ඕමල්පේ හිමිට අගමැති කී දේ (VIDEO)

0
558

සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි අගමැතිවරයා ප්‍රකාශ කළ බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, මහනායක හිමිවරු නිකුත් කළ ලිපිය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීම සඳහා ඊයේ (අප්‍රේල් 26) පස්වරුවේ අරලියගහ මන්දිරයට වැඩම කළ අවස්ථාවේදී ය.

කෙසේ වෙතත්, තමන් ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන හිඩැස පිරවීමට යම් කාලයක් ගත වන බව ත් එම කාලය තුළ රට අරාජික වන බව ත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර කළ බව උන්වහන්සේ සඳහන් කළහ.

“අග්‍රාමාත්‍යවරයා කියනවා. මා ඉල්ලා අස්වෙන්නම් කිසි ම ප්‍රශ්නයක් නැහැ. ඉල්ලා අස්වීමට මම සූදානම්. එහෙත් ඒ ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන හිඩැස පිරවීමට කල්ගත වුණා ම රටට, රාජ්‍ය පාලනයක් නැති වෙනවා. මෙන්න මේ හිඩැස පුරවන්න කොච්චර කාලයක් යනවාද? ඒ කාල සීමාව තුළ රට සම්පූර්ණයෙන් අරාජික වෙනවා කියලා.

අපි කිව්වා ජනාධිපතිවරයාට තියෙන විධායක බලතල යටතේ රටේ පරිපාලනය මෙහෙයවා ගන්න පුළුවන් කියලා. අගමැතිවරයා දිගින් දිගට ම කිව්වා ජනාධිපතිවරයාගේ බලතල යටතේ රට පවත්වාගෙන යන්න බැහැ. අගමැතිවරයා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ඉවත්වන විට රට අස්ථාවර වෙනවා කියලා.

අස්ථාවර වුණොත් මේ තියෙන තත්ත්වය භීෂණයක් බවට පත්වෙයි. තවත් අර්බුද පහළ වෙයි. ඒ නිසා මා ඉල්ලා අස්වෙනවා කිසි ම සැකයක් නැහැ ඒකාන්තයි. පාර්ලිමේන්තුවේ අනෙක් සියලු ම පක්ෂ එකතුකරගෙන ඊළඟ පියවර තබන හැටි ස්ථිරව ම තීරණය කරන්න කළාට පස්සේ කියලා.

ඒ කියන්නේ අගමැතිවරයෙක් පත්කර ගැනීම සඳහා ඒකමතික තීරණයකට එන්න කියලා. අගමැතිවරයා කවුරුන් ද? අගමැතිවරයා පත්කරන ආකාරය පිළිබඳව ඒකමතිකත්වයට එන්න… තමන් තමන්ගේ පදවියෙන් ඉවත්නන් සූදානම් කියන එක තමයි එතුමා කිව්වේ.”

මේ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා මහනායක ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කර, පක්ෂ නායකයින්ගේ එකමුතුවකින් පක්ෂ නායකයින්ගේ වගකීම පෙරමුණු කොටගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව උන්වහන්සේ වැඩිදුරට ත් පැවසූහ.

මේ අතර, මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රට අරාජික වීමට කිසිසේත් ඉඩ නොතබන බව ත් රටේ දේශපාලන ස්ථාවරභාවය පවත්වාගෙන යාම සඳහා ගන්නා තීරණ සමග කටයුතු කිරීමට සූදානම් බව ත් අග්‍රාමාත්‍යවරයා අදාළ හමුවේදී ප්‍රකාශ කළ බව ය.