Empathy තියෙන ශීර්ෂ විරහිත නායකයෙක් වෙන්නේ කොහොමද?

0
35

ඉස්සර මරණයක් වෙනකොට මේ මැරෙන්නේ තමන්ගේ එකෙක් කියලා මිනිසුන්ට දැනුණේ නැහැ. හැබැයි දැන් ඒක දැනෙනවා. ඉස්සර උණ්ඩයක් පත්තු වෙනකොට වැදුණු එකාට රිදුණා මිසක් වටේ මිනිස්සු කම්පා වුණේ නැහැ. හැබැයි දැන් වටේටම රිදෙනවා. ජීවිතේ ගැටගහන්න විකල්ප ඕනෑතරම් තියෙන සමහර මධ්‍යම පාන්තික තරුණයෝ වුණත් මේ මොහොත වෙද්දීත් ගෝල්ෆේස් පිට්ටනියේ කෑ ගහනවා. ඒ කියන්නේ උන්ටත් වේලක් නොකා වේලක් කන මිත්‍රයගෙ දුක දැනෙනවා. පිටරටකට වෙලා සැපවත් ජීවිත ගෙවලා පාඩුවෙ ඉන්න පුළුවන් මිනිස්සු වුණත් තමන්ගෙ මිනිස්සු වෙනුවෙන් ඉන්න තැනක ඉඳලා මේ වෙලාවේ පෙනී ඉන්නවා. ඉස්සර නොතේරුණු සමාජෙක විලාපය දැන් හැමෝටම ඇහෙනවා.

අනුන්ගේ වේදනාවක් තමන්ගේ කරගෙන හිතන්න පුළුවන්, දකින්න පුළුවන් පරම්පරාවක් බිහිවෙමින් තියෙනවා. ඒ කියන්නේ අපිට සහකම්පනය (Empathy) තියෙනවා. ලංකාව වගේ රටවල් විනාශ වුණේම සහකම්පනයක් නැති පාලකයෝ නිසා. තමන්ගේ සමාජ ස්තරයේදී විතරක් සංවේදී වන, පහළ සමාජ ස්තරවලදී හිරිවැටිලා ඉන්න ගෝත්‍රික මිනිස්සු නිසා බලයට පත්වෙන පාලකයන්ගේ දැක්ම කොච්චර විශිෂ්ට වුණත්, දේශපාලනික දැනුම කොච්චර ඉහළ වුණත්, පාලනය කොයිතරම් ප්‍රබල වුණත් මිනිහෙක්ගේ බඩගින්න දැනෙන්නේ නැත්නම්, පුරවැසියාගේ වේදනාවෙදි කම්පා වෙන්නේ නැත්නම්, පොඩි මිනිහගේ සාක්කුව ගැන හිතන්නේ නැත්නම් රටක් දියුණු වෙන්නේ නැහැ.

අපිට තවමත් සහකම්පනය තියෙන නායකත්වයක් නැති බව ඇත්ත. තවමත් මේ රටේ මිනිස්සු මෙහෙම දුක් විඳින්නේ ඒ නිසා බවත් ඇත්ත. නමුත් අඩුම තරමේ අපිට සහකම්පනය තියෙන පරම්පරාවක් ඉන්නවා. අනුන්ගේ වේදනාවත් තමන්ගේ කරගෙන හිතන්න පුළුවන්, අනුන්ගේ විලාපයන් තමන්ගේ කරගෙන ඇහුම්කන් දෙන්න පුළුවන් සමාජයක් බිහිවෙමින් තියෙනවා.

අද නැතත් තව වසර 10කින් 15කින් හරි අපි පතන විධියේ නායකත්වයක් ගැන සුබවාදී බලාපොරොත්තු තියන්න ඒකම ලොකු දෙයක් නෙවෙයිද? හෙට නැතත් හැකිතරම් ඉක්මනින් අප දකින රට ගොඩනඟා ගන්න මේක අපිට ලැබිලා තියෙන වරප්‍රසාදයක් නෙවෙයිද?

කොහොම වුණත් නායකත්වය ගැන ලොකු අවශ්‍යතාවක් තියෙන යුගයක ‘මව්බිම’ බිස්නස් අතිරේකයට නායකත්වය ගැන ලියන්න මම කල්පනා කළා. ඒ අනුව විශිෂ්ට නායකයකුගේ ලක්ෂණ මෙන්ම නිසැඟියාවන් සම්බන්ධව මම මෙහිදී කතා කළා.

හොඳ නායකයෙක් සෑමවිටම දැක්මක් සහිත දූරදර්ශී අයෙක් (A good leader is always visionary)

බුදුරජාණන් වහන්සේට බුද්ධ රාජ්‍යය නිර්මාණය කිරීම සඳහා නිශ්චිත අරමුණක් තිබුණා. උන්වහන්සේ ඒ දැක්ම ඔස්සේ ක්‍රියාකරමින් තමන්ගේ අනුගාමිකයන් ගොඩනැඟුවා. අබ්දුල් කලාම්ට ඉන්දියාවේ ආර්ථික, තාක්ෂණික, සාමාජීය යන සියලු ක්ෂේත්‍රයන්ගේ දියුණුව ගැන පුළුල් දැක්මක් තිබුණා. ඔහු ඒ ඔස්සේ ක්‍රියාත්මක වුණා. අර්ජුන රණතුංගට 1996 ලෝක කුසලානය ජයග්‍රහණය සඳහා ඉලක්කයක් තිබුණා. ඔහු තරගාවලියේ ආරම්භයේ ඉඳලාම ඒ වෙනුවෙන් දූරදර්ශීව තම කණ්ඩායම මෙහෙයෙව්වා. ඒ සියල්ල අතරේ මගේ පාසල් සමයේදී පාසලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයාටත් සියලු සිසුන් විනය නම් කේන්ද්‍රයට මෙහෙයවන්න නිශ්චිත අරමුණක් තිබුණා. ඔහු ඒ වෙනුවෙන් දුර දිග බලලා වැඩ කළා.

හොඳ නායකයෙක් සෑමවිටම බලපෑම් සහගතයි (A good leader is always influencing)

වෙනස් කරන්න බැහැ කියපු රටේ ඇතැම් රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ ආකල්පමය වෙනසක් කරපු නායකයො මට පසුගිය වසර කිහිපය මුළුල්ලේම හමුවුණා. මූල්‍යමය වශයෙන් බංකොලොත් වෙච්ච ඇතැම් බහුජාතික ව්‍යාපාර ඉහළ පෙළේ සාර්ථකත්වයක් සඳහා නැවත මෙහෙයවූ ප්‍රධාන විධායක නිලධාරීන් මට හමුවුණා. ඔවුන්ගේ එක පොදු ලක්ෂණයක් වුණේ ඔවුන්ට සේවකයන්ට ධනාත්මක ආකාරයට බලපෑම් කිරීමට තිබුණු සුවිශේෂී හැකියාව. ඔවුන් සියල්ලක්ම වගේ එක් විධියක අභිප්‍රේරකයන් වුණා. ඔවුන් සේවකයන්ගේ හදවතට දැනෙන්න කතා කළා. ඔවුන්ට වුවමනාවෙන්ම සේවකයන්ට සමීප වෙන්න පුළුවන්කම තිබුණා. සෑම ආයතනික කටයුත්තකදීම කරුණු පැහැදිලිව අනෙකාට තේරුම් කරන්නටත් ඒ තුළින් ඔවුන් කළ යුතු දේ වෙත සතුටු හිතෙන තල්ලුවක් (A happy push) ලබා දෙන්නටත් පුළුවන්කම තිබුණා.

 හොඳ නායකයෙක් සෑමවිටම හොඳින් සවන් දෙන්නෙක් (A good leader always listen others)

ජැක් මාගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා යන ගමනේදී ඔහුට පහළම සේවකයාටත් ඇහුම්කන් දීමට හැකි සුවිශේෂී හැකියාව කැපී පෙනුණා. රිචඩ් බ්‍රැන්සන් වරක් කිව්වේ සමහරක් වෙලාවට තමන්ට විසඳුමක් නැති සමහරක් ආයතනික ප්‍රශ්නවලට තමන් විසඳුම් සොයාගන්නේ අනෙකාට ඇහුම්කන් දීමෙන් කියලයි. ඒ ඔස්සේ සේවකයන්ට තමන් වැදගත් යැයි හැඟීමක් ඇති කරන්නටත් වගේම ප්‍රශ්නයට විසඳුම සොයාගන්නටත් ඔහුට එකවර හැකියාව ලැබුණා.

 හොඳ නායකයෙක් සෑමවිටම හොඳ සම්බන්ධීකාරකයෙක් (A good leader is  a good coordinator)

හොඳ නායකයෙක්ට සෑම විටම තමන්ගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ හැකියාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒවගේම නිශ්චිත ඉලක්කයකට යන්න අවශ්‍ය කාර්යයන් මොනවද කියලත් එයා දන්නවා. ඒ කාර්යයන්වලට හොඳින්ම ගැළපෙන පුද්ගලයාව එක් එක් අයගේ හැකියා දෙස බලමින් තීරණය කිරීම තමයි නායකත්වයේ සම්බන්ධීකරණ හැකියාව පෙන්වන සුවිශේෂීම අවස්ථාව වෙන්නේ. ඇත්තටම හොඳ නායකයෙක් කියන්නෙම හොඳ සම්බන්ධීකාරකවරයෙක්. හොඳ සම්බන්ධීකාරකවරයෙක් කියන්නෙම හොඳ නායකයෙක් වෙන්න පුළුවන් කෙනෙක්.

හොඳ නායකයෙක් නොපසුබට උත්සාහයකින් යුක්තයි (A good leader alwats comes with perseverance)

විශාල ඉලක්කයක් හඹාගෙන යනකොට, කිසියම් අරමුණක් ලුහුබැඳ යනකොට ඕනෑම කණ්ඩායමක සිටින ඕනෑම සාමාන්‍ය සාමාජිකයෙක් හති වැටෙන්න පුළුවන්. රෝගී වෙන්න පුළුවන්. පසුතැවීම්වලට පත්වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක අතහැරීම විකල්පය කර නොගෙන, අරමුණ හෝ ඉලක්කය නැවත සිහිකැඳවීම තමයි කණ්ඩායමේ  විශේෂ සාමාජිකයාගේ, නැත්නම් නායකයාගේ කාර්යභාරය වෙන්නේ. ඔහු ගොඩක් වෙලාවට අනෙකාට වඩා විශේෂ වෙන්නෙත්, නොනැවතී අවසානය දක්වා සටන් කිරීමටත් අඛණ්ඩව අනෙකාව සටනට පෙලඹවීමටත් තියෙන මේ සුවිශේෂී

හැකියාව නිසයි.

Visionary – දූරදර්ශී බව

Influencing – බලපෑම් සහගත බව

Listening – සවන්දෙනසුලු වීම

Coordinating – සම්බන්ධීකරණ හැකියාව

Preservering – නොපසුබට උත්සාහයෙන් ‍යුතුවීම

ශීර්ෂ විරහිතව මෙහෙයවන්න Lead without titles

ඔබේ නායකත්වය නිලතලයක්, ශීර්ෂයක්, බැජ් එකක්, ගරු නාමයක් සමඟ පැමිණිය යුතුයි කියලා ඔබට කවදමහරි දවසක විශ්වාස කළාද? නිලතලයක්, ශීර්ෂයක්, ගරු නාමයක් නැතිනම් ඔබ නායකයෙක් නොවෙයි කියලා ඔබට කවදමහරි හිතුණද?

ඔබට එහෙම හිතුණත් නැතත්, බොහොමයක් රැකියා ස්ථානවල සේවය කරන බොහොමයක් ආයතනික සේවකයන් ආයතනය තුළ නායකයෙක් වෙන්න නම් නිලතලයක්, ශීර්ෂයක්, බැජ් එකක්, ගරු නාමයක් තමන්ට හිමිවිය යුතුයි කියලා විශ්වාස කරනවා. තවත් සමහර අය නිලතලයක්, ශීර්ෂයක්, බැජ් එකක්, ගරු නාමයක් නොලැබුණොත් නායකත්වය පිළිබඳ හැඟීමක් වෘත්තීය ජීවිතයේ කිසිම දවසක ඇති කර ගැනීමෙන් වැළකෙනවා.

 නිලතල සෑම විටම අපි තුළ වැදගත් හැඟීමක් ඇති කරනවා

 නිලතල සෑමවිටම අපට අප ආයතනයේ කුමන පඩියේ රැඳී ඉන්නවාද කියලා සිහිගන්වනවා.

 නිලතල සෑමවිටම අපට බලය ළඟා කරනවා.

 නිලතල ලැබීමෙන් අපට තීරණ ගැනීමේ බලය ස්වංක්‍රියවම හිමිවෙනවා.

 නිලතල ලැබුණම ගෞරවය ලැබෙනවා.

 නිලතල ප්‍රධානියා කවුරුන්දැයි, විනිසුරුවා කවුරුන්දැයි අනෙකාට කියාපානවා.

ඉතින් ඒ නිසා නිලතල පිළිබඳව වැදගත් හැඟීමක් ඕනෑම කෙනෙක් තුළ ඇති වීම සාමාන්‍ය දෙයක්. වැදගත් යැයි හැඟෙන ඒ හැඟීම  නිසාම නායකත්වය කියන්නේ නිලතලයකට, ශීර්ෂයකට, බැජ් එකකට, ගරු නාමයකට සීමා නොවෙන ඉන් එහා ගිය සංකල්පයක් කියලා බොහෝ අය විශ්වාස කරන්නේත් නැහැ. නමුත් ඔබට නායකයෙක් වීමට අවශ්‍ය නම්, ඒ සඳහා ඔබේ කුතුහලය, ආශාව ප්‍රමාණවත් නම් ඕනෑම මොහොතක නායකයෙක් වීමට ඉඩකඩ හැකියාව ඔබේ ආයතනය තුළ, ඔබේ සමාජය තුළ පවතිනවා. එයට ශීර්ෂ අවශ්‍ය නැහැ.

නිලතලයක්, ශීර්ෂයක්, බැජ් එකක්, ගරු නාමයක් කියන්නේ බොහෝ වෙලාවට නායකත්වය නිරූපණය කරන බාහිර සංකේතයක් විතරයි. නිලතල ලබා දුන්නම බාහිරින් කෙනෙක්ට නායකයෙක් වෙන්න පුළුවන් වුණාට අභ්‍යන්තරයෙන් බොහෝ වෙලාවට නායකත්වය ගොඩනැඟෙන්නේ ශීර්ෂ විරහිත ආකල්පවලින්. නිලතල විරහිත හැකියාවලින්. නායකත්වය පටන් ගන්නේ ඔබේ ඇතුළතින්මයි. එහෙම නැතිව ද්‍රව්‍යමය සංකේතයකින් නෙමෙයි. තවත් අතකට ලොව විශිෂ්ට නායකයො කිසිවෙක් නිලතල බලාගෙන නායකත්වය අතට ගත්ත අය නෙවෙයි. ඔවුන් සියල්ලම ඇතුළතින් නායකත්වය පිළිබඳ හැඟීම ගොඩනඟාගෙන තම පිරිසට ධනාත්මක විදියට බලපෑම් කළ අය සහ ඉන්පසුව ස්වංක්‍රියවම සමාජයෙන්, ආයතනයෙන් නිලතලයන්ට සුදුසුකම් ලබපු අය.

ඒ නිසා ඔබට ඔබ මේ මොහොතේ ආයතනයේ සිටින පහළම සේවකයා වුණත්, සමාජයේ සිටින කුඩාම සාමාජිකයා වුණත් ඔබේ නායකත්වයේ ගමන ශීර්ෂ විරහිත එක් කුඩා ආකල්පයකින්, නිලතල විරහිත කුඩා හැකියාවකින් ආරම්භ කරන්න පුළුවන්.

අමතර සැතපුමක් ගමන් කරන්න (Go an extra mile)

ජනාධිපතිවරණයක් සඳහා කිසියම් පක්ෂයකින් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ වැඩිම දේශපාලන අත්දැකීම් සහිත පුද්ගලයා නෙවෙයි. වයසින් වැඩියෙන්ම මුහුකුරා ගිය පුද්ගලයාත් නෙවෙයි. නමුත් ඉහළම දැක්මක් සහිත පුද්ගලයා. ඉහළම ජන ප්‍රසාදයට ඒ මොහොතේ පත්වී සිටින පුද්ගලයා.

ක්‍රිකට් කණ්ඩායමක නායකයා විදියට බොහෝ අවස්ථාවල බොහෝ වෙලාවට තෝරාපත් කරගන්නේ කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවාවත්, දක්ෂතම  පන්දු යවන්නාවවත්, දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාවවත් නෙවෙයි. නමුත් අත්දැකීම් බහුල ක්‍රීඩකයා. තණතිල්ලත්, කණ්ඩායමත් පිළිබඳව හොඳින්ම අවබෝධය ඇති තැනැත්තා.

නැවක කපිතාන්වරයා බවට බොහෝ වෙලාවට කටයුතු කරන්නේ නෞකාවේ වයසින් වැඩිම පුද්ගලයා නෙවෙයි. වැඩිම කාලයක් නාවික ගමනාගමනය සිදුකළ පුද්ගලයාත් නෙවෙයි. නමුත් අවදානම්වලට මුහුණ දීමට බිය නැති හොඳම පෞරුෂය සහිත පුද්ගලයා. ක්ෂණික තීරණ ක්‍රියාත්මක කිරීමට හැකියාව සහිත වඩාත් වේගවත් සහ කාර්යක්ෂම පුද්ගලයා.

පුවත්පතක සංස්කාරකවරයා බවට බොහෝ වෙලාවට පත්වෙන්නේ හොඳම ලිවීමේ හැකියාව සහිත මාධ්‍යවේදියා නෙවෙයි. විශිෂ්ටතම ලේඛන ශෛලියක් ගොඩනඟාගත්තු ලේඛකයාත් නෙමෙයි. නමුත් අනෙක් සියලු ලේඛකයන්ව හොඳින් හැසිරවීමට සමත් පුද්ගලයා. අනෙකාගේ දක්ෂතා නිවැරදි කාර්යයන් සඳහා භාවිත කරලා වඩාත් නිර්මාණශීලී අන්තර්ගතයන් නිර්මාණය කළ හැකි පුද්ගලයා.

තවත් හොඳින් ඔබට පැහැදිලි කළොත් නායකයන් තෝරාගැනෙන්නේ, නායකයන් බිහිවන්නේ, සමාජය විසින් නායකයන් නි‍ර්මාණය කරන්නේ සියල්ලෝම ගමන් කළ දුරට වඩා අමතර සැතපුමක් කවුරුන් ගමන් කළාදැයි කියන නිර්ණායකය සලකලා බලලා.

මිනිසුන් 30 දෙනකු සිටින කාමරයක් ඇතුළේ ඔබ සිටින අවස්ථාවක ඔබට ඔවුන් තිස් දෙනාටම නායකත්වය සපයන්නට අවශ්‍ය නම්, ඔවුන් සියල්ලම මෙහෙයවීමේ බලය ලබාගැනීමට අවශ්‍ය නම් ඔබ ඔවුන් සියල්ලන්ටම වඩා අමතර සැතපුමක් ගමන් කළ යුතුයි. පියවර කිහිපයක් ඉදිරියෙන් සිටිය යුතුයි. අනික් සියල්ලන්ටම වඩා පැහැදිලි දැක්මකින් යුක්ත විය යුතුයි. අනෙක් සියල්ලන්ටම වඩා අත්දැකීම්වලින් සන්නද්ධ විය යුතුයි. අනෙක් සියල්ලන්ටම වඩා පෞරුෂමත් විය යුතුයි. කාර්යක්ෂම සහ වේගවත් විය යුතුයි. කළමනාකාරී විය යුතුයි.

නායකත්වය යනු කළමනාකරණය නොවේ (Leadership is not management)

සෑම නායකයෙක්ම කළමනාකරුවකු විය යුතුයි. නමුත් කීයටවත් සෑම කළමනාකරුවකුම නායකයෙක්  වෙන්නෙ නෑ.

නායකයන් පිළිබඳ කතාන්දරයේදී නායකත්වය සහ කළමනාකරණය කියන්නේ එක ළඟින් යන සමාන්තර වචන දෙකක්. බැලූ බැල්මට එක හා සමාන සංකල්ප දෙකක්. නමුත් කළමනාකරණය කියන දේ කිසිම අවස්ථාවක නායකත්වය සඳහා සමාන පදයක් බවට පත්වෙන්නේ නෑ. නායකත්වය සඳහා කළමනාකරණය වැදගත් වුණාට කළමනාකරණය පමණක් නායකත්වය සඳහා වැදගත් වෙන්නේ නැහැ.

ඔබ යටතේ මේ මොහොතේ පුද්ගලයන් දස දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සිටිය පමණින් ඔබ නායකයෙක් කියලා මට හඳුනාගන්න බැහැ. නමුත් පැහැදිලිවම කළමනාකරුවෙක් කියලා නම් මට කියන්න පුළුවන්. ඔබ නායකයෙක් බවට පත්වෙන්න නම්, කළමනාකරුවකුගේ මූලික කාර්යභාරයන් විදියට සැලකෙන  සැලසුම් කිරීම, මැනීම, අධීක්ෂණය, සම්බන්ධීකරණය, විසඳීම යන කාරණාවලට අමතර බලපෑමක් ඔබේ කණ්ඩායම තුළ ඇති කළ යුතුමයි. තවත් අමතර කාර්යභාරයක් ඔබේ කණ්ඩායම වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කළ යුතුමයි.

ඔබේ ආයතනයේ සැලසුම් කිරීම, මැනීම, අධීක්ෂණය, සම්බන්ධීකරණය, විසඳීම යන සියලු කාර්යයන් සිදුකරන, නමුත් සේවකයන්ට සංවේදී නැති, සේවකයන් අකැමැති, සේවකයන්ට ඇහුම්කන් දෙන්නේ නැති ප්‍රධානියෙක් ඉන්නවා නම් ඔහු කළමනාකරුවෙක් විතරයි. නමුත් ඔබේ ආයතනයේ සැලසුම් කිරීම, මැනීම, අධීක්ෂණය, සම්බන්ධීකරණය, විසඳීම යන සියලු කාර්යයන් සිදුකරන අතරේ සේවකයන්ටත් සංවේදී වෙන, සේවකයන් කැමැති, සේවකයන්ට ඇහුම්කන් දෙන ප්‍රධානියෙක් ඉන්නවා නම් ඔහු නායකයෙක්. තවත් අතකට සැලසුම් කිරීම, මැනීම, අධීක්ෂණය, සම්බන්ධීකරණය, විසඳීම යන කිසිවක් නොකර සේවකයන්ගේත් ආයතනයේත් ප්‍රගමනය සඳහා ධනාත්මක බලපෑමක් කළ හැකි අයෙක් ඉන්නවා නම් ඔහුත් නායකයෙක්.

ප්‍රමේෂ් වික්රමසිංහ