උද්ධමනය  වැඩි  වෙනකොට  කටුස්සෙක්  වගේ  බිස්නස්  කරන්න

0
97

ප්‍රමේෂ් වික්‍රමසිංහ

ව්‍යවසායකයෙක්ට, ව්‍යාපාරිකයන්ට ඕනෑ තරම් අපහසු කාල පරාස එනවා. ඕනෑ තරම් අර්බුදකාරී කාල සීමා පැමිණෙනවා. ඒවා එනවා වගේම යනවා. යනවා වගේම නැවත එනවා. ව්‍යාපාරයක ආරම්භයේ ඉඳලා එය මිලියන් ඩොලර් වර්ගයේ සාර්ථකත්වයට යනකන්ම සැබෑ ව්‍යාපාරිකයෙක්ට විවිධාකාරයේ කුණාටුවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. එතනින් පස්සෙත් අපහසුතා, අවදානම් කලාප එනවා. සෑමවිටම සරල රේඛීය නොවන අසමතුලිත මාර්ගයක ගමන් කරන්නට සිද්ධ වෙනවා. අනපේක්ෂිත විධියට නොහඳුනන වළවල්වලට, ආගාධවලට වැටෙන්නට සිද්ධ වෙනවා. නැවත ඒ වළවල්වලින් උපක්‍රමශීලීව හිතලා ගොඩඑන එකත් ව්‍යාපාරිකයකුගෙ, ව්‍යාසායකයකුගෙ ප්‍රමුඛ කාර්යයක් වෙනවා.

ව්‍යාපාරිකයකුට සමහර කාල කලාප තියෙන්නේ සාර්ථක වෙන්නම නෙමෙයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ආදායම් ජනනය කරන්නම, ලාභ උපයන්නම, ජයග්‍රහණ ලබන්නම නෙමෙයි කියලා මම අනුමාන කරනවා. සමහර කාල කලාප මේ දක්වා ඉඟෙන නොගත් පාඩම් ඉගෙන ගැනීම සඳහා වෙනවා. සමහර කාල කලාප අපහසුවෙන් හෝ ව්‍යාපාරයේ පැවැත්ම රැකගැනීම සඳහා වෙනවා. සමහර කාල කලාප ගැඹුරටම ගිලිලා පතුලේ ඔළුව වදිද්දීත් ආයාසයෙන් නොනැසී බේරීම සඳහා වෙනවා. සාර්ථක නොවන මුත්, අසාර්ථක නොවූ ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක් ලෙස තම ජීව ගුණය රැක ගැනීම සඳහා වෙනවා.

එහෙම අපහසු කාල සීමාවල ව්‍යාපාරිකයකුට ඇතැම් වෙලාවට හූනෙක් වගේ වැඩකරන්න සිද්ධ වෙනවා. එහෙම අපහසු කාල සීමාවල ව්‍යාපාරිකයකුට ඇතැම් වෙලාවට තාපස කකුළුවෙක් වගේ වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙම අපහසු කාල සීමාවල ව්‍යාපාරිකයකුට ඇතැම් වෙලාවට කටුස්සෙක් වගේ වැඩකරන්න සිද්ධ වෙනවා. මම කියන්න යන්නේ මොකක්ද කියන එක මේ ව්‍යාපාරික ලිපිය කියවන ඔබට දැනට පැහැදිලි නැතත් අවධානයෙන් වගේම ඉවසීමෙන් ලිපිය දිගටම කියවන්න කියන ආරාධනාව ඔබට මුලින්ම ගෙන එනවා. කියවලා නිකන් ඉන්නේ නැතුව මේ කාලසීමාව තුළ හූනෙක්, කටුස්සෙක්, තාපස කකුළුවෙක් වගේ ක්‍රියාත්මක වෙලා ඔබේ ව්‍යාපාරයේ පැවැත්ම වෙනුවෙන් පියවරක් ඉදිරියට තියන්න කියලත් ඔබට යෝජනා කරනවා.

හූනෙක් වගේ වලිගය කඩලා දාන්න

සර්පයො, ගෙම්බො, කුඩා පක්ෂීන් විතරක් නෙමෙයි වෙනත් විශාල උරගයන් යන සියල්ලම හූනන්ව දඩයම් කරනවා. එහි ප්‍රතිඵලයක් විධියට හූනන් තමන්ව ආරක්ෂා කර ගැනීමේ ප්‍රවීණයන් බවට පත්වෙලා තියෙනවා.  හූනෙක්ගෙන් ව්‍යාපාරිකයකුට ඉඟෙන ගන්න තියෙන්නේ මොනවද කියන කාරණාවට එද්දී මුලින්ම, ඔවුන්ගේ ආරක්ෂිත යාන්ත්‍රණයේ කොටසක් වෙන වලිගය කඩා දැමීම හඳුන්වන්නට පුළුවන්. වලිගයෙන් හූනෙකු අල්ලා ගත්තම හූනා වලිගයෙන් වෙන්වී තනිවම ගමන් කරනවා. මෙය හූනන් විලෝපිකයාගේ අවධානය වෙනතකට යොමු කරන්න භාවිත කරන උපක්‍රමශීලී ආරක්ෂිත උපක්‍රමයක්. වලිගය අහිමි වීමෙන් හූනාට කිසිදු හානියක් වෙන්නෙ නෑ. ඉතා අවම රුධිර අලාභයක් විතරක් උෟට ඇතිවෙනවා. ටික කාලයකින් හූනාගේ වලිගය නැවත යථා තත්ත්වයට පත් වෙනවා. හූනාගේ වලිගය කඩා දැමීමේ ක්‍රමවේදය ආරක්ෂක මාධ්‍යයක් ලෙස ව්‍යාපාරික ලෝකයේදීත් භාවිත කළ හැකි වෙනවා.

Moral of the story

අර්බුදකාරී කාල සීමාවක් ලෙස ගෙවෙන මේ සමයේදී ඔබේ ව්‍යාපාරයේ අනවශ්‍ය සියලු කොටස් වසා දැමීම අනිවාර්යය වෙනවා. ඔබ අලෙවි කරමින් ඉන්න ලාභයක් නැති භාණ්ඩ හා සේවා අලෙවියෙන් නවත්තලා දාන්න සිද්ධ වෙනවා. අනවශ්‍ය වෙළෙඳපොළ කොටස්වල කරන ගනුදෙනු වහා ක්‍රියාත්මක වෙන පරිදි නවත්වන්නට වෙනවා. සමහරවිට නැට්ට කඩලා දාද්දී හූනාට රුධිර අලාභයක් වෙනවා වගේ ඔබට සුළු මූල්‍ය අලාභයක් එහෙම කරද්දී ඇති වෙන්න පුළුවන්. නමුත් ටික කාලයකට පස්සේ නැවත වඩා හොඳින් ඔබේ වෙළෙඳපොළ කොටස වැඩි කරගත හැකි බව හදවතින්ම විශ්වාස කළොත්, භාණ්ඩ හා සේවා පුළුල් කළ හැකි බව පිළිගත්තොත් ව්‍යාපාරයේ අනවශ්‍ය කොටස් ඉවත් කළාට පස්සේ, අනවශ්‍ය අංශ වහලා දැම්මට පස්සේ වේගයෙන් වගේම ආරක්ෂාකාරීව ඔබට ආරක්ෂිත යැයි හැඟෙන කලාපයකට ව්‍යාපාරය ඩ්‍රයිව් කරන්න හැකියාව ලැබෙනවා.

කටුස්සෙක් වගේ පාට වෙනස් කරන්න

කටුස්සන්ට පරිසරය අනුකරණය කිරීම සඳහා කැමැත්ත පරිදි තමන්ගේ වර්ණ වෙනස් කරන්න පුළුවන්. මෙය ඔවුන්ට තමන්ගේ වටපිටාව සමඟ මිශ්‍රවෙලා විලෝපිකයන්ට නොපෙනෙන ලෙස ආරක්ෂා වෙන්නත් ඉඩ සලසනවා. නිදසුනක් විධියට සමහර කටුස්සන්ට තැඹිලි සිට කොළ, කොළ සිට දුඹුරු, දුඹුරු සිට කහ පැහැයට ආදී වශයෙන් පරිසරය අනුව තමන්ගේ වර්ණය වේගයෙන් වෙනස් කරන්න පුළුවන්. එය ඔවුන්ට තමන්ගේ අනාරක්ෂිත වාස භූමිවලදී සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න සහයෝගය සපයනවා.

Moral of the story

බිස්නස් කරන ඕනෑම ව්‍යාපාරිකයෙක්ට, ඕනෑම ව්‍යවසායකයෙක්ට එකිනෙකට වෙනස් විවිධ පරිසර තත්ත්ව පහුකරන්න සිද්ධ වෙනවා. සමහර පරිසර තත්ත්වලදී වැඩි මිල ගණන්වලට තමන්ගේ භාණ්ඩ විකුණද්දී සමහර පරිසර තත්ත්වවලදී ඉතා අඩු මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරමින් තම පාරිභෝගිකයන් රැකගන්න සිද්ධ වෙනවා. සමහර පරිසර තත්ත්වවලදී සාම්ප්‍රදායික වෙළෙඳාමෙන් ව්‍යාපාරික කටයුතු කිරීම යෝග්‍ය වුණත්, සමහර පරිසර තත්ත්වවලදී  ව්‍යාපාර ඔන්ලයින්කරණය කරලා වෙළෙඳාමේ ස්වභාවය, හැඩය, වර්ණය තරමක් වෙනස් කරන්න සිද්ධ වෙනවා. මේ කාල සීමාව තුළදී දැන හෝ නොදැන බොහොමයක් ව්‍යාපාරික ප්‍රජාව ව්‍යාපාර කටයුතු ඔන්ලයින්කරණය කරමින්, මිල ගණන් වෙනස් කරමින් කරන්නේ කටුස්සෙක් වගේ ව්‍යාපාරයේ වර්ණය, හැඩය, ස්වභාවය තරමක් වෙනස් කිරීම තමයි.

අර්බුදය හමුවේ නව පාරිභෝගිකයන් ව්‍යාපාරයට අෑඳා ගැනීම කොහොම වෙතත්, මේ දක්වා සිටි පාරිභෝගික ප්‍රමාණය රැකගන්න තමයි ව්‍යාපාරිකයෙක් මේ මොහොතේ තම උපක්‍රම ක්‍රියාවට නැංවිය යුතු වෙන්නේ. එහිදී ව්‍යාපාරයේ හැඩය, වර්ණය, ස්වභාවය වෙනස් කරලා මේ පරිසර තත්ත්වයේදී පාරිභෝගිකයන් රැකගන්න ක්‍රමයක් මුලින්ම සැලසුම් කරන්නට අවශ්‍ය වෙනවා.

තාපස කකුළුවෙක් වගේ වෙන්න

තාපස කකුළුවකුට තිබෙන්නේ සියුම් ශරීරයක්. උෟ තමන්ගේ සියුම් ශරීරය ආරක්ෂා කරගන්නේ  හිස් මුහුදු බෙලිකටුවක සහාය අරගෙන. යන යන හැම තැනම උෟ බෙලිකටුව රැගෙන යනවා. සතුරු ප්‍රහාරවලදී කටුව අස්සේ උෟ හැංගෙනවා අවදානම නැති වුණාම නැවත එළියට එනවා. සටනක් අතරතුර අඬුවක් තුවාල වුණොත් ඒ අඬුව කඩලා දාලා අලුත් අඬුවක් ක්‍රමානුකූලව වවාගන්නවා. බෙලි කටුව කැඩුණොත් අලුත් බෙලි කටුවක් හොයා ගන්නවා.

Moral of the story

තාපස කකුළුවා බෙලිකටුවකින් ආරක්ෂා වෙනවා වගේ මේ අර්බුදකාරී කාලසීමාව තුළ ව්‍යාපාරිකයෙක්ට පැවැත්ම රැකගන්නනම් අමතර සැලසුමක එහෙමත් නැත්නම් Backup plan එකක සහාය අවශ්‍ය වෙනවා. විවිධ ව්‍යාපාරික ගනුදෙනු, ක්‍රියාකාරකම් මේ මොහොතේ අත්හදා බලද්දී, සිදුකරද්දී නිරන්තරවම තමන්ගේ අමතර සැලසුම අතේ ඇතිව වැඩේට බහින්න සිද්ධ වෙනවා. පවතින සැලසුම ක්‍රියාත්මක වෙන්නෙ නැති වුණත් එතකොට අමතර සැලසුම තිබෙන නිසා තමන්ගේ විශ්වාසය තහවුරු කරගෙන ක්‍රියාත්මක වෙන්න ව්‍යවසායකයාට පුළුවන්. තාපස කකුළුව සටනින් තුවාල වුණාම අඬුව හළලා දානවා වගේ මේ මොහොතේ සියලු අනවශ්‍ය වියදම් කපා හැරලා වගකීම් ප්‍රාමාණය අවම කරගැනීමටත් උත්සහ කළොත් ව්‍යාපරයේ ඉදිරි ගමන ගැන ඔබට විශ්වාසය තියන්න පුළුවන්. අලුත් වැඩවලට මුදල් වියදම් නොකර, පවතින වැඩ කටයුතුත් හැකිතාත් සීමා කරලා මේ මොහොතේ ක්‍රියාත්මක වුණොත් ඔබට ව්‍යාපාරයේ ජීවය පිළිබඳව ඔබටම සහතිකයක් දෙන්න පුළුවන්.

හූනෙක් වගේ  අනතුරකදී වලිගය කඩලා දාලා, කටුස්සෙක් වගේ වෙනස් පරිසරයකදී වර්ණය වෙනස් කරලා, තාපස කකුළුවෙක් වගේ සටනකදි කටුව තුළට රිංගලා, අඬුව හලළා දාන එකට, කටුව ඉවත්කරන එකට කළමනාකරණ විද්‍යාවේදී නම් කියන්නේ ප්‍රතිසංස්කරණ උපාය මාර්ගය (Renewal strategy) කියලා. මේ මොහොතේ ඔබේ ව්‍යාපාරය ලාභ ලබන ව්‍යාපාරයක් වුණත්, ලාභ නොලබන ව්‍යාපාරයක් වුණත්, සුළු පරිමාණ ව්‍යාපාරයක් වුණත්, මහා පරිමාණ ව්‍යාපාරයක් වුණත්, ළාබාල ව්‍යාපාරයක් වුණත්, පරිණත අවධියේ ව්‍යාපාරයක් වුණත් ව්‍යාපාරයේ ඉදිරි පැවැත්ම රැකගන්න නම්, හූනෙක් වගේ, කටුස්සෙක් වගේ, තාපස කකුළුවෙක් වගේ කෙසේ හෝ ප්‍රතිසංස්කරණ උපාය මාර්ගයට අනුගත වීම අත්‍යවශ්‍යයි. කෙසේ හෝ ප්‍රතිසංස්කරණ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි.

ප්‍රමේෂ් වික්‍රමසිංහ