“ජනතාව කියන්නේ පවුලට ම යන්න කියලා. ෆේල් වුණ ජනාධිපති එක්ක අපි වැඩ කරන්නේ නෑ” – සජබ/ජාජබ/එජාප

0
818

සමගි ජන බලවේගයේ ස්ථාවරය

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සහ කළ ද ඊට සහය නොදෙන බව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය පවසයි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, “අසමත් වූ ජනාධිපතිවරයෙකු සමග වැඩ කිරීමට කැමැත්තක් නැති,” බව ය.

“මේ රට මේ තත්ත්වයට පත් කරපු ෆේල් වෙච්ච ජනාධිපතිවරයෙක් එක්ක වැඩ කරන්න අපි කැමති නෑ. අපි ජනාධිපතිට කියන්නේ එයාටයි, පවුලටයි ඔක්කොම අයින් වුණාට පස්සෙ ජනතාව වෙනුවෙන් වගකීමක් භාර ගන්න අපි කැමති යි,” යනුවෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ ස්ථාවරය

මේ සම්බන්ධයෙන් අපි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගෙන් විමසීමක් කළෙමු.

එහිදී ඔහු සඳහන් කළේ, මීට පෙර ප්‍රකාශ කළ ලෙස ම ජනාධිපතිවරයා ඉවත් නොවී ගොඩනගන කිසිදු ආණ්ඩුවකට තමන් හවුල් නොවන බව ය.

“අපි කලිනුත් කියලා තියෙනවා නේ ජනාධිපතිවරයා ඉවත් වෙන්නේ නැතුව ගොඩනැගෙන කිසිදු ආණ්ඩුවකට අපි හවුල් වෙන්නේ නෑ. අපි ඒක පැහැදිලිව ම ප්‍රකාශ කරලා තියෙනවා. අන්තර් පාලනයක් හරි මොකක් හරි වුණත් ජනාධිපතිවරයා ඉවත් වෙන්නේ නැත්නම්, අපි එවැනි දේකට සම්බන්ධ වෙන්නේ නැහැ.”

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට ආරාධනා කර ඇත්තේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්, 2020 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හා මේ වන විට ස්වාධීන කණ්ඩායම් වශයෙන් කටයුතු කරන පක්ෂ නායකයින්ට පමණක් බව ඔහු පැවසීය.

තම පක්ෂයට එවැනි ආරාධනාවක් කර නොමැති බව ත් ඒ අනුව එය තමන්ට අදාළ නොවන බව ත් ඔහු වැඩිදුරට ත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය

රටේ බහුතර ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයෙන් ඉවත් වන ලෙස බල කරද්දී ඔහු සර්ව පාක්ෂික ආණ්ඩු සැකසීමට උත්සහ දරන්නේ නම් ඔහුට ජනතාව කියන දේ තේරුම් ගැනීමට නොහැකි වී ඇති බවක් පෙනී යන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එහි මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා මව්බිම වෙබ් අඩවියට පැවසුවේ, ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා හදන කිසිදු ආණ්ඩුවකට සහය දීමේ අවශ්‍යතාවක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බව ය.

“රටේ ජනාධිපතිටයි අගමැතිටයි දෙන්නට ම අයින් වෙන්න කියලා ජනතාව කියන්නේ ම හිතන්නේ ජනතාව කියන එක ජනාධිපතිතුමාට හරියට සන්නිවේදනය වෙලා නැහැ. එහෙම නැත්නම් ඒ ජනතාව කියන එක මෙයාට තේරෙන්නේ නැහැ. එක්කෝ සන්නිවේදනයේ වරදක්. එක්කෝ එයාට තේරීමේ වරදක් එහෙම නැත්නම් තුන් වෙනි එක භාෂාවේ වැරැද්දක්. ඒ කියන භාෂාව Gota go home කියන එක තේරෙන්නේ නැහැ. ඉවත් වෙලා පලයන් කියන එක තේරෙන්නේ නැහැ. හොරකන් කරපු සල්ලි දීලා පලයන් කියන එක තේරෙන්නේ නැහැ. ඒක දැන් දකුණෙ භාෂාවෙන් කිව්වා නම් එහෙම කිව්වොත් තේරෙයි ද දන්නේ නැහැ. ඒ විදිහට ත් කියලා බලන්න වෙයි ජනතාවට.”

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පළ කළ සම්පූර්ණ අදහස මෙසේ ය.

“රටේ ජනාධිපතිටයි අගමැතිටයි දෙන්නට ම අයින් වෙන්න කියලා ජනතාව කියන්නේ ම හිතන්නේ ජනතාව කියන එක ජනාධිපතිතුමාට හරියට සන්නිවේදනය වෙලා නැහැ. එහෙම නැත්නම් ඒ ජනතාව කියන එක මෙයාට තේරෙන්නේ නැහැ. එක්කෝ සන්නිවේදනයේ වරදක්. එක්කෝ එයාට තේරීමේ වරදක් එහෙම නැත්නම් තුන් වෙනි එක භාෂාවේ වැරැද්දක්. ඒ කියන භාෂාව Gota go home කියන එක තේරෙන්නේ නැහැ. ඉවත් වෙලා පලයන් කියන එක තේරෙන්නේ නැහැ. හොරකන් කරපු සල්ලි දීලා පලයන් කියන එක තේරෙන්නේ නැහැ. ඒක දැන් දකුණෙ භාෂාවෙන් කිව්වා නම් එහෙම කිව්වොත් තේරෙයි ද දන්නේ නැහැ. ඒ විදයට ත් කියලා බලන්න වෙයි ජනතාවට. ජනතාව කියන්නේ ඒගොල්ලන්ට ඉවත් වෙන්න කියලා අයියටයි මල්ලිටයි දෙන්නට ම ඉවත් වෙන්න කියන්නේ. අයියා හරි මල්ලි හරි ඉඳගෙන හදන ආණ්ඩුවක් හදන්න නෙවෙයි ජනතාව ඉල්ලන්නේ. 69 ලක්ෂයේ ජන වරම දැන් අහෝසි වෙලා තියෙනවා ජනතාව දැන් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා තමා දැන් 70 ලක්ෂයක පෙත්සමක් අත්සන් කරන්න යන්නේ ඉවත් වෙන්න කියලා. එතකොට එහෙම අහෝසි වෙච්ච අවලංගු වෙච්ච ජනවරමක් එක්ක ආණ්ඩු හදන්න අවශ්‍යතාවක් නැහැ. ගෝඨාභය රජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ එක්කලා ආණ්ඩු හදන්න අවශ්‍යතාවක් නැහැ. අවශ්‍ය ඒ දෙන්නා ඉවත් වෙලා වෙනත් මේ රට ගොඩගන්න පුළුවන් මිනිහෙක්ට අවස්ථාවක් ලබා දීම යි.”

  • කුමුදු ජයවර්ධන, තාරක සම්මාන්