“සමස්ත රෝහල් පද්ධතිය ම මේ සතියේ කඩා වැටේවි” – GMOA

0
29

රෝගීන්ගේ ජීවිත ආරක්ෂාවට අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු ඖෂධ ගණනාවක උග්‍ර හිඟයක් දිවයිනේ සියලු ම රෝහල්වල පැවතීම නිසා සමස්ත රෝහල් පද්ධතිය ම මෙම සතිය තුළ කඩා වැටීමේ අති භයානක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

උද්ගත වී ඇති මෙම තත්ත්වය කොවිඩ් වසංගත අවධියට වඩා දරුණු වීම කිසිසේත් ම වැළැක්විය නොහැකි බව ත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රෝහල් තුළ නොමැති වීම නිසා අනපේක්ෂිත අන්දමට රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බව ත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු ‘මව්බිම’ ට පැවසීය.

සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙසට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇතත් එම අත්‍යවශ්‍ය සේවාවට අත්‍යවශ්‍ය බෙහෙත් නොමැතිවීම ජාතික අපරාධයක් බව පෙන්වා දෙන වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මෙම තත්ත්වය පිළිබඳ විසඳුම් සෙවීම සඳහා සාකච්ඡාවක් ලබා ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයා දුරකතන මගින් සම්බන්ධ කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබීම බරපතළ ප්‍රශ්නයක් බව ත් පැවසීය.

සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිසි කළමනාකරණයක් නොතිබීම සහ නිසි සැලකිල්ලක් මේ පිළිබඳව නොදැක්වීම හේතු වී ඇතැයි ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු අවධාරණය කළේ ය.

ඖෂධ හිඟය මධ්‍යයේ ඉන්ධන හිඟයක් නිර්මාණය වීම නිසා තත්ත්වය තවත් භයානක වී ඇතැයි ද මේ තත්ත්වය යටතේ ගිලන් රථ ධාවනයට මෙන් ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවාවන් සඳහා කැඳවා ගැනීමේ නොහැකියාවක් පවතින බැවින් මුරසේවා පවත්වා ගෙන යාම පවා අසීරු වී ඇතැයි ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසීය.

මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය උත්සන්න වීමට කලින් වහාම තාක්ෂණික කමිටුවක් පත් කර අවශ්‍ය කඩිනම් පියවර ගැනීමේ ඇති අවශ්‍යතාව සෞඛ්‍ය ලේකම්වරයාට පෙන්වාදුන් බව සඳහන් කළ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු තම සංගමය රෝහල් පද්ධතිය බිඳ වැටීම වැළැක්වීමට ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට නොගෙන සෞඛ්‍ය බලධාරීන් ඉබි ගමනින් යාම අද පවතින තත්ත්වයට හේතු වී ඇතැයි පෙන්වා දුන්නේ ය. 

රටේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කර රෝගී සත්කාර බාධාවකින් තොරව පවත්වාගෙන යාම මූලික මිනිස් අයිතිවාසිකමක් බැවින් ආණ්ඩුව ත් සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍යවරයා වගකීම සහ වගවීමෙන් බැහැරව කටයුතු කිරීම දැන්වත් නතර කළ යුතුව ඇතැයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු අවධාරණය කළේ ය.