මේ මොහොතේ මමත් ඉන්නේ ජනතාවගේ පැත්තේ

Date:

රයිගම් ටෙලි සම්මාන උළෙලේදී 2020 වසරට අදාළව හොඳම සහය නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ අංජන ප්‍රේමරත්න මෙවර අප සමඟ සම්මුඛ වුණා. මෙහිදී කලාව හා රටේ පවතින දේශපාලනික තත්වය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වූයේ මේ ආකාරයටයි.

කොහොමද ඉතින් මේ දවස්වල?

මේ දවස්වල රටේ තිබෙන තත්වයත් එක්ක හොඳයි කියන්න බැහැ. ගොඩාක් මිනිස්සු පාරට බැහැලා අරගල කරනවනේ ඉතින්. රට හොඳ තත්ත්වයකට ගන්න අරගලය කරගෙන යන්න ඕන. රටේ තිබෙන එක එක ප්‍රශ්න එක්ක ඉතින් අපේ ජීවිත ගතවෙන විදිහ හොඳයි කියලා කියන්න බැහැ.

රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී 2020 වසරට අදාළව හොඳම සහාය නළුවා වුණේ ඔබ. ඒ ගැන කතා කරමු?

ඔව්. තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයේ ‘පතෝලයා’ ගේ චරිතය වෙනුවෙන් තමයි හොඳම සහාය නළුවාගේ සම්මානය ලැබුණේ. නළුවෙක් විධියට සම්මානයක් ලැබෙනවා කියන්නේ රංගනයට ලැබෙන ලොකු ඇගයීමක් සහ හොඳ උත්තේජනයක්. සම්මානය ලැබෙන්නත් කලින් පතෝලයාගේ චරිතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළින් ලැබුණා. සංකේතාත්මකව සම්මානයක් ලැබීම ඉතාම සතුටුදායක තත්ත්වයක්.

නළුවකුට තමන්ගේ පැවැත්ම උදෙසා සම්මානයක් කොතරම් වැදගත්ද? ඒ පිළිබඳව ඔබගේ පෞද්ගලික අදහස කුමක්ද?

මම හිතන්නේ සම්මානයක් කියන්නේ නළුවකුගේ රංගනය හොඳින් කිරීම උදෙසා ලබා දෙන උත්ප්‍රේරකයක්. නළුවකුට සම්මානයක් හරහා හොඳ අභිප්‍රේරණයක් ලැබෙනවා. නමුත් නළුවා සම්මාන බලාගෙන රඟපාන කෙනෙක් නොවිය යුතුයි. කරන වැඩේ හරියට කළාම සම්මානයකට වඩා වටිනා හැඟීමක් එනවා. අදාළ පිටපතට අනුව අධ්‍යක්ෂවරයාට සරිලන විධියට චරිතයට සාධාරණයක් ඉෂ්ට කළාම තමයි සම්මාන ලැබෙන්නේ. ඒ තුළින් ඉදිරියට වැඩ කරගෙන යන්න විශාල පන්නරයක් ලැබෙනවා.

අංජන ප්‍රේමරත්න කියන චරිතය සිනමාවේදී දක්නට නොලැබෙන්නේ ඇයි?

එහෙම කියන්න බැහැ. මම සිනමාවේ හිටියා. ‘ගින්නෙන් උපන් සීතල’, ‘සය පෙති කුසුම’, ‘හුස්ම’ වැනි චිත්‍රපටවලට මම දායකත්වය ලබා දුන්නා. ලක්මාල් ධර්මරත්නගේ “වාලම්පුරි” චිත්‍රපටයේ රූගත කිරීම්වල මේ දිනවල නිරත වෙලා සිටිනවා. දැනටමත් එහි 3/4කට වඩා වැඩ කටයුතු ඉවරයි. ඉතුරු වැඩ ටික අගෝස්තුවේ ඉවර කරන්න සැලසුම් කරලා තිබෙනවා. බොහෝ දුරට මේ වසරේම එම චිත්‍රපටය හරහා මාව දැකගන්න පුළුවන්.

අදවන විට Tik Tok හා Youtube වැනි සමාජ ජාලා තුළ ජනප්‍රිය වන තරුණ තරුණියන්ට ක්ෂණිකව රඟපෑමේ අවස්ථා හිමිවන බවක් පෙනෙන්නට තිබෙනවා. වේදිකාවෙන් පැමිණි නළුවකු වශයෙන් ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

මම සිතන්නේ ඕනෑම දෙයක් කරනකොට හොඳින් පුරුදු පුහුණුවකින් යුතුව කළොත් හරියට කරන්න පුළුවන්. රංගනය කියන්නේ හොඳින් හැදෑරීමකින් යුතුව කළ යුතු බැරෑරුම් කාර්යයක්. පුරුදු පුහුණු වීම් තුළින් හා අභ්‍යාස කිරීම තුළින් රංගනය ඉතා හොඳින් කරන්න පුළුවන්. නමුත්, TikTok එකකින් ජනප්‍රිය වෙලා රංගනයට ආවම ඒ අය හුඟක් වෙලාවට අතරමං වෙනවා. අලුතෙන් එන අයට දක්ෂ නළු නිළියන් සමඟ වැඩකරන්න ලැබෙන එක ලොකු භාග්‍යයක්. ජනප්‍රිය වීමත් සමඟ රංගනයට ආවත් රංගනය පිළිබඳව හැදෑරීමකින් යුතුව කළොත් ඒ අයටත් පවතින්න පුළුවන්.

ඒ විධියට නවක නළුවන්ගේ ආගමනය පුරුදු පුහුණු වන, රංගනය වෙනුවෙන් කැපවෙන නළුවන්ට වන අසාධාරණයක් නෙවෙයිද?

අසාධාරණයක් වෙන්නේ නැහැ. ඇත්තටම කාලෙන් කාලෙට ඒ වගේ අය ඇවිල්ල යනවා. මම හිතන්නේ හොඳට පුරුදු පුහුණු වෙලා සිටි අය පවතිනවා. තමන්ගේ වැඩ කොටස තමන් හරියට කරනවා නම් එහෙම අසාධාරණයක් වෙන්නේ නැහැ.

ඔබගේ සමකාලීන නළුවන් අධ්‍යක්ෂණ වෘත්තියට පිවිසිලා සිටිනවා. අධ්‍යක්ෂණ වෘත්තියට පිවිසෙන්නට ඔබට අදහසක් තිබෙනවාද?

ඇත්තටම මට තාම එහෙම අදහසක් නැහැ. අධ්‍යක්ෂණය වෘත්තීය කියන්නේ රඟපෑමට වඩා ඉතා බැරෑරුම් කටයුත්තක්. නිර්මාණ පිළිබඳව ඇති දැනුමත් සමඟ කරන්න ඕන ලොකු බරපතළ ක්‍රියාවලියක්. තාම අධ්‍යක්ෂණයට යොමු වෙන්න සුදුසු තත්ත්වයක මම නැහැ කියලා මම විශ්වාස කරනවා. මගේ රංගනය දියුණු කරගන්න එක තමයි මගේ බලාපොරොත්තුව.

පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයත් සමඟ ඔබ වෘත්තීය මට්ටමෙන් මුහුණ දෙන ගැටලු මොනවාද?

මේ වනවිටත් Commercials එන්නෙ නැති නිසා පැරණි නාට්‍ය නැවත විකාශනය කිරීමට බොහෝ නාළිකා සූදානම් වෙමින් පවතිනවා සහ සමහර නාළිකා එම ක්‍රියාවලිය සිදුකරමින් පවතිනවා. විදුලිය විසන්ධි කිරීමත්, එක් එක් ප්‍රදේශවලට විදුලිය විසන්ධි වුණාම අනුග්‍රාහකයන්ට, එයාලගේ පණිවුඩ හරියට යවා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා නාළිකාවලට Commercials අඩු වෙලා තිබෙනවා. ඒකත් එක්ක අලුතෙන් ටෙලිනාට්‍ය පෙන්වන එක නවත්වන තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ. මේ විධියට තිබුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපිට විතරක් නෙවෙයි සමස්ත රැකියා සියල්ලටම බලපාන කාරණාවක් මේක.

වර්තමානයේදී ඇතිවෙලා තිබෙන දේශපාලනික ක්‍රියාවලියත් සමඟ ඇති වී ඇති විරෝධතාවන් සම්බන්ධව ඔබගේ අදහස කුමක්ද?

මට හිතෙන්නේ මේ System එක ඇත්තටම වෙනස් වෙන්න ඕන. අවුරුදු හැත්තෑ ගණනක් මේ රට පාලනය කරපු අය ඒ අයට පමණක් ඇති තරම් හම්බ කරගෙන ආධිපත්‍යයක් පතුරුවාගෙන හිටියා. දැන් ඇති. මිනිස්සුන්ට ඕන විධිහට මේ System එක හැදෙන්න ඕන. මිනිස්සුන්ට ජීවත් වෙන්න පහසු විධියට මේක හැදෙන්නම ඕනෑ.

ඒ නිසා ජනතා අරගල ඉතා සාධාරණයි. මේ මොහොතේ මමත් ඉන්නේ ජනතාවගේ පැත්තේ.

ඔබගේ ඉදිරි වැඩකටයුතු සහ නිර්මාණ පිළිබඳව කිව්වොත්?

චන්දන ඉරුගල්බණ්ඩාරගේ ‘වියළි’ ටෙලිනාට්‍යයේ සහ සමීර හසුන්ගේ “ආලත්ති අම්මා” ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වල නිරත වෙලා සිටිනවා. ඒ සමඟම වසන්ත වැල්ලවායගේ නිර්මාණයක් සඳහාත් දායක වුණා. මේ දවස්වල ලොකුම බලාපොරොත්තුව තමයි ලක්මාල් ධර්මරත්නගේ ‘වාලම්පුරි’ චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කරන එක. අගෝස්තු මාසයේදී එහි රූගත කිරීම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මට අමතරව තුමි¾දු ‍ෙදාඩන්තැන්න, ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල සහ අශාන් ඩයස් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ.

රමෝද් ජයවර්ධන

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

මයික් ටයිසන්-දේවරකොන්ඩා face to face ගැටෙන බොලිවුඩ් සම්ප්‍රාප්තිය Liger

මේක කියවන ඔයාලා බලනවා ඇතිනේද මේ අදාළම නැති තඩි...

ප්‍රේක්ෂකයෝ මගේ කොණ්ඩෙට ආදරෙයි

ඇයට හිමි සුවිශේෂ කේශ කලාපය නිසාම මේ වනවිටත් ක්ෂේත්‍රය...

ගල් කොරියෙ වැටිල මැරුණු වෙඩික්කරුගෙන් එළියට ආ මුල්ලේරියා මන්ත්‍රි ඝාතන සැලසුමේ කතාව

දිගින් දිගටම සිදුකරන වෙඩිතැබීම් නිසා ගැටලු රැසකට මැදිවී සිටින...

මගේ ආදරය හැමදාම හදවතේ තියෙනවා

පුංචි තිරයේ අහිංසකාවිය නමින් හඳුන්වන ඇය සම්මානීන ජනප්‍රිය තරුණ...