විසම්මුතියට වෙඩි තබන ආණ්ඩුවක් ලංකාවට එපා

0
182

ආණ්ඩුව සාමකාමී උද්ඝෝෂණයකට වෙඩි තබා මිනිසකු මරා දමා තවත් පිරිසකට තුවාල සිදුකර තිබේ. අධිකරණ විමර්ශනයේදී හෙළි වී තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ටී-56 පතරොම් 90ක් අවසන් වනතුරු රඹුක්කන මිනිසුන්ට පන්න පන්නා වෙඩි තබා ඇති බවය.

අලුත් කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂක ඇමැතිවරයා වැඩ භාරගෙන පැය 24ක් යන්නට මත්තෙන් මෙම බිහිසුණු අපරාධය සිදු කර තිබේ. මරා දැමූ මිනිසාට නඩු දෙකක් ඇති බව ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙඩි තැබීම සාධාරණය කරමින් පවසයි. නිරායුධ උද්ඝෝෂකයන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා අවස්ථාව පාදා ගැනීමට පොලිසිය ත්‍රීවීලරයක් ගිනි තැබූ බවත් ආණ්ඩුවේ ඇමැතිවරයකු විසින් මෙහෙයවනු ලැබූ මැර කල්ලියක් ඉන්ධන බවුසරය ගිනි තැබීමට උත්සාහ කළ බවත් නීතිය හමුවේ හෙළිදරව් වෙමින් තිබේ. තම ජීවිත පරදුවට තබා  රඹුක්කන නගරය බේරාගත් පුරවැසියන්ට අපි මල් මිටක් පුද කරමු.

මහජන ආරක්ෂක ඇමැති ප්‍රසන්න රණතුංග ආණ්ඩුවේ කුමන්ත්‍රණය වසා දමමින්  ජනයා මත වරද පටවන්නට පාර්ලිමේන්තුවේදී නීච උත්සාහයක් ගත්තේය. ඒ අතරම රඹුක්කන සිදුවීම ගැන  අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බවටද පුරසාරම් ඇදබෑවේය. එසේනම් පරීක්ෂණ පවත්වන්නටත් පෙරාතුව උද්ඝෝෂකයන් මත වරද පටවන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කෙසේදැයි ප්‍රසන්න රණතුංගගෙන්ම අසා දැනගත යුතුය.

පරීක්ෂණ නොපවත්වාම වෙඩි කෑ මිනිසුන් මත වරද පැටවූ ආණ්ඩුවක් සාධාරණ පරීක්ෂණයක් සිදුකරනු ඇතැයි සිතන්නට තරම් ලංකාවේ මිනිසුන් මෝඩයන් නොවේ. රාජපක්ෂ ආණ්ඩු හැමදාමත් විසම්මුතික අදහස් ඉවසුවේ නැත. හැමදාමත් කළේ විරුද්ධ මත දරන්නන් මහමඟ මරාදමා වංචාසහගත පරීක්ෂණ පැවැත්වීමය.  නමුත් ආණ්ඩුවේ එම පරීක්ෂණවලින් කවදාවත් කිසිවකු වැරදිකරුවකු වූයේ නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටියදී වෙඩි තබා මරා දැමූ රතුපස්වල මිනිසුනට, මීගමුවේ ධීවරයන්ට හෝ නිදහස් වෙළෙඳ කලාපයේ රොෂේන් චානකට යුක්තිය, සාධාරණත්වය ඉටුකළේ නැත.  රොෂේන් චානකට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඉල්ලා අස් වූ පොලිස්පති මහින්ද බාලසූරිය ආරක්ෂක ලේකම් පුටුවේ නැවත වාඩි කරවූයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂය.

බලය හා තනතුරු අතහැර ගෙදර යෑමට රාජපක්ෂ පවුල් ජුන්ටාව සූදානම් නැත. ඔවුහු මේ මොහොතේත්  රට පුරා පැතිරෙන ආණ්ඩු විරෝධී රැල්ල අල කර දැමීම සඳහා කුමන්ත්‍රණය කරමින් සිටිති. සති අන්තයේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල විරෝධතාකරුවන්ට වරද පැටවෙන පරිද්දෙන් මහාමාර්ග වසා දැමුවේ පොහොට්ටු පක්ෂයට සම්බන්ධ කුඩා මැර කණ්ඩායම් විසින් බවටත් පාරවල් විවෘත කළ යුතු යැයි උද්ඝෝෂණය කළේ ද ඔවුන් විසින්ම බවටත් අපට වාර්තා ලැබෙමින් තිබේ. ඒ කිසිදු ස්ථානයක පුද්ගලයන් 10කට  15කට වඩා සිටියේ නැත. එහෙත් පොලිසිය මැරයන්ට ඉඩ දී කරබාගෙන සිටියේය.

ආණ්ඩුවේ දේශපාලකයන් මෙවැනි තුට්ටු දෙකේ වැඩ කරන්නේ ප්‍රදේශයේ වනාන්තර කපා දමමින්, පස් කපමින්, පරිසරය වනසමින්, ඔවුන් සහ ඔවුන්ගේ සහචරයන් කරන විනාශය තවදුරටත් කරගෙන යෑමේ අභිප්‍රායෙනි. ආණ්ඩුව ක්‍රියාකරන ස්වභාවය හොඳින් වටහා ගනිමින් සාමකාමී උද්ඝෝෂණ පවත්වද්දී වඩාත් පරිස්සම් සහගත වන ලෙස අපි ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මතක් කර සිටිමු.

රට මුහුණ දී සිටින කිසිදු ප්‍රශ්නයක් විසඳීමේ හැකියාවක් මේ ආණ්ඩුවට නැත. රටේ පුරවැසියන් ආණ්ඩුව ගැන විශ්වාස නොකරනවාක් මෙන්ම, ලෝකයේ සෙසු රටවල්ද ජාත්‍යන්තර මූල්‍ය ආයතනද මේ ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් තබා නැත. මේ මොහොතේ ඔවුන්ට කළ හැකි එකම දේ තව තවත් මුදල් අච්චු ගසමින් රුපියල බාල්දු කිරීම පමණි. ඉදිරියේදී රටේ සියලු ව්‍යවසායයන් ක්‍රම ක්‍රමයෙන් කඩා වැටෙනු ඇති අතර මිනිසුන්ගේ ජීවත් වීම මහත් සේ දුෂ්කර වනු ඇත.

මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීමට  සහ විපක්ෂයේ අසුන්ගත් ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීමට හිස නවා අන්තර්වාර පාලක මණ්ඩලයකට රට භාරදීමට ආණ්ඩුව තීරණය නොකරන්නේ නම් ඉදිරියේදී රටේ ජනතාවට බලාපොරොත්තු තැබිය හැක්කේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සෝමාලියාව, ඉතියෝපියාව, රුවන්ඩාව වැනි රටවල මන්දපෝෂණයෙන් පෙළුණු මිනිසුන්ට ආහාර සහ බෙහෙත් සහන සේවා සැපයූ අන්දමට කටට යමක් වැටෙන තුරු උඩ බලාගෙන සිටින්නටය.

තරුණ දූ දරුවන්ගේ පරම්පරාව ජාති, ආගම් භේද හා මුසා බස්වලින් රැවටිය නොහැකිය. ඔවුන් වර්තමාන පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ එකම දෙයකි. එනම් ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතින් ඔවුන් කැමැති පාලනයක් තෝරා ගන්නට ඉඩ දී රාජ්‍ය පාලනයෙන් ඉවතට යන ලෙසය.