී තිබෙනවා.

 ගුග්ලි ටෙලි නාට්‍යයෙහි ඔබගේ චරිතය රස්තියාදුවේ යන තරුණයකුගේ චරිතයක් නේද?

ඔව්. මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන, ජනක සම්පත් අයියා නිෂ්පාදනය කරන ගුග්ලි ටෙලි නාට්‍යයෙහි මගේ චරිතය, ගම තුළ තම අණසක පතුරාගෙන සිටින තාත්තාගේ සහ බාප්පාගේ බලයෙන් උද්දාමයට පත්වූ පුතෙකුගේ චරිතයක්. ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසුව තම මවුපියන්ගේ මුදලින් ත්‍රීවීල් එකක් ගෙන එය නවීකරණය කොට, අරමුණකින් තොරව කාලය කා දමන අයෙක්.

කොළඹ ඉතාලිය ටෙලි නාට්‍යයේ “අජන්තා” නම් කාන්තාවගේ චරිතය ගැන නොකියාම බැහැ?

ඔව්. ඒ සඳහා මට ආරාධනා කළේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතා. ඔහු, මා වසර කිහිපයක සිටම හඳුනනවා. ඔහුගේ වැඩ රැසකටම මා සම්බන්ධ වුණා. අජන්තාගේ චරිතය ගොඩනැඟීමට ඔහු විශාල උත්සාහයක් දැරුවා. මා එය රඟදක්වන්නේ ඔහු හා හොඳින් සාකච්ඡා කරමින්. මෙහි පිටපත චාලක රණසූරියගේ. මට ඔහු මුණගැසෙන්නේ වේදිකාවේදි. මගේ මේ චරිතය ගොඩනැඟෙන්නේ, ටෙලි නාට්‍යයේ තිර රචක, “අයන්න යට” ප්‍රඩක්ෂන් හවුස්හි චාලක රණසූරිය සහ සහයට ලියන පිරිස, නිෂ්පාදක සුදර්මා නෙත්තිකුමාර, කැමරාකරණයෙන් ජනක අත්තනායක, සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න ඉත්තෑපානත්, රජිව් ප්‍රනාන්දු ඇතුළු කොළඹ ඉතාලිය නාට්‍යයේ සියල්ලන්ගේම සමූහිකත්වයෙන්. ඒ සියලු දෙනාටම ස්තූතියි.

කොළඹ ඉතාලිය ටෙලි නාට්‍යය තුළ ඔබ එකවර චරිත ත්‍රිත්වයක් රඟ දක්වනවා නේද?

ඔව්. මා නාට්‍යයට මුලින්ම පැමිණෙන්නේ අජිත් කියන චරිතය හරහා. කුඩා කල සිටම හැඳී වැඩුණු ළමා නිවාසයේ සිටි තම යහළුවා සමඟ එක් වී (යහළුවගේ චරිතය කරන්නේ රන්ජන් සූරියකුමාර) ළමා නිවාසයෙන් පැන යනවා. ඉන්පසු අප ඔරලෝසු විකිණීම වැනි සුළු ව්‍යාපාරවල නිරතවෙමින් ජීවත්වනවා “අජී” නම් සංක්‍රාන්ති ලිංගිකයා ලෙසින් වෙස්මාරු කරගෙන කුඩු ව්‍යාපාරික කාන්තාවක ඝාතනය කරනවා. එම ඝාතනයෙන් පසුව, ඔහුට නැවතත් අජිත් ලෙස පෙනී සිටිය නොහැකි නිසා “අජන්තා” නම් කාන්තාවක වශයෙන් ජීවත් වීම ආරම්භ කරනවා. කතාව තුළ මා අජිත්, අජී සහ අජන්තා ලෙසින් චරිත 3කට පණ පොවනවා. එයට විශේෂයෙන්ම ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂවරයාට ස්තුති විය යුතුයි.

ගැහැනු චරිතයක් රඟදැක්වීම අභියෝගයක් වුණේ නැද්ද?

චරිතය කිරීමට පෙර, ගැහැනිය යනු කවරෙක්දැයි හොඳින් වටහා ගැනීමට සිදු වුණා. ඇඳුමින්-පැලඳුමින් පවා ඉතාම සංවර ආකාරයට, චරිතයට උපරිම සාධාරණයක් කිරීමට මා උත්සහ ගත්තා. එහිදී සැබෑම ගැහැනියක ලෙස රංගනයේ යෙදීමට මා පරිස්සම් වුණා. මේ තුළ හාස්‍යය ගැබ්ව තිබුණද, චරිතය තුළ හාස්‍යය බලහත්කාරයෙන් ඉස්මතු කිරීමට මා උත්සාහ කළේ නැහැ. ගැහැනියක ලෙසින් චරිතය තුළ ජීවත්වනවා සේම එක් ක්ෂණයකින් නැවත පිරිමියකු බවටද පරිවර්තනය විය යුතුයි. නළුවකු වශයෙන් මා මේ චරිත ත්‍රිත්වය තුළම ජීවත් වුණා. එකවර චරිත 3ක් රඟදැක්වීමට ලැබීම රංගන ශිල්පියකුට ලැබෙන විරල අවස්ථාවක්. ටෙලි නාට්‍යය රසවිඳි රසිකයන් චරිතය ආදරයෙන් වැලඳගත්තේ, මා ඒ තුළ ජීවත් වූ නිසා බව මා සිතනවා.

ඔබ කලාවට පිවිසෙන්නේම පවුලෙන් ලද ආභාසය මත නේද?

ඔව්. වෙසක් නාට්‍යය, මුද්‍රා නාට්‍යය ආදිය තමයි මගේ පවුලේ අය මුලින්ම සිදු කළේ. මම විෂයක් විධියට නාට්‍ය කලාව තෝරා ගන්නේ පාසලේදි. මගේ පාසල දෙහිවල ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය. මා තුළ රංගනය තිබෙන බව පළමුව හඳුනා ගන්නේ සමරදිවාකර සර්. මුල්ම නාට්‍ය ගුරුවරුන් දෙපළ අසංග එදිරිසිංහ සහ සුජානි චන්ද්‍රිකා. ඔවුන් මාව සමස්ත ලංකා නාට්‍ය තරග කරා යොමු කළා. එයින් මා ජයග්‍රහණ රැසක් හිමිකර ගත්තා. ඉන්පසු 2011දී චන්දන දාබරේ ගුරුතුමාගේ මඟපෙන්වීම යටතේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍යය පාසලට ඇතුළත් වුණා. ඉන්පසු යෞවුන් නාට්‍ය උළෙලටත් රාජ්‍ය නාට්‍ය උළෙලටත් සම්බන්ධ වී නළුවෙක් විධියට වේදිකාව අතපත ගෑම ආරම්භ කළා. රංගනයට පෙර මා සහාය වේදිකා පරිපාලකවරයෙක්. එහිදී චාමික හත්ලහවත්ත සහ මංගල සේනානායක යන දෙදෙනාව මුණගැසී මොවුනගේ වේදිකා නිර්මාණවලට දායක වනවා. කුඩා කල සිට මා විවිධ චරිත නිරූපණයට හරි පෙරේතයි. වේදිකාවේ ප්‍රවීණයන් රඟදක්වන චරිත දෙස බලා හිඳ එම චරිත රඟදැක්වීම කළා. ඔවුන් නොපැමිණි අවස්ථාවලදී එම චරිත රඟපෑමටත් එමඟින් අවස්ථාව ලැබුණා.

සෙමින් ගමනක් යෑම තුළ සාර්ථක රංගන ශිල්පියකු බිහිවනවා නේද?

ඔව්. එකවර වැඩ ගොඩක් බදා ගැනීමට කලබල විය යුතු නැහැ. යම් චරිතයක් ලැබුණු පසු එය තමන්ට ගැළපිය යුතුයි. එය ගැළපෙනවා නම් අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කොට සාර්ථකව ඉදිරිපත් කළ හැකියි. රංගන ශිල්පියකු ලෙස අවශ්‍ය අභ්‍යාස ප්‍රගුණ කිරීම කළ යුතුයි. නිහතමානීව, ඉතාම සූක්ෂ්ම ආකාරයට තෝරා ගන්නා චරිත තමන්ට ගැළපෙනවාද යන්න තේරුම් ගෙන මේ ගමන යා යුතුයි. නමුත් වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ලැබෙන දේ භාරගත යුතුයි. නමුත් අප කරන දේ පිළිබඳ අප තුළ හැදෑරීමක් සහ පුළුල් අවබෝධයක් තිබිය යුතුයි. මා සිතන්නේ “රංගන ශිල්පියකුට හිමින් ගමන හරි ලස්සනයි.” රංගනය වෙනුවෙන් ජීවිතයේ බොහෝ දේ මා කැප කළා. ජය-පරාජය විඳදරා ගනිමින් සෙමින් ගමනක් යනවා. දක්ෂතා සපිරි කලාව තුළින් ඉදිරියට යා නොහැකි, අවස්ථාව නොලැබෙන දක්ෂයෝ රාශියක් අපිට සිටිනවා.

ඔබ වේදිකාවේ සම්මානීය නළුවෙක්නේ?

වේදිකාවේදී සම්මාන රැසක් දිනා තිබෙනවා. මෑතකදී හමුවූ සම්මාන, 2020 අවුරුද්දේ ජ’පුර විශ්වවිද්‍යාලයේ පැවැත්වූ “වේදිකාවෙන් මහපොළොවට” කෙටි නාට්‍යය උළෙලේ “මං කැඩිච්ච සිංහල” කෙටි නාට්‍ය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය, 2020දීම යොවුන් නාට්‍ය උළෙලේ  “මං කැඩිච්ච සිංහල” කෙටි නාට්‍ය වෙනුවෙන් හොඳම නළුවාට නිර්දේශ වී, ජූරියේ විශේෂ සම්මානය හිමි වුණා. යොවුන් නාට්‍ය උළෙලේදී “පිටස්තරයා” නාට්‍යයේ රංගනය වෙනුවෙන් කුසලතා සම්මානයක් හිමි වුණා.

වේදිකාවේ දස්කම්පාන තාරුණ්‍යයේ බහුතරයකට පුංචි තිරය තුළ අවස්ථාව ලැබෙන්නේ අඩුවෙන් නේද?

අද වේදිකා නාට්‍ය නරඹන පිරිස ඉතාම අල්පයි. එනිසා දක්ෂයන් සොයා ගොස් ඔවුනට නිර්මාණ ලබාදීම හරි අඩුයි. පුංචි තිරයේදී හොඳින් වැඩ ගත හැකි වේදිකාවේ අති දක්ෂයෝ රැසක් අපට සිටිනවා. එවැනි දක්ෂයන් නිර්මාණ ඉල්ලාගෙන නොයෑමත් එයට එක් හේතුවක්. අවාසනාවකට එවැන්නන් පිළිබඳව බොහෝදෙනෙක් දැනුවත් නැහැ. එනිසා එවැනි දක්ෂයන්ට සිනමාව, ටෙලි නාට්‍ය තුළට පිවිසීමේ අවස්ථාව ඇහිරී තිබෙනවා. තවද අද ඇතැම් නිර්මාණ දකින විට, රංගන විෂය සොයා යන, විෂයට ආදරය කරන, දැනුමක්, හැදෑරීමක් සහිතව පැමිණෙන නියම රංගන ශිල්පීන් කවුරුන්ද යන වගත්, ඇත්තටම අද රංගන ක්‍ෂේත්‍රය තුළ වැඩ කරන්නේ එවැනි සුදුසුකම් සහිත පිරිසද යන්න පිළිබ¼දවත් ගැටලුවක් මතුවනවා.

 පවුලේ විස්තර කීවොත්?

මගේ ගම දෙහිවල. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි, ආච්චියි, සීයයි, මල්ලී දුලාජ් හර්ෂණගෙන් මගේ කලා වැඩවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. කිසි දවසක මට රැකියාවක් කරන්න කියලා අම්මයි තාත්තයි බල කරන්නේ නැහැ. එයාලාගේ  කැමැත්ත මම රංගනයෙන් ඉදිරියට යනවා දැකීමයි. එවැනි මවුපියන් ලබන්න මම හරිම වාසනාවන්තයි.  

දිනූෂා මනෝරි නිශ්ශංක