කලාකරුවකුට සම්මානයක් කියන්නෙම හොඳ උත්තේජනයක්

0
134

කොහොමද මේ දවස්වල තොරතුරු?

ගොඩක් වැඩ නැති, කාර්යබහුල නැති කාලයක් කිව්වොත් හරි. ඉතින් ඒ නිසා නිවසේ රැ‍ෙ¾දන ප්‍රමාණය වැඩියි. අලුත් දේවල් ඉගෙනගන්න, අභ්‍යාසවල නිරත වෙන්න ඒ කාලය යොදාගෙන හොඳින් ඉන්නවා.

‘තණමල්විල කොල්ලෙක්’හි ‘සුලෝ’ට ලැබුණු සම්මානය ගැන කතා කරමු?

රයිගම් ටෙලි සම්මාන උළෙලේ 2020 වර්ෂය සඳහා හොඳම නැඟීඑන නිළිය විධියට තමයි සම්මාන හිමි වුණේ. විශේෂයෙන් තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යය උදෙසා එම සම්මානය ලැබුණු එක පිළිබඳව මට නිහතමානී සතුටක් මෙන්ම නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. වැඩ කරමින් සිටින කලාකරුවකුට සම්මානයක් කියන්නෙම හොඳ උත්තේජනයක්. රයිගම් ටෙලි සම්මාන උළෙලේ ගරු විනිශ්චය මණ්ඩලයටත් රොෂාන් රවීන්ද්‍ර අයියා ඇතුළු තණමල්විල කොල්ලෙක් කණ්ඩායමටම ස්තූතිවන්ත වෙනවා.

වේදිකාවේ කෙටි නාට්‍ය හරහා පුංචි තිරයට හා රිදී තිරයට පැමිණීමේ ගමන් මඟ ගැන මතක් කරමු?

කෙටි නාට්‍යයක් හරහා එවකට ලංකාවේ තිබූ ප්‍රධානතම සම්මාන උළෙලවල් තුනක් නියෝජනය කිරීමටත් ඒ සඳහා ඇගයීම් ලබා ගැනීමටත් මට හැකි වුණා. ඒ සමඟම වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට සෝමලතා සුබසිංහ Play House ආයතනයටත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ එවකට තිබුණු වේදිකා රංගනය පිළිබඳ ඩිප්ලෝමා එකටත් සම්බන්ධ වුණා. ඒවායේ වැඩ කරමින් සිටින අතරතුර මට අශෝක හඳගම මහතාව හමුවනවා. ‘ඇගේ ඇස අග’ යනු මගේ ප්‍රථම සිනමා රංගනයයි. එතැනින් එහාට ප්‍රසන්න විතානගේ, ලලිත් රත්නායක, චන්න දේශප්‍රිය වැනි අධ්‍යක්ෂවරු සමඟ වැඩ කිරීමට ලැබෙනවා. සිනමාවේ වැඩ කළාට පසුව තමයි මට ලක්මාල් ධර්මරත්නගේ “කූඹියෝ” ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. එතැන් පටන් මාව විශ්වාස කරපු සියලු නිර්මාණකරුවන්ටත් ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.

යම් නිර්මාණයක් තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් වන නිර්ණායක මොනවාද?

නිර්ණායක කියලා විශේෂ දේවල් නැහැ. මට මේ නිර්ණායකය යටතේ තිබෙන නිර්මාණය හරි, මේ දේවල් සපිරෙන නිර්මාණවල විතරක් වැඩ කරනවා කියලා නිර්ණායකයන් මට නැහැ. මොකද මමත් නිතැතින්ම වෙනස් වන කෙනෙක්. එතකොට මම අද ඉන්න නිර්ණායකවලට හෙට දවසේදී නිර්ණායක, නිර්මාණයක හදාගන්න බැහැ. මොකද අද දවසට වඩා හෙට දවසේ තව තවත් දැනුමෙන් පෝෂණය වෙනවා. තව තවත් අත්දැකීමෙන් සන්නද්ධ වෙනවා. මම කියවන – ලියන දේවල් වැඩි වෙනවා. මම දිනෙන් දින උත්සාහ කරන්නේ මගේ Practice එක ඇතුළේ පරාසය වැඩි කරගන්න. ඒ නිසා නිර්ණායක කියන දේවල් මම දැඩි ලෙස follow කරන්නේ නැහැ. නමුත් නිර්මාණයකට මම ආරාධනා කළාම කතාව, මම කරන්න ඕන චරිතය, වැඩ කරන පිරිස කොහොමද, ඒ පිරිසෙන් මට ඉගෙන ගන්න තිබෙන දේවල්, ඒ දේවල් මත නිර්මාණයකට දායක වෙන්න මම පෙලඹෙනවා. ඒ නිර්මාණයට සාධාරණයක් කරන්න මට පුළුවන්ද, සාධාරණයක් කරන්න බැරිනම් මම එකට වැඩ කරන්න ඕන කොහොමද, ඒකට උදවු ගන්න ඕන කොහොමද, තව කොයි පැත්තෙන්ද මම ඉගෙන ගත යුත්තේ කියන දේවල් පිළිබඳව මම හිතනවා. මම වැඩ කරපු හැම නිර්මාණයක් ඇතුළෙම මම අලුත් දෙයක් ඉගෙන ගෙන තිබෙනවා. හැම නිර්මාණයක් කරද්දිම මම හිතන්නේ ඒක අලුත් වැඩක්. ඒ වැඩේ ඇතුළේ අපි පරිණත වෙනවා. අපි අත්දැකීම් ලබනවා. අපි ඉගෙන ගන්නවා. ඒ නිසා නිර්මාණයක් තුළ මම මගේ නිර්ණායක දාගෙන, ඒක හොයන්න යනවට වඩා මම කරන්නෙ නිර්මාණයක් ඇතුළෙන් අලුත් දේවල් ඉගෙනගන්න එක.

අදවන විට බොහෝ නළු-නිළියන් වෙනත් වෘත්තීන්හි යෙදෙන අතරතුර කලාව විනෝදාංශයක් විධියට පමණක් සිදු කරනවා. ඔබත් එහෙමද?

ඒ ගැන නම් මම ඇත්තටම සඳහන් කරන්න දන්නේ නැහැ. මොකද මම කිසිම විටෙක කලාව විනෝදාංශයක් ලෙස අරගෙන නියැළිලා නෑ. වෙනත් වෘත්තියක යෙදෙන අතරතුර මම කලාවේ නිරත වෙලා නැහැ. ඒක කරන අය කොයි මට්ටමෙන්ද කරන්නේ කියලා මම දන්නේ නැහැ. මට වෙනත් වෘත්තියක නියැළෙමින් කලාව කරන්න මේ මොහොතේ අමාරුයි. මොකද මම මගේ සම්පූර්ණ Focus එක, සිහිය, Practice එක මේ මොහොතේ ලබාදීලා තිබෙන්නේ කලාවට. උදේ අවදි වුණු වෙලාවේ සිට රාත්‍රි නින්දට යනතෙක් මම කරන වැඩපිළිවෙළ මම ඉගෙන ගත්ත දේවල් අත්හදා බලන දේවල් මගේ ශරීරය පවත්වාගෙන විධියට හැමදේම හැදිලා තියෙන්නේ මම කලාව තුළ කරන රස්සාවත් එක්ක. රංගනය, චජබපඥඵඵ කෙනෙක් කියන වෘත්තියත් එක්ක තමයි මේ වෙනකොට බද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා වෙන වෘත්තියක් සමඟ මම හිතන මට්ටමින් රංගන වෘත්තිය කරන්න මේ මොහොතේ අමාරුයි. මේ මොහොතේ විනෝදාංශයක් විධියට රංගනය කරන්න බැහැ. මම මේ මොහොතේ රංගනය කරන්නේ දැඩි ලෙස වෘත්තීය භාවයකින් යුක්තව, වෘත්තියක් ලෙසයි.

ඔබව දක්නට නියමිත ඉදිරි වැඩකටයුතු හා ඔබේ අනාගත බලාපොරොත්තු ගැන කෙටියෙන් සඳහන් කරමු?

දක්නට නියමිත ටෙලිනාට්‍ය විදිහට, ‘මාණික්කාවත’ ටෙලිනාට්‍ය මේ වෙනකොටත් විකාශන ය වෙනවා. එහි දෙවැනි පරම්පරාවේ කෙනෙක් විදිහට තමයි මම නියෝජනය වන්නේ. ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දකින්න පුළුවන් වෙයි. ඊට අමතව සුරාජ් මාපා විසින් අධ්‍යක්ෂණය කළ ‘නො නිමි’ ටෙලි නාට්‍යත් ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි. ඒ වගේම ආරියරත්න ඇතුගල මහතා නිර්මාණය කළ ‘සිසිවන උවන’ ටෙලිනාට්‍යයේ චරිතයක් නිරූපණය කළ අතර එයත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැක බලාගන්න පුළුවන් වෙයි. මීට අමතරව ජගත් මනුවර්ණගේ නාට්‍යයක් වන ‘කොඩි ගහ යට’ සඳහා මේ දවස්වල රූගත කිරීම්වලට සහභාගි වෙනවා. එය ඉදිරියේදී දකින්න පුළුවන්. මීට අමතරව මම දායකත්වය දැක්වූ චිත්‍රපට දෙකක් තිරගතවීමට නියමිතයි. රටේ තිබෙන වාතාවරණයත් එක්ක ඒක කොහොම වෙයිද කියලා කියන්න අමාරුයි. වේදිකාවෙ නම්, සෝමලතා සුබසිංහ මහත්මියගේ ‘විකෘති’ වේදිකා නාට්‍යයෙත්, රාජිත දිසානායකගේ ‘ සිහින හොරු අරං’ කියන වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වෙලා දැනට වැඩ කරගෙන යනවා. ඉදිරියේදී ඒවායේ දර්ශන වාර තිබුණොත් ප්‍රේක්ෂකයන්ට ඒවා දැක ගන්න පුළුවන්.

රමෝද් ජයවර්ධන