ලයිට් නැතිව සංඥා අක්‍රිය වෙලා තිබුණා මගේ මහත්තයයි පුතයි දුම්රියට බිලිවුණේ ඒ වෙලාවෙයි

0
23

අහුන්ගල්ල _ ඒ. සිවනෙත්ති

අප්‍රේල් 14 වැනිදා අවුරුදු චාරිත්‍ර ඉවර වූ සැණින්ම ඉ¾දුවර උදාන ගියේ ආච්චිලාගේ ගෙදරටයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නිසා පාඩම් කරන්න පොත් අරගෙන යෑමට ද අමතක කළේ නැත. එහෙත් ඉ¾දුවරට විභාගයට පෙනී සිටීමට බැරි වූයේ ඊට පෙර මරුවා පැමිණි හෙයිනි.

යහළුවන් සමඟ අවුරුද්දට සෙල්ලම් කිරීමට 16 වැනිදා ගෙදරට යෑමට ඉ¾දුවරට අවශ්‍ය විය. ගෙදරට ඇරලවීමට සීයා එනතුරු ඉන්නැයි ආච්චි කියද්දී එතෙක් සිටිය නොහැකි යැයි පවසා තාත්තාට දුරකථන ඇමතුමක් දී ගෙන්වාගෙන ඉ¾දුවර යතුරුපැදියෙන් මරුවාගේ තුරුලට පියා සමඟ ගියේ මවත් නංගිත් මල්ලිත් සදහටම තනි කරමින් බව මව වන ඉ¾දුරුවගේ සුරේකා ප්‍රියදර්ශී මහත්මිය (47) හැඬූ ක¾දුළෙන් පවසන්නීය.

මෙසේ මරු තුරුලට ගියේ බළපිටිය මොහොට්ටිවත්තේ පදිංචි විජේමුණි ප්‍රදීප් චම්පික ද සිල්වා (48) සහ විජේමුණි ඉ¾දුවර උදාන ද සිල්වා (16) පිය – පුතු දෙදෙනාය.

මේ පිළිබඳව මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේදී මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කේ. වගආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී සාක්ෂි දෙමින් ඉ¾දුරුවගේ සුරේකා ප්‍රියදර්ශී මහත්මිය මෙසේ ද කීවාය.

“මියගියේ මගේ ස්වාමිපුරුෂයා සහ වැඩිමහල් දරුවයි. පුරුෂයා රැකියාව වශයෙන් කළේ ධීවර රක්ෂාවයි. මියගිය පුතා බළපිටිය සිද්ධාර්ථ ජාතික පාසලේ 11 වැනි ශේ‍ර්ණියේ ඉගෙන ගත්තේ. දෙවැනි පුතා නව වැනි ශේ‍ර්ණියේ ඉගෙන ගන්නා අතර බාල දියණිය තුන්වැනි ශේ‍ර්ණියේ ඉගෙන ගන්නේ. ලොකු පුතා අවුරුදු චාරිත්‍ර ඉවර වූ සැණින්ම ගියේ මගේ අම්මයි තාත්තයි ළඟට. ආච්චිලාගේ ගෙදර යනවා කියලා ගියේ. බළපිටිය වැලිවත්තේ අම්මලා පදිංචි වෙලා ඉන්නේ. 

පුතා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නිසා පාඩම් කරන්න පොත් පවා අරගෙන ගියේ. 16 වැනිදා නැවත ගෙදර එන්න ඕනෑ කිව්වම අම්මා කියලා තිබෙනවා සීයා ගමනක් ගිහින් ඒ ආවම ඇරලවන්නම් කියලා තිබෙනවා. සීයා එන්න පරක්කු වෙනවා කියලා තාත්තට කෝල් එකක් දුන්නා ඇවිත් එක්කගෙන යන්න කියලා. තාත්තා ඒ වෙලාවෙ දවල් ‍ෙදාළහයි තිහට පමණ  මෝටර් බයිසිකලේ අරගෙන ගියා. බයිසිකලේ තෙල් තිබුණෙත් නැහැ. පාරට බයිසිකලේ තල්ලු කරගෙන ඇවිත් කඩේකින් තෙල් ගහගෙන ඇවිත් තිබෙන්නේ. 

පුතත් අරගෙන එද්දී මේ අනතුර වී තිබෙන්නේ. වවුනියාවේ ඉඳලා බෙලිඅත්ත දක්වා ගමන් කරන රජරට රැජන ශීඝ්‍රගාමී දුම්රියේ හැපී තිබෙන්නේ. ඒ වෙලාවෙ ලයිට් කපලා තිබෙන්නේ. දුම්රිය හරස් මාර්ගයේ අනතුරු දක්වන සංඥා හරි හැටි ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසයි මේ මරණය සිදුවුණේ.” 

බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි එස්.එම්.ඒ. තුෂාරි මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අතර අහුන්ගල්ල පොලිසියේ පොලිස් සැරයන් සත්සර ගුණසේකර මහතාගේ (62021) මෙහෙයවීම යටතේ මියගිය ප්‍රදීප් චම්පික මහතාගේ සොහොයුරෙක් වන විජේමුණි වසන්ත ද සිල්වා මහතා ද සාක්කි දුන්නේය.