සඳට ගිය වරදට මරණ දඬුවම් ලැබූ

0
822

අභ්‍යාවකාශ තරණයේ මහ මොළකරුවන් මිනිස් වර්ගයා වුවත් මිනිසාට සාපේක්ෂව වැඩිම වතාවක් අභ්‍යාවකාශ ගතවෙලා තිබෙන්නේ මිනිසා නොවන අනෙක් සත්ත්වයන්. ඒ විශ්වයේ විවිධ රාශීන් මඟින් ජීවී දේහ මත ඇති කරන බලපෑම කෙසේද යන්න වටහා ගැනීමේ දැනුම් පිපාසාවකින් පෙළුණු විද්‍යාඥයන්ගේ කුතුහලය සංසිඳවීමේ පරීක්ෂණ සහ අත්හදා බැලීම්වල නියැඳි විධියට. ලයිකා බැල්ල අභ්‍යාවකාශ ගත වන්නෙත් ඒ වගේම ක්‍රියාදාමයක් හේතුවෙන්. ඒ වගේම තවත් එක් අභ්‍යාවකාශ පරීක්ෂණයක් තමයි “Biocore” පරීක්ෂණය කියන්නේ.

නාසා ආයතනයේ සුප්‍රකට “ඇපලෝ” (Appolo) අභ්‍යාවකාශ ව්‍යාපෘතිය “ඇපලෝ 17” මෙහෙයුමෙන් අවසන් වෙනවා. ඒ 1972දී. මේ කාලෙ වෙද්දී විද්‍යාඥයන්ට කුතුහලයක් ඇති වුණා කොස්මික් කිරණ මඟින් ජීවී මොළයට සිදුවන බලපෑම කෙබ¾දුදැයි බලන්න. ඇපලෝ 17 ව්‍යාපෘතියට සමගාමීවම මේ සංසිද්ධිය අත්හදා බලන්න ඔවුන් තීරණය කළා. පරීක්ෂණය නම් කළේ “ජීව විද්‍යාත්මක කොස්මික් කිරණ පරීක්ෂණය” (Biological Cosmic Ray Experiment) හෙවත් Biocore විධියට.

ඇපලෝ 17න් පෘථිවි සීමාවෙන් එපිටට යන්න හිටියේ ඉවුජින් සර්නන්, හැරිසන් ෂ්මිත් සහ රොනල්ඩ් එවන්ස් යන ගගනගාමීන් තිදෙනා. ගගනගාමීන් අභ්‍යාවකාශයට ගිහින් යළි පැමිණි පසුව මොළයේ ව්‍යුහාත්මක වෙනසක් වීදැයි නිරීක්ෂණය කරන්න විද්‍යාඥයන්ට බැහැ. මන්දයත් ඒ සඳහා මොළය විච්ඡේදනය කළ යුතු වූ නිසා. ජීවත් වන මිනිසකුගේ මොළයක් ඒ විධියට විච්ඡේදනය කරන්න නොහැකි බව දන්නා විද්‍යාඥයන් මේ සඳහා යොදාගන්න සිතුවේ වියළි කාන්තාර ආශ්‍රිතව ජීවත්වන ‘පොකට් මවුස්’ නමින් හ¾දුන්වන කුඩා මීයන්. උන්ගේ විද්‍යාත්මක නාමය Perognathus longimembris.

පොකට් මවුස් වර්ගයේ මීයන් තෝරගන්න විශේෂ හේතු දෙකක් තිබුණා. එකක් උන් ශරීර ප්‍රමාණයෙන් බොහෝසෙයින් කුඩාවීම. හරියටම කිව්වොත් වැඩුණු සතෙක් මිනිසකුගේ අත්ලේ ප්‍රමාණයෙන් භාගයක් විතර. අනෙක් හේතුව වුණේ ආන්තික තත්ත්ව යටතේදී පණගැටගහන්න උන්ට තිබුණු හැකියාව. කාන්තාරවල ජීවත් වෙන්න අනුවර්තනය වෙලා හිටපු නිසා උන්ට ඒ හැකියාව උරුමයි.

Fe, Fi ,Fo, Fum සහ Phooey ලෙසින් නම් තැබූ තෝරගත් මීයන් පස් දෙනකු උන්ගේ හිස්කබල මත කොස්මික් කිරණ සඳහා සංවේදී මාපකයන් සවි කර අවශ්‍ය තරම් ආහාරද සහිතව ඉතා හොඳින් ආවරණය කරන ලද විශේෂිත කූඩු පහකට දමා ඇපලෝ 17 යානයේ ගගනගාමීන්ට භාරදුන්නා අභ්‍යාවකාශ සවාරිය සඳහා.

නමුත් ගමන ආරම්භයේදීම මීයන් පස් දෙනාගෙන් එක් අයෙක් මිය යනවා. ඒත් ඉතිරි මීයන් හතරදෙනා, ගගනගාමීන් තිදෙනාත් සමග ආයෙම පෘථිවියට එන්න වාසනාව උදාකර ගන්නවා, පැය 148ක් පුරාවට චන්ද්‍රයාගේ කක්ෂයේ 75 වතාවක් භ්‍රමණය වීමෙන් පසුව. ඒ ගමන ලෝක වාර්තාවක්. ඒ, ඒ වෙද්දී චන්ද්‍ර කක්ෂයේ රැඳී සිටි දීර්ඝම අභ්‍යාවකාශ සවාරිය විදියට.

ඒත් අභ්‍යාවකාශ ගමන අවසන් කරමින් මීයන් සිවුදෙනා පැමිණ තිබුණේ උන්ගේ මලගමට. පෘථිවියට ආ සැණින් විද්‍යාඥයන් මීයන් සිවුදෙනා මරා උන්ගේ සිරුරු විච්ඡේදනය කරනවා. ඒ සිරුරු වල යම් වෙනසක් තිබේදැයි බලන්න. විච්ඡේදකයන් මීයන්ගේ මොළය, ඇස් විනිවිද යනවා. ඒත් කිසිදු ආකාරයක ජීව විද්‍යාත්මක හායනයක් නිරීක්ෂණය කරන්න විද්‍යාඥයන්ට හැකි වෙන්නෙ නැහැ.

සංකල්ප ගුණතිලක