මම මහපොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්

0
118

කොහොමද මේ දිනවල වැඩකටයුතු?

මේ දිනවල මගේ අලුත්ම ටෙලි නාට්‍ය ‘රාජිනී’. එය දෙරණ නාළිකාවේ විකාශය වන ටෙලි නාට්‍යයක්. එයට අමතරව ටෙලි නාට්‍ය තුනක පමණ වැඩකටයුතු නිමා කර තිබෙනවා. ළඟදීම එයත් විකාශය වෙයි.

කොහොමද රාජිනී ටෙලි නාට්‍යයේ ‘සුනන්දා’ ටීචර්ට ලැබෙන ප්‍රතිචාර?

රාජිනී ටෙලි නාට්‍යයේ මට ලැබුණේ ප්‍රධාන චරිතයක්. හැම දුක්ඛ දෝමනස්සයන්ටම මුහුණ දෙන මවක් සහ ගුරුතුමියකගේ භූමිකාවක් තමයි මට නිරූපණය කරන්නට තිබෙන්නේ. පාසලෙහි සහ නිවෙසේ තිබෙන අරගලයක් මෙම චරිතයෙන් පෙන්නුම් කරනවා. තවම කොටස් කිහිපයක් පමණයි විකාශය වී තිබෙන්නේ. නමුත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

රංගන ශිල්පිනියක් වීම කුඩා කල සිටම තිබුණු සිහිනයක්ද?

ඔව්. මගේ පාසල අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය. පාසල් යන කාලයේ ඉඳලම මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. පාසලේ කුමක් හෝ වැඩසටහනක් තිබෙනවා නම් මම එතැන. ඊට අමතරව දහම් පාසලත් මට මේ තැනට එන්න ලොකු උදව්වක් වුණා. මම හිතනවා මම එදා ලබා ගත්තු පන්නරය තමයි මේ තැනට එන්න උදවු වුණේ කියලා. 1987 වර්ෂයේ වේදිකාවෙන් මම මගේ ගමන ආරම්භ කරනවා. ජාතික තරුණ සේවා සභාවේ රෝහණ දන්දෙණිය මහත්මයගේ පාඨමාලාවක් හැදෑරීම තුළින් රංගනය පිළිබඳ මම ඉගෙන ගත්තා. මගේ පළමු වැනි ප්‍රසිද්ධ වේදිකා නාට්‍යය තමයි දෑවර. වේදිකා නාට්‍යවලින් ගත්තොත් රාජ්‍ය නාට්‍ය උළෙලවල් විස්සක් පමණ නියෝජනය කළා. මේ සෑම දෙයකින්ම මම ලබන්නේ තෘප්තියක්.

වර්තමානයේ වේදිකා නාට්‍යවලට හිමිවී තිබෙන ස්ථානය පිළිබඳ ඔබ තෘප්තිමත්ද?

කවදත් වේදිකා නාට්‍යවලට ආදරය කරන එක්තරා පිරිසක් සිටියා. දැන් විශ්වවිද්‍යාල තුළත් වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය අනිවාර්ය වී තිබෙනවා. නමුත් වේදිකා නාට්‍ය නැරඹීම කෙරේ අලුත් ළමයි තුළ වැඩි කැමැත්තක් නැතැයි මා සිතනවා. මම සිතන්නේ තාක්‍ෂණය සමඟ ළමයින් ඒකාකාරී වෙලා. ඒ වගේම ඇතැම් ටෙලි නාට්‍යවලින් පෙන්වන දේවල් නිසා කලාව මිනිසුන්ට එපා වී තිබෙනවා.

තරුණ පරම්පරාව සමඟ වැඩකටයුතු කිරීම පහසුයිද?

ඇත්තටම දැන් ළමයි හරිම දක්‍ෂයි. නමුත් සමහර ළමයින් රඟපාන්න පැමිණියත් ඔවුන්ට නිසි හැදෑරීමක් නැහැ. අඩුම තරමේ වේදිකා නාට්‍යයක් නරඹලාවත් අධ්‍යාපනයක් ලබන්න ඕනේ කියන උනන්දුවක් නැහැ. එයට එක් හේතුවක් තමයි එක්තරා රැල්ලක නාට්‍ය බිහිවීම. එයට ළමයින්ට චෝදනා කරලා තේරුමක් නැහැ. එයාලට හරි දේ පෙන්නා දෙමින් යම් ප්‍රතිපත්තියක් හැදෙනවා නම් මේ සෑම දෙයක්ම වෙනස් වෙයි. කලාව කියන්නේ ඕනෑම මතයක් වෙනස් කළ හැකි දෙයක්.

කලාකාරිනියක් ලෙස සමාජයෙන් හිමි විය යුතු ගරුත්වයත් රැකගෙන මෙච්චර දුරක් පැමිණියේ කොහොමද?

මම පොළොවේ පය ගහලා ඉන්න, සමාජයේ සිටින ඕනෑම තරාතිරමක කෙනකු ඇසුරු කරන්න පුළුවන් ගැහැනියක්. මගේ රංගන භූමිකාව මම ඒ හරහා ගෙනියන්නේ නැහැ. සමාජයට ගිය විට මම සාමාන්‍ය ගැහැනියක්. නිළියක් කියන්නේ ආභරණයක් කරගත යුතු දෙයක් නොවෙයි.

ටෙලි නාට්‍යය වාණිජකරණයට ලක්වීම ඔබ දකින්නේ කොහොමද?

දැන් මොනවද වාණිජකරණය වෙලා නැත්තේ. මෙය මනුස්සකම පවා වාණිජකරණයට ලක්වෙලා තිබෙන යුගයක්. යම් මනුස්සයෙක් කාටහරි කෑම වේලක් දුන්නත් එයත් මුහුණු පොතට එකතු කරනවා. තමන්ගේ පෞද්ගලික දෙයක් මුහුණු පොතට දැම්මට කමක් නැහැ. එය කවදහරි අපට බලන්න පුළුවන්. නමුත් අද මනුස්සකම වාණිජකරණයට ලක්වෙලා. ඒ පිළිබඳව හරිම කනගාටුයි.

රංගන ජීවිතයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ කතා කළොත්?

කොරෝනා එන්න කලින් මම කැලණිය විශ්වවිද්‍යාලයේ ‘විසේකාරිය’ කියලා වේදිකා නාට්‍යයක් කළා. නමුත් කොරෝනා එක්ක හැමදේම නතර කරන්න වුණා. ඉදිරියේදී තවත් වැඩකටයුතු කිහිපයක් සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ඉතා මෑතකදී හමුවූ රාජිනී ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂ තිලිණ බොරලැස්සට මම ස්තුතියි කියන්නට අවශ්‍යයි සුනන්දා කියන චරිතය මට ලබා දුන්නට සහ ප්‍රදීප් මානවඩු මහත්මයටත් ස්තූතියි.

සචිනි බස්නායක