පානදුර විරෝධතා තවදුරට ත්: මාර්ග වසා දමයි (VIDEO)

0
488

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව පානදුර ප්‍රදේශයේ ඊයේ (අප්‍රේල් 19) පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාව තවදුරට ත් ක්‍රියාත්මක වන බව අප වාර්තාකරු පවසයි.

ඊයේ දිනයේදී විරෝධතාකරුවෝ පානදුර ඔරලෝසු කණුවේ සිට ගාලු පාර සහ රත්නපුර පානදුර මාර්ගය මුළුමනින් ම අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ.

වාර්තාකරු සඳහන් කළේ, ඊයේ රාත්‍රීයේදී විරෝධතාකරුවන් යකඩ ආවරණ දමමින් පානදුර මාර්ගය වසා දැමූ බව ය.

පසුව පොලිසිය අතුරු මාර්ගවලින් එම මාර්ග හරහා ගමන් කරන වාහනවලට ඉඩ ලබා දී ඇති අතර මේ වන විට විරෝධතාකරුවන් එම අතුරු මාර්ග ද අවහිර කර ඇතැයි වාර්තා වේ.

විරෝධතාව නැවත්වීම සම්බන්ධයෙන් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින් සහ විරෝධතාකරුවන් කිහිප දෙනෙකු සමග මේ වන විට සාකච්ඡාවක් පැවත්වෙන බව අප වාර්තාකරු පැවසීය.

අප වාර්තාකරු කියා සිටියේ, ගිලන් රථවලට පමණක් විරෝධතාකරුවන් වසා ඇති මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ලබා දෙන බව ය.

පොලිසිය විකල්ප මාර්ග භාවිත කරමින් වාහන ගමනාගමනය යථා තත්ත්වට පත් කිරීමට කටයුතු කළ ද ගාලු පාරේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තාකරු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

මේ අතර, පානදුර පැරණි ගාලු පාරේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ මාර්ගය වසා දමා ටයර් පුළුස්සා දමමින් විරෝධය පළ කිරීමක් ඊයේ රාත්‍රියේ සිදු විය.

සුමිත් රණවක – පොතුපිටිය