පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි

0
514

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් වන ඉදිරි පරීක්ෂණ සඳහා පොලිස්පතිවරයා, මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, මධ්‍යම පළාතේ නියෝජ්‍ය පොලිස්පති, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ කෑගල්ල, රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන්ට මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙසට දැනුම් දී තිබේ.

මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ, හෙට (අප්‍රේල් 22) පෙරවරු 11.00ට අදාළ නිලධාරීන්ට එහි පැමිණීමට මෙලෙස දැනුම් දී ඇති බව ය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු, නීති නිලධාරියෙකු සහ මානව හිමිකම් නිලධාරියෙකු ඇතුළත් කණ්ඩායමක් රඹුක්කන ප්‍රදේශයට ගොස් ඇති බව එම කොමිසම පැවසීය.

එම කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තාව මත පදනම්ව මානව හිමිකම් කොමිෂන් සභාව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රජය වෙත නිර්දේශ නිකුත් කිරීමට නියමිත ය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.