IMF සමග සාකච්ඡා හෙට ඇරඹේ

0
26

ශ්‍රී ලංකා රජයේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා හෙට (අ‍ප්‍රේල් 19) ආරම්භ වේ.

අමෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී ආරම්භ වන මෙම සාකච්ඡා 24 වනදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ (අප්‍රේල් 17) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියහ. 

මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ තවත් දෙදෙනෙක් මෙම නියෝජිත පිරිසට අයත් වෙති. 

නියෝජිත පිරිස කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගොස් එතැන් සිට තවත් ගුවන් යානයකින් අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පැමිණ තිබිණි. 

අමෙරිකානු ඩොලර් බිලියන 3ත් 4ත් අතර ණය මුදලක් ලබා ගැනීමේ අරමුණෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන අතර, එමගින් මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව මුදල් ඇමති අලි සබ්‍රි මහතා පසුගිය දා ‘බ්ලූම්බර්ග්’ ආයතනයට පැවසීය.