වතුර ටැංකියේ තිබුණු සේනාල්ගෙ පුතාගේ හිස යාන්තමට දුටුවා

0
36

භූගත ජල ටැංකියට ඇද වැටී දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ හවුපේගෙවත්ත තල්ගම්පල ගාල්ල පදිංචිව සිටි මෙම කම්හලේ විධායක ශේ‍ර්ණියේ නිලධාරියකු වන උඩුබැට්ටව වැදිගේ සේනාල් දිනුෂ ගුණසේන (37) සහ ඔහුගේ පුතා වූ සිතුක විහස් ගුණසේන (08) නමැති දරුවෙකි.

මියගිය සිතුක විහත් ගුණසේන දරුවාගේ හදිසි මරණ පරීක්‍ෂණය ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්‍ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා කළ අතර පියා වන සේනාල් දිනුෂ ගුණසේන නමැත්තාගේ හදිසි මරණ  පරීක්‍ෂණය බටදුව හදිසි මරණ පරීක්‍ෂක එස්. එන්. විතානගේ මහත්මිය කරනු ලැබුවාය.

හදිසි මරණ පරීක්‍ෂණයේදී තවදුරටත් සාක්‍ෂි දෙමින් ප්‍රධාන මෙහෙයුම් කළමනාකාරවරයා මෙසේද කීවේය.

“මියගොස් සිටින්නේ මා වැඩ කරන ආයතනයේ සේවය කරන විධායක නිලධාරියකු වන සේනාල් හා ඔහුගේ පුතායි. මා මෙම ආයතනයට ඇවිත් වසර 11ක් වෙනවා. මා එනකොටත් සේනාල් මෙම ආයතනයේ සේවය කළා. අප්‍රේල් 08 වැනිදා සිට 18 වැනි දින දක්වා ආයතනයේ සේවක සේවිකාවන්ට නිවාඩු දීලා තිබුණේ. විධායක ශේ‍ර්ණියේ නිලධාරීන්ට පවරලා තිබුණා දිනකට දෙදෙනා බැගින් කම්හලට පැමිණ පරීක්‍ෂා කොට බලා වාර්තාවක් දෙන්න. ඒ අනුව සේනාල්ට හා ප්‍රභාත්ට මෙදින මෙම රාජකාරිය පැවරිලා තිබුණා. සේනාල් පුතාට කර්මාන්ත ශාලාව පෙන්වීමට පුතා සමඟ එදින පැමිණ තියෙනවා.

සාමාන්‍යයෙන් පොඩි ළමුන්ට කර්මාන්ත ශාලාව ඇතුළට යන්න දෙන්නේ නැහැ. නිවාඩු දිනයක් නිසා සහ සේනාල් විධායක ශේ‍ර්ණියේ නිලධාරියකු නිසා එම අවස්ථාව ආරක්‍ෂක අංශ මඟින් සේනාල්ට දී තිබුණා. එදින උදෑසන 10.25ට තමයි සේනාල් පුතා සමඟ කම්හල ඇතුළට ගිහින් තිබුණේ. නිවාඩු දිනයක් වුවත් වැඩ කරන අයට අවුරුදු තෑගි දීලා යන්න කම්හල තුළට ආවා. ආරක්‍ෂක අංශයෙන් මට කීවා සේනාල් මහත්තයා පුතා සමඟ කම්හල ඇතුළතට ගියා තවම ආවේ නැහැ කියලා. මා ආයතනයට එන විට 11.30ට විතර වුණා. මා ආරක්‍ෂක අංශයට කීවා සේනාල්ට දුරකථන ඇමතුමක් ගන්න කියලා. එවිට දුරකථනය ක්‍රියා විරහිත වෙලා තිබුණා.

මා ආරක්‍ෂක අංශයේ අයකු සමඟ කම්හලේ ඇතුළත රවුමක් ඇවිදලා බැලුවා. නමුත් සේනාල් හමුවුණේ නැහැ. මා ආරක්‍ෂක අංශයේ අයට කීවා සේනාල් පැමිණි පසු මට දුරකථන ඇමැතුමක් ලබාදෙන්න කියලා. මා කම්හලේ අනිකුත් අංශවලට ගියා. මට දුරකථන ඇමතුමක් ආවා මිල් ටැංකියෙන් හිසක් පේනවා කියලා. මා එම අවස්ථාවේම කම්හලට ආවා. ටැංකිය මැදට වන්නට සේනාල්ගේ පුතාගේ හිස යම්තමට පේන්න තිබුණා. මා ආරක්‍ෂක අංශයේ අයකු සමඟ එක්වී බෙල්ට් එකක් දමා ටැංකියේ අයිනට පුතාව ගත්තා. පසුව පුතාව ඔසවලා ගොඩට ගත්තා. මගේ වාහනයෙන් පුතා කරාපිටිය රෝහලට රැගෙන ගියා. ආරක්‍ෂක අංශයේ අයකු රෝහලේ නතර කරලා මා ඉක්මනට කම්හලට ගියා. සේනාල්ගේ මෘතදේහයත් ටැංකියේ ඇතුළේ තිබී ගොඩ අරගෙන තිබුණා.

මියගිය සේනාල් දිනුෂගේ බිරිය වන හවුපේ විතානගේ නයෝමි සමන් කුමාරි (36) තම දෙවැනි දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටි ගැබිනියකි. හදිසි මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් ඇය මෙසේ කීවාය.

“මා යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කරනවා. මියගොස් සිටින්නේ මගේ පුතා හා සැමියා. සැමියා ඩී. එස්. අයි. ආයතනයේ විධායක ශේ‍ර්ණියේ නිලධාරියකු ලෙස රැකියාව කළා. පුතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. තුන වසරට සමත් වෙලා හිටියේ. පුතා සැමියා සහ මම තමයි ගෙදර පදිංචි වෙලා හිටියේ. මහත්තයා වසර 15ක පමණ සිට මෙම ආයතනයේ වැඩ කරනවා. මහත්තයා උදේට රැකියාවට ගොස් හවසට ගෙදර එනවා.

මේ දිනවල මෙම ආයතනයේ සේවකයන්ට නිවාඩු ලබාදී තිබුණා. මහත්තයාට රාජකාරි දිනයක් නොවුවත් නිවාඩු කාලයේ එක් දිනකට දෙදෙනකු ආයතනයට පැමිණ ආයතනය පරීක්‍ෂා කොට වාර්තාවක් ලබාදීමට පැවැරී තිබුණා. ඒ අනුව මහත්තයා පුතා සමඟ මෙම ආයතනයට ගියා. වැඩ කරන දිනයක් නොවූ නිසා කර්මාන්තශාලාව පෙන්වීම සඳහා පුතා රැගෙන ගියා. යතුරුපැදියෙන් තමයි මහත්තයා පුතා සමඟ ගියේ. එදින දහවල් 12.00ට විතර මහත්තයාගේ මිතුරකු මට දුරකථන ඇමැතුමක් ලබාදීලා ඇසුවා මහත්තයාට කරදරයක්ද කියලා. මා කීවා දන්නේ නැහැ කියලා. ඊට පසු මං මහත්තයාගේ දුරකථනයට ඇමැතුම් කිහිපයක් ගත්තා. ඔහුගේ ජංගම දුරකථනය වැඩ කළේ නැහැ. පසුව මා මහත්තයාගේ මිතුරන්ට කතා කරලා මහත්තයා ගැන ඇසුවා. ඒ අය දන්නේ නැහැ කීවා. පසුව මා අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක් සමඟ කරාපිටි රෝහලට ගියා. මෙම ආයතනයේ වැඩ කරන අය රෝහලේ සිටියා. මහත්තයා හා පුතා වතුර ටැංකියක වැටී මියගොස් ඇති බව එහිදී දැන ගත්තා.”

පශ්චාත් මරණ පරීක්‍ෂණ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සහ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එම්. කේ. ඩයස් මහතා සිදු කරන ලදී. ඉදිරිපත්වූ සාක්‍ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ  පරීක්‍ෂකවරයා මෙය දියේ ගිලීමෙන් වූ මරණබවට තීන්දු කරනු ලැබීය. 

ගාල්ල – කමල් විජේහේවා