රඹුක්කන සිද්ධිය ගැන මහජන ආරක්ෂක ඇමති ප්‍රසන්න කියන කතාව

0
226

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් මානව හිමිකම් කොමිෂන් සභාවට පවත්වන ලෙසට තමන් ඉල්ලීමක් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අද (අප්‍රේල් 20) පාර්ලිමේන්තුවේදී රඹුක්කන විරෝධතාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

එමෙන් ම, එම අවස්ථාවේදී රඹුක්කන පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඔහු ප්‍රකාශ කර සිටියේ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශක අදාළ කමිටුවේ සෙසු සාමාජිකයින් බව ය.

මෙම කමිටු වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියේ ය.

මෙම සිද්ධියේදී රඹුක්කන පොලිසිය, පොලිස් අඥා පනත සහ පොලිස් නියෝගවලට අනුව කටයුතු කළ බව ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ය.

“පොලිස් අඥා පනතේ 56 වගන්තිය අනුව ත් දණ්ඩ නීති සංග්‍රහයේ 90ත් පොලිසියට මේ සඳහා අවශ්‍ය බලය තියෙනවා. එහි තත්ත්වය අනුව එහි සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ඒ සඳහා තීන්දුවක් ගත හැකි. පොලිස් පරීක්ෂකවරයෙකුගේ ඉහළ කෙනෙකුට තමයි මේ තීන්දුව ගන්න පුළුවන්.”

මේ අතර, රඹුක්කන විරෝධතාවේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ වාර්තාවක් කැඳවූ බව එහි සභාපතිවරයා ඊයේ (අප්‍රේල් 19) ප්‍රකාශ කර තිබිණි.