මන්ත්‍රිවරු බිළිබාගන්න ආණ්ඩුව ලන්සු තබන්නේ ඩොලර්වලින්

0
20

නිර්මාණි ගුණරත්න

ආණ්ඩුවේ බලය තහවුරු කර ගැනීම උදෙසා මන්ත්‍රිවරු බිලිබා ගැනීමට ආණ්ඩුව ඩොලර් මිලියන දෙකකට ලංසු තබන්නේ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පවසයි.

මන්ත්‍රිවරයා මෙසේ කියා සිටියේ ඊයේ (17දා) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අද පාස්කු ඉරිදා දිනයයි. විශේෂයෙන්ම අද වන විට පේනවා ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අවුරුදු 2 1/2ක කාල සීමාව තුළ ඉතිහාසයේ කවදාකවත් නොවූ විරූ තත්ත්වයකට මේ රට පත්වෙලා තියෙනවා. අපිට පේනවා දැන් මාස 03කට වැඩි කාලයක් අද වන විට මේ රට ඉතාමත්ම ආර්ථික අර්බුදයකට හිරවෙලා තියෙනවා. මේ මාස තුනක් තිස්සේ ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු මේ කණ්ඩායමට බැරිවෙලා තියෙනවා ජනතාව අද මුහුණ දෙන මේ වර්තමාන තත්ත්වයට කිසිදු ආකාරයේ විසඳුම් සොයා ගන්න. මේ ප්‍රශ්න මේ ගැටලු එළියට එන්න පටන් ගත්තේ අපි සියලු දෙනාම දන්නවා මාස තුනකට වඩා වැඩි කාලයක් තිබුණා. එතකොට මාස තුනකට වඩා වැඩි කාලයක් අර්බුදය මතුවෙලා එළියට එනකොටත් ජනාධිපතිවරයා ඇතුළු ඒ කැබිනට් මණ්ඩලය, අගමැතිතුමා, මේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රි කණ්ඩායම ඒ සියලු දෙනාම අද වන විට අසමත් වෙලා තිබෙනවා මේ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවන් ටිකවත් විසඳගන්නට.

මේ උත්සව සමයේ අවුරුදු සමරන්න බැරුව ජනතාව පෝලිම්වල තියලා ජනතාවගේ අත්‍යවශ්‍ය වුවමනා ඉෂ්ට නොකර ඒ ජනතාව අවුරුදු දවසේත් අසරණ භාවයකට පත් කළ ආණ්ඩුවක් නම් මේ ඉතිහාසයේ තිබුණේ ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව කියන එක මතක තියා ගන්න. පේනවා නේද වැඩ කරන විරුවාව ගෙනල්ලා කරගත්ත දේ.

2019දී වැඩ කරන විරුවාව රට වටේ අරන් යනකොට අපි කිව්වා මෙයාට මේක කරන්න බැහැ කියලා. මෙයාට ආර්ථිකය ගැන දැනුමක් නැහැ, දේශපාලනය ගැන දැනුමක් නැහැ, මෙතුමා කිසිදු ආකාරයේ දේශපාලන තනතුරක් හොබවලා නැහැ. ඒ නිසා මෙවැනි පුද්ගලයෙක් පත් කිරීම තුළ අනිවාර්යයෙන්ම මේ රට අගාධයට පත්වෙනවා කියන එක. 2019 මැතිවරණ වේදිකාවල අපි පුන පුනා කිව්වා. එතකොට කට්ටිය අපිට හිනා වුණා. වැඩ කරන විරුවා කියලයි හැමකෙනාම හඳුන්වා දුන්නේ. අන්තිමට වැඩ කරන විරුවා ගෙනල්ලා අපිට මේ අවුරුදු උත්සව ටිකවත් සමරගන්න බැරි වුණා.

දැන් මොකද වෙලා තියෙන්නේ. වැඩ කරන විරුවා ආගිය අතක් නැහැ. ආණ්ඩුවත් නැහැ. කැබිනට් එකත් නැහැ. ඇමැතිවරුත් නැහැ. මේක නිකන් ආණ්ඩුවක් නැති රටක් බවට පත්වෙලා තිබෙනවා. මේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කිසිදු ආකාරයේ සංවේදීභාවයක් නැහැයි කියන එක හොඳට ඔප්පු කරලා තියෙනවා පසුගිය සති කිහිපය තුළ.

මේ ආණ්ඩුව අසමත්. මේ ආණ්ඩුවට මේක කරන්න බැහැ. ජනාධිපතිතුමාට මේක කරන්න බැහැ. ජනාධිපතිතුමා මේ පසුගිය අවුරුදු 2 1/2 ඔහු සනාථ කරලා තියෙනවා ඔහු අසමත් පාලකයෙක් බව. එතකොට අපි දැක්කා ඊයේ පෙරේදා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිතුමා අස්වෙනවා. සභාපතිතුමා නොවෙයි අස්වෙන්න ඕන මේ සියලු දේවල්වලට වගකියන්න ඕන ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා තනතුරින් ඉල්ලා අස්වෙන්න ඕන. ඔහු තමයි මේකේ මූලික වගකීම් දරන්න ඕන පළවැනි විත්තිකාරයා. මේ රට මෙතැනට ඇදලා දැම්මේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ඇතුළු ඒ කණ්ඩායම. ඒ නිසා සභාපතිවරු අස්වෙලා වැඩක් නැහැ. සභාපතිවරු ගෙදර ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. අපි යෝජනා කරනවා ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්න ඕන.

මේ රටේ තරුණ ප්‍රජාව නැඟිටලා ඇවිල්ලා තියෙනවා. රට පුරාම ජනතාව එක හ¾ඩින් කියනවා Gota Go Home කියලා. අපි කියනවා ජනාධිපතිතුමාට ඒ ජනතාවගේ හඬට කන්දෙන්න. ඒ ජනතාවගේ බලාපොරොත්තුවට කන්දෙන්න. ඔබතුමාව එදා බලයට ගේන්න වැඩ කරපු කලාකරුවෝ වෙන්න පුළුවන්. වෘත්තීය සමිති වෙන්න පුළුවන්, මේ රටේ ඉන්න ප්‍රධාන සිවිල් ක්‍රියාකාරීන් වෙන්න පුළුවන්. අද ඒ සියලු දෙනාම ගෝල්ෆේස් එකට ගිහිල්ලා සමාව අයදිනවා ඔබතුමාට වැඩ කරපු එකට. ඒ නිසා අද ඔබතුමා තේරුම් ගන්න මේ රටේ සමස්ත ජනතාවම ඉන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි කියන කාරණාව හා මේ ආණ්ඩුව අද ගෙදර යා යුතුයි කියන එක තමයි මේ රටේ සමස්ත ජනතාවගේම පණිවුඩය වෙලා තියෙන්නේ.

මේ තිබෙන ජනතා නැඟිටීම මර්දනය කරන්න ආණ්ඩුව උත්සාහ කළොත් ඊට ලැබෙන ප්‍රතිඵලය හා ඊට ලැබෙන උත්තරය මීට වඩා භයානක වෙන්න පුළුවන් කියලා අපි මේ ආණ්ඩුවට කියන්න කැමැතියි.

ඒ වගේම අපට පේනවා ආණ්ඩුව තමන්ගේ බලය තහවුරු කර ගන්න පාර්ලිමේන්තුවේ 113 තහවුරු කරගන්න අද ආණ්ඩුවේ ඉන්න යම් යම් ප්‍රධාන උදවිය විශාල මෙහෙයුමක් දියත් කරලා තියෙනවා. අපි දන්නවා ඒ මෙහෙයුම දියත් කරන්නේ ඔවුන්ට වරප්‍රසාද ලබා දෙන්න. ඉස්සර නම් රුපියල්වලින් තමයි ඒ වරප්‍රසාද ගියේ. දැන් අපිට ලැබෙන තොරතුරු තමා රුපියල්වලින් නොවෙයි කියලා. මොකද රුපියලේ වටිනාකම එන්න එන්න අඩුවෙන නිසා ඩොලර් මිලියන දෙකකට දැන් ආණ්ඩුව ලංසු තියලා තිබෙනවා. ආණ්ඩුවේ බලය තහවුරු කරගන්න මන්ත්‍රිවරු බිළිබාගන්න.

මොකද ඔය ආණ්ඩුවේ නායකයෝ ළඟ ඕන තරම් ඩොලර් තියෙනවා කියලා මුළු රටම දන්නවා.

ආණ්ඩුව බලයට ආවේ පාස්කුදා ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලනවා මේකේ පිටිපස්සේ ඉන්න කිසිම කෙනෙක්ට බේරිලා යන්න දෙන්නේ නැහැ කියලා. අපිට පේනවා ආණ්ඩුව බලයට ආව දවසේ ඉඳන් මේ ක්‍රියාදාමය තුළ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන කවුරුවත් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ආණ්ඩුව බලයට ආවේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරය විකුණමින් ඒ උඩින් තමයි ආවේ කියන එක අපි සියලු දෙනාම දන්න කාරණාවක්.