බඩඉරිඟුවලින් පැට්රල් හදපු ඇමෙරිකාවෙ උපාලි ලංකාවට මඟ හැරුණේ ඇයි?

0
317

බඩඉරිඟුවලින් පෙට්රල් නිපදවන අති දක්ෂ ඉන්ජිනේරුවර උපාලි සෙනෙවිරත්න මහතා අප ඉදිරියේ වාඩි වී සිටින්නේ කල්පනාභරිතවය. එසේ මොහොතක් කාලය ගත කළ මේ ජේ‍යෂ්ඨ ඉන්ජිනේරුවරයා ඊළඟ මොහොතේ කළේ දෙනෙතට පිරුණු කඳුළු බිඳු කිහිපයක් සිය ලේන්සුවෙන් පිස දැමීමය.

“ඇත්තටම මට මගේ රට ගැන දුකයි. අපේ මිනිස්සු ගැන දුකයි. ඒ නිසයි මෙහෙම කඳුළු එන්නේ.” ඔහු ආයාසයෙන් එසේ් කියා නැවත පෙර පරිදිම මොහොතක් නිහඬව උන්නේය.

මේ උපාලි සෙනෙවිරත්න මහතා සුළුපටු චරිතයක් නොවේ. ඔහු රටවල් 142කට පමණ පය ගැසූ එමෙන්ම ඒ ඒ රටවල ව්‍යාපාරික ප්‍රජාවන්ට තම දැනුම ලබාදුන් ගෞරවනීය පුද්ගලයෙකි. එහෙත් අවාසනාවකට අපේ රටේ අය තවමත් ඔහු සමඟ වැඩ කළ හැකි නිසි ක්‍රමවේදයක් සකසාගෙන නැත.

“මම හිතුවේ බඩඉරිඟුවලින් පෙට්රල් හදලා මගේ රටේ ජනතාවටත් සහනයක් සේවයක් සලසන්න ඕන කියලා. මොකද මම හොඳින් දැක්කා අපේ රටේ ජනතාව පෙට්රල් පෝලිම්වල දුක් විඳින හැටි.

ඉතින් මම ඇමෙරිකාවේ ඉඳලා ආවෙම රට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කරන්න. නමුත් ඒකට තවම නිසි ක්‍රමවේදයක් සැකසුණේ් නැහැ. මම සාමාන්‍යයෙන් නිකරුණේ කාලය කා දමන්න කැමැති නැහැ. අපි කාලය හොඳින් කළමනාකරණය කරගෙන මේ වැඩේට බහින්න ඕන. ඒකට අවංකවම කැපවුණු නායකයෝ වගේම නිලධාරීන් ඉන්න ඕන.”

ජේ‍යෂ්ඨ ඉන්ජිනේරු උපාලි සෙනෙවිරත්න මහතා එසේ කීවේය.

අපේ රටේ ජනතාව දවසින් දවස පීඩා විඳින්නේ විස¼දාගත නොහැකි ගැටලු රාශියක් කරපින්නාගෙනය. ඒ ප්‍රශ්න ඉදිරියේ හෙම්බත් වී සිටින ඔවුන් පාලක පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින්නේ තමන් මුහුණ දී සිටින ප්‍රශ්න ගොන්නෙන් කිහිපයකට හෝ ඉක්මනින් පිළිතුරු ලබා දෙන ලෙසය. ඒ අතරින් තෙල් ප්‍රශ්නය ප්‍රබලය. පෙට්රල්, ඩීසල් නැතිකම නිසා ඔවුන් විඳින දුක කේන්තියක් බවට පරිවර්තනය වී කලකෝලාහල කරන තත්ත්වයකට පත්වී ඇත්තේද මේ නිසාමය.

“මිනිස්සු තෙල් නැතිව දුක් විඳිනවා. ඒකට ඉතාමත්ම ඉක්මනින් පිළිතුරු ඕන තමයි. ඉතින් මම හිතනවා එහෙම පිළිතුරු ලබාදෙන ගමන් අපි දිගුකාලීන වැඩසටහනක් ආරම්භ කරලා අනාගතයේදී මෙවැනි ප්‍රශ්න ඇති නොවීමට වගබලා ගත යුතුයි කියලා.”

අපේ ජේ‍යෂ්ඨ ඉන්ජිනේරු මහතා අපේක්ෂා කරන්නේ අපේ රටේ බඩඉරිඟු පමණක් නොව, තිරිඟු, මඤ්‍ෙඤාක්කා වැනි දේ උපයෝගී කරගෙන පෙට්රල් ප්‍රශ්නයට විසඳුම් සොයා ගැනීමටය. ඔහු ඒ පිළිබඳව තවදුරටත් විස්තර කරන්නේ මේ ආකාරයටය.

“පෙට්රල් කියන්නෙත් ඇල්කොහොල් එකක්. එතකොට මේ ඇල්කොහොල් හදන්නේ කාබොහයිඩේ්‍රට්වලින්. එතකොට මෙන්න මේවා උපයෝගී කරගෙන අපි එතනෝල් නිෂ්පාදනය කරනවා. ඒ එතනෝල්වලින් 85%ක් විතර අරන් 15%ක් විතර පෙට්රල් එකතු කරලා තමයි ලාභ ලබන්නේ. ඒ කියන්නේ අපිට පෙට්රල් ගෙන්වන්න වෙන්නේ බොහොම ටිකයි.

“දැන් ඇතැමුන් හිතන්න පුළුවන් බඩඉරිඟුවලින් පමණක් අපි පෙට්රල් හදනවා කියලා නැහැ. එහෙම නැහැ. පෙට්රල් ටිකකුත් ඒකට කලවම් කරලා තමයි ඒ තෙල් ධාවනයට සුදුසු තත්ත්වයට සකසා ගන්නේ.”

මේ සටහන කියවන ඔබට ඊළඟට ඇතිවන ප්‍රශ්න වැල ගැන අපට යම් අවබෝධයක්  ඇත. ඒ නිසාම මෙසේ නිපදවන පෙට්රල්වල ගුණාත්මකභාවය හා සුරක්ෂිත තත්ත්වය ගැනද අපි විමසා සිටියෙමු.

“එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අද වෙද්දි ඇමෙරිකාවේ ජෙට් යානාවලට පවා මේ විදිහට නිපදවන තෙල් පාවිච්චි කරනවා. ඒ වගේම මෝටර් සයිකලේ ඉඳලා රෝද 18 විශාල කන්ටේනර් ලොරි රථ පවා මේ තෙල් ප්‍රයෝජනයට ගන්නවා. ඇමෙරිකාව වගේ රටක එහෙම ආවට ගියාට මෙවැනි අවසරයක් ලබා දෙන්නේ නැහැ.

ඕනෑම පෙට්රල් ෂෙඩ් එකක මේ තෙල් ලබාගන්න පුළුවන් විධියට පහසුකම් පවා ඇති කොට තිබෙනවා. අන්තර්ජාලයට ගිහින් පරීක්ෂා කොට බැලුවොත් ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්.”

උපාලි සෙනෙවිරත්න ඉන්ජිනේරු මහතා පවසන ආකාරයට ඔවුන් මේ වෙද්දී ඇමෙරිකාවට සපයන පෙට්රල් ප්‍රමාණය ගැලුම් බිලියන 28-33 අතර ගණනක්ය. ඔහු මේ සියලු කටයුතු පවත්වාගෙන යන්නේ 1999 වසරේදී ඇරැඹූ සමාගමක් මඟිනි.

“මාත් එක්ක තව දෙන්නෙක් මේ සමාගමට හවුල් වී ඉන්නවා. මම මේ සමාගම පටන් ගත්තෙත් ඩොලර් 10,500ක ණයක් අරන්. බොහොම පුංචියට පටන් ගත්ත මේ සමාගම අද හුඟක් දියුණුයි.

ඉතින් මම හිතනවා අපේ රටෙත් මේ වගේ සමාගමක් පටන් ගත්තොත් අවුරුදු 2ක් වගේ කාලයකදී අපිට විශාල දියුණුවක් ලබා ගන්න පුළුවන් කියලා. මුලදී එක ගැලුමක් හදන්න ඩොලර් 5ක් වගේ යාවි. ඊට පස්සේ ඒ වියදම ඩොලර් ශත 75ක් වගේ වේවි. මොකද මුලදී අපි ඊට අවශ්‍ය හැමදේම සූදානම් කරගන්න ඕනනේ. අනෙක අපේ අයට ඒක උගන්වන්නත් ඕනනේ. ඉතින් මූලික වියදම දැරුවට පස්සේ නැවත එහෙම මුදලක් දරන්න ඕන නැහැ.”

ඔහු පවසන්නේ මේ ආකාරයට සූදානම් කරගන්නා උපාංග වසර ගණනාවක් එකදිගට පාවිච්චි කර ගැනීමටද හැකියාව ලැබෙන බවය.

“බඩඉරිඟුවලින් එතනෝල් නිෂ්පාදනය කරලා පෙට්රල් හදාගන්න කොම්පැනියේ ඇතුළත නළ සුදු යකඩවලින් හදන්න ඕන. ඒවා අවුරුදු 25ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. එළියේ හදන්නේ සාමාන්‍ය නළ පද්ධතියක්. ඒක අවුරුදු 10-12ක් පාවිච්චි කරන්න හැකි වෙනවා.

ඉතින් මම කැමැති මගේ දැනුම හා සහයෝගය ලබාදීලා රජයේ මැදිහත්වීමත් ඇතිව මේ වගේ සමාගමක් රටට ලබාදෙන්නයි. පෞද්ගලික අංශය මේ සඳහා සම්බන්ධ කරගන්න බැහැ. මොකද ඒකට විශාල ඉඩම් ප්‍රමාණයක් ඔවුන් සතුව නැහැනේ.

ඒ නිසා තමයි රජයේ මැදිහත්වීම මීට අවශ්‍ය වෙන්නේ. මොකද බඩඉරිඟු වගේම තිරිඟු, ඒ වගේම මඤ්‍ෙඤාක්කා වවන්න අක්කර දහස් ගණනක් වුවමනා වෙනවා. වගාවම වැඩිවෙන තරමට පෙට්රල්, ඩීසල් වැඩිපුර හදාගන්න අපට පුළුවන්.”

ජේ‍යෂ්ඨ ඉන්ජිනේරු උපාලි සෙනෙවිරත්න මහතා මෙසේ කියන්නේ නිකම්ම නොවේ. ඔහු කාලයක් පුරා ලබාගත් අත්දැකීම් හා එම විෂයය පිළිබඳව ඇති පුළුල් දැනුම ඇතිවය.

“මම ලංකාවෙන් ගියේ පුංචි කාලෙදී. එහෙම ගිහින් එංගලන්තයේ වැසිකිළි හෝදලා වියදමට සල්ලි හොයන ගමන් තමයි ඉගෙන ගත්තේ. මම විතරක්  නෙවෙයි බොහෝ අය එහෙම තමයි. මොකද අපි රත්රන් හැන්ද අතට අරන් ඉපදුණු අය නෙවෙයිනේ. පොල්කටු හැන්ද අරගෙනනේ ඉපදුණේ.

ඉතින් එහෙම ගිය මම එංගලන්තයේදී ඉන්ජිනේරු විද්‍යාව හැදෑරුවා. මොකද මම පුංචි කාලේ ඉඳලම ගණිතයට දක්ෂ නිසා.”

මෙසේ වසර කිහිපයක් එහි අධ්‍යාපනය ලැබූ ඔහු ඊළඟට ඇමෙරිකාවට ගියේය. එහිදී ද තවදුරටත් ඉන්ජිනේරු අධ්‍යාපනය ලැබුවේය.

“ඒ අනුව මට පුළුවන් වෙනවා රසායනික විද්‍යාව, කාර්මික ඉන්ජිනේරු විද්‍යාව හා පෙට්‍රෝලියම්, එහෙමත් නැත්නම් ඛනිජ තෙල් විෂය පිළිබඳව ඇති ඉන්ජිනේරු විද්‍යාවත් ප්‍රගුණ කරන්න.”

මේ ආකාරයට තම විෂය ක්‍ෂේත්‍රයෙන් ඉහළටම ආ සෙනෙවිරත්න මහතා ඉන් අනතුරුව ලෝකයේ නොදියුණු රටවල් කිහිපයකට ගොස් තම දැනුම හා ශ්‍රමය ලබාදුන්නේ හද පිරි සතුටිනි.

“මම හුඟක් ආස කළේ දුප්පත් රටවලට යන්නයි. ගිහින් සේවය ලබා දෙන්නයි.  එක කාලයක් මම ලෙබනන්වලත් හිටියා.

ඒ යුද්දෙ කාලේ. ඒ කාලේ මගේ දැනුමෙන් මම යුද ටැංකි පවා හැදුවා. ඒ වගේම ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අවශ්‍ය මුහුද යටින් ගොඩබිමට තෙල් ගේන්න පයිප්ප ලයින් සවි කළා. ඊශ්‍රායලය උඩින් බෝම්බ දමද්දි ජීවිතය බේරාගත්තෙ හරිම අමාරුවෙන්.”

අපේ ජේ‍යෂ්ඨ ඉන්ජිනේරුවරයාගේ ජීවිතය බොහෝ වෙනස් වන්නේ 1999 වසරේදී ඇමෙරිකාවට යෑමත් සමඟය.

“මම අර ඉස්සර වෙලා කිව්ව විධියට මේ යාළුවෝ දෙන්න හමු වුණාට පස්සේ තමයි හැමදේම වෙනස් වෙන්නේ.  මම ඔවුන් එක්ක වැඩ කළේ අඩු වැටුපකට.

කොහොම හරි පස්සේ දවසක මම ඔවුන්ට යෝජනා කරනවා. ඔවුන්ගේ ගම් පළාතට ගිහින් බඩඉරිඟු වවලා එතනෝල් නිපදවන්න.

ඔවුන් ජීවත් වුණේ නෙබ්‍රස්කා (Nebraska) කියන අතිදුෂ්කර ගමක.”

ඒ ගම කැලෑවක්. මිනිස්සු හිටියේ 83 දෙනයි. මා එක්ක 84යි.”

මේ ගම්මානයේ ජීවත් වූ එම සුළු පිරිස ආර්ථික වශයෙන් පෝෂණය වී තිබුණේ ගවයන් ඇති කිරීමෙනි. ගවයන්ට ආහාර සඳහා ඔවුහු ඇති පදමට බඩඉරිඟු වවන්නටද පුරුදු වී සිටියේය.

“මේ ගවයන්ගේ ගොමවල විශාල වශයෙන් කාබා්හයිඩේ්‍රට්ස් අඩංගුයි. ඒකට හේතුව ඔවුන් කෑමට ගන්නා බඩඉරිඟුයි. ඉතින් මම මේ සම්බන්ධවත් පුළුල් පරීක්ෂණයක් කළා. ඒ අනුව තමයි බඩඉරිඟුවලින් එතනෝල් හදලා ඒ එතනෝල්වලට පෙට්රල් ටිකක් කලවම් කරලා පාවිච්චියට සුදුසු කෘත්‍රිම පෙට්රල්, ඩීසල් හදන්න පුළුවන් කියලා සොයා ගත්තේ.”

ඔහු මේ සොයා ගැනීම කළේ ජනාධිපති රොනල්ඩ් රේගන් මහතා තෙල් විකුණන අරාබි රටවල් සමඟ මතගැටුමක පැටලී සිටි අවස්ථාවේදීය. ඒ අනුව ඇතැම් රටවල් අමෙරිකාවට තෙල් ලබා දීමට මැළි වී සිටියේය.

“මම මේ වෙලාවේ තමයි මේ සොයා ගැනීම කළේ. ඉතින් ඒකට මට රජයෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ අනුව මම මගේ මිතුරන් දෙදෙනා සමඟ එක්වී මෙවැනි ආයතන 178ක් හදන්න උදවු කරන්නත් පෙලඹුණා. ඒ කියන්නේ අපි මඟ පෙන්වලා ඔවුන්ව දිරිමත් කළා.”

කෙහොම හරි අද වෙද්දී මේ කෘත්‍රිමව හදන තෙල් ඇමෙරිකාවේ හරි ප්‍රසිද්ධයි. මිල අඩුයි. හැම වාහනයක් වගේම මේ තෙල් පාවිච්චි කරනවා. ඉතින් ඇයි අපේ රටට මේ තැනට එන්න බැරි.”

උපාලි සෙනෙවිරත්න කලෙක පටන්ම රට වෙනුවෙන් කුමක් හෝ දායකත්වයක් ලබාදීමට සූදානමින් සිටි ඉන්ජිනේරු මහතෙකි. ඒත් ඔහු ආර්ථික අතින් සවිමත් වී යම් තැනකට පැමිණෙනතුරු ඉවසා සිටියේය.

“ඒ අනුව තමයි මම පසුගිය අගෝස්තු මාසේ ලංකාවට ආවේ. ඒ ඇවිත් ඉන්නකොට තමයි රටේ ලොකු ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගත්තේ. ඒ අනුව තමයි මම බඩඉරිඟුවලින් අපේ රටටත් තෙල් නිෂ්පාදනය කර දෙන්න හිතුවේ.

එහෙම හිතලා මම අදාළ තැන් කිහිපයකටම කතා කළා. නමුත් කියන්න කනගාටුයි. අපේ රටේ වගකිව යුතු ඇමැතිවරුන්ට ඒකට ඕනෑකමක් නැහැ. රට ගැන හිතනවා නම් මේ සම්බන්ධව ලොකු ඕනෑකමක් තිබෙන්න ඕනනේ. ඇත්තටම එහෙම එකක් මට නම් පෙනුණේ නැහැ. ඒ නිසාම මම බොහොම කනගාටුවෙන් දැන් පැත්තකට වෙලා ඉන්නවා.”

අපේ ඉන්ජිනේරු මහතාගේ දැක්මට අනුව අපේ රටේ අතහැර දමා තිබෙන මඩ ඉඩම් අක්කරයකින් බඩඉරිඟු බුසල් 200ක අස්වැන්නක් ලබා ගත හැකිය. ඇමෙරිකාවේදී නම් ඔවුන් ලබාගත් ප්‍රමාණය අක්කරයකින් බුසල් 350කි.

කෙසේ හෝ අපේ රටේ බඩඉරිඟු වගාවෙන් එසේ ලබා ගන්නා බඩඉරිඟු බුසල් 200න් පෙට්රල් ගැලුම් 1000ක් නිපදවිය හැකි බව ඔහු පවසයි.

“අපිට අක්කර 100 – 200 ඉඩම් මදි. අඩුම තරමින් අක්කර 10,000වත් තිබුණොත් සාර්ථක ප්‍රතිඵල ගන්න හැකි වෙනවා. මේ පෙට්රල් අපි නම් කර තිබෙන්නේ ඡ් අකුරින්. ඒ අනුව  ඡ් 20 ඉඳලා ඡ් 85 වෙනකම්ම තිබෙනවා. ඡ් 85 කියන්නේ එතනෝල් වැඩිම, ඒ කියන්නේ 85% එතනෝල් අඩංගු පෙට්රල්. ඡ් 20 කියන්නේ පෙට්රල් 80%ක් අඩංගුයි කියන එකයි.

සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ පෙට්රල් ෂෙඩ්වල අර අපේ රටේ P 92 – P 95 සඳහන් කර තිබෙන විධියට මේ විස්තරයත් සඳහන් කරලා තිබෙනවා. ඉතින් කැමැති අයට කැමැති විධියට තෙල් ලබා ගන්න පුළුවන්.”

අපේ රටේ ජේ‍යෂ්ඨ ඉන්ජිනේරුවරයාගේ දක්‍ෂතාව හා හැකියාව කොතෙක් දැයි කියනවා නම් ඔහු සොයාගත් මේ කෘත්‍රිම පෙට්රල් මේ වෙද්දී ඇමෙරිකාවේ ත්‍රිවිධ හමුදාවද වැඩිපුර ප්‍රයෝජනයට ගනියි. විශේෂයෙන්ම ගුවන් හමුදාව ඔවුන්ගේ ජෙට් යානා සඳහාද මේ එතනෝල් වැඩිපුර අඩංගු තෙල් පාවිච්චි කරයි. ඒ අවසරය උපරිමයෙන්ම ඉහළින්ම ලබාදී ඇත්තේ ජෝර්ජ් බුෂ් හා ඔබාමා යන හිටපු ජනාධිපතිවරුන්ගේ කාලවලදීය.

“මම ඇමෙරිකාවේදී මගේ දැනුම උපයෝගි කරගෙන පාවිච්චියට නුසුදුසු තත්ත්වයේ තිබුණු නැව් පවා පාවිච්චියට සුදුසු විධියට හදලා දුන්නා. අද එහෙම නැවක් තමයි ඇලෙස්කාවල ලෝකයේ ලොකුම කකුළුවෝ අල්ලන්නේ. රජ කකුළුවෝ කියලයි අපි උන් හඳුන්වන්නේ. ඉතින් මේ හැම දෙයක්ම සාර්ථකව කරන අතරේ තමයි මම ඇවිත් මගේ රට වෙනුවෙන් සේවාවක් ලබාදෙන්න හැදුවේ.

අපේ රටේ වතුර තියෙනවා. කඳු තියෙනවා. ගස් තියෙනවා. බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. පිටරටවල වගේ අයිස් වැටෙන්නේ නැහැ. හිම වැටෙන්නේ නැහැ. එහෙම රටකට අපේ වගකිව යුතු දේශපාලකයන් මේ මොනවද කරන්නේ? හැමදේම පිටරටින් ගේනවා. මට දුකයි මහත්තයෝ. මට දුකයි.” ජේ‍යෂ්ඨ ඉන්ජිනේරු මහතා එසේ කියමින් යළිත් කඳුළු පිස දැමුවේය.

රටට හිතැති මේ ඉන්ජිනේරු මහතා පවසන්නේ ගංගා දිගේ ගලායන ජලය පවා මහ මුහුදට වැටෙන්නට ඉඩ නොදී ශුෂ්ක ප්‍රදේශවල වගා කළ හැකි බවය.

“ඒ විතරක් නෙමෙයි අපි දන්නවා මුහුදු රැල්ල නිසා ඇතිවන පීඩනය කොයිතරම්ද කියලා. ඒ රැල්ල උපයෝගි කරගෙන අර මුහුදුට ගලා යන ජලය නැවත ගොඩබිමට ගත හැකි තාක්ෂණය පවා අප  සතුයි. එයින් නිසි ප්‍රයෝජන රටට ලබා ගත හැකියි.”

ඇමෙරිකාවේ සිට ලංකාවට ආ අපේ මේ ඉන්ජිනේරු මහතාට රට වෙනුවෙන්, අපේ රටේ ජනතාව වෙනුවෙන් තම දායකත්වය ලබාදීමට ඕනෑවටත් වඩා වුවමනාව ඇති බව ඔහුගේ අදහස්වලින් මනාව පැහැදිලි වෙයි. එහෙත් අවාසනාව ඒ දායකත්වය ලබා ගැනීමට තරම් අපේ රටේ වගකිව යුතු අයට වුවමනාවක් නැතිකමය. හැත්තෑහතර වසරක් පුරාවට අපිට උරුම වන්නට තිබූ බොහෝ දේ අපිට නැති වී ගියේත්, රට විටින් විට ආපස්සට ගියේත්, ණය බර වැඩි වී දරිද්‍රතාවයෙන් පිරි රටක් ලෙස අපි ලෝකය ඉදිරියේ හෑල්ලුවට පත් වුණේත් ඒ නිසාමයි.

රටක් ලෙස අපට අවශ්‍යම මොහොතේ අපි උපාලි සෙනෙවිරත්න වැනි විශිෂ්ට ඉන්ජිනේරුවන්ව අමතක කරන්නේ එකී වගකිව යුතු අධම දේපාලනඥයන්ගේ හා නිලධාරීන්ගේ වගකීම විරහිත හැසිරීම නිසාය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

ඡායා:- මංජුල දයාවංශ