මනසේ ලෙඩ දුරු කරන හිත හොඳ ආණ්ඩව

0
25

පසුගිය ආණ්ඩුව සමයේ මෙරට වැසියා තමන්ගේ ජීවිතය නැති වීමටත් වඩා බිය වූයේ වඳවීමටය. ඒ දිනවල නිතරම සමාජ මාධ්‍යවල සැරිසැරුවේ වඳ කොත්තු ගැන, වඳ කිරි ගැන කතාය. මේ වාගේ අවුරුදු ළං වෙද්දී ඉස්සරනම්, නිතරම දකින්නට තිබුණේ රෙදිකඩවලින් හිටිහැටියේ මතුවන වඳ යට ඇ¾දුම්ය. නමුත් මේ ආණ්ඩුව බලයට පැමිණිදා පටන් වඳ ඇඳුම්, වඳ කිරි, වඳ කොත්තු ආදිය දූරිං භූත වී ගියේය. ආණ්ඩුවට පින් සිදු වන්නට ජනතාවගේ වඳ ෆෝබියාවද දැන් නැත. කොහොමටත් මේ දිනවල කොත්තුවක් කෑමට, කිරි එකක් බීමට කනකර පවා උකස් කරන්නට වන නිසා මිනිසුන් නිකමටවත් ඒවා ගැන සිතන්නේද නැත. 

එසේම මෙරට ජනතාවට අනෙක් ජාතීන් කෙරෙහි අහේතුක බියක් තිබිණි. හැමවිටෙම අනෙක් ජනවර්ගය හා අනෙක් ආගමික කණ්ඩායම තමන්ට කෙළවීමට බලන් ඉන්නවා යැයි සැක කරමින් සිටි මෙරට ජනතාව දැන් එම සැකය දුරු කරගෙන ඇත. අපව විනාශ කරන්නේ අනෙක් ජන වර්ගය හෝ ආගමිකයා නොව වසර 74ක් තිස්සේ අපව පාලනය කරන පාලක පිරිස බව ජනතාව දැන් තේරුම් ගනිමින් සිටී. සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි, බෝර්න් අගේන්, නිරාගමික සියල්ලෝම දැන් එකාවන්ව පාලකයන්ට විරුද්ධව නැඟී සිටිති. ඉතින් ඒ වෙනුවෙන් ආණ්ඩුවට විශේෂයෙන්ම ස්තූතිය පළ කළ යුතුය.  

මීට අමතරව පූජ්‍ය යන වචනයවත් සුදුසු නැති සමහර ආගමික පූජකයන්ට රැවටෙමින් ඔවුන් පසුපස ගිය ජනතාවගේ, ආගමික රැවටීමේ මානසික රෝගයද දැන් සුවවෙමින් පවතී. ඉස්සරනම් අන්‍යාගමිකයකු හෝ අන්‍ය ජනවාර්ගිකයකු හයියෙන් අෑනුමක් ඇරියත්, ඊට විරුද්ධව සංවිධාන අටවාගෙන පාරට ආ ආගමික පූජකයන් දැන් දකින්නටවත් නැත. ජාතියවාදය, ආගම්වාදය අවුස්සමින් ජනතාව අතර ගැටුම් ඇතිකිරීමට උරදුන් පූජකයෝ දැන් නිහඬය. පාලකයන්ට විරුද්ධව දැන් ජනතාව හඬනඟද්දී, පූජකයන්ට මෛත්‍රියත් උපේක්ෂාවත් මතක් වී ඇත. ජාතිය, ආගම යන වචන දෙක ඇසුණු සැණින් එවැනි අවස්ථාවාදී පූජකයන්ට රැවටී ඔවුන් පසුපස යෑමේ මානසික රෝගය වැලඳී තිබූ අති බහුතරයකට මේ වෙද්දී ඒ රෝගය සුවවෙමින් තිබීම වත්මන් රජය යටතේ සිදුවී ඉතාම වටිනා මෙහෙවරකි. 

නමුත් ඔය සියල්ලටම වඩා වැදගත් මානසික රෝගයකින් මේ දිනවල ජනතාව යථා තත්ත්වයට පත්වෙමින් ඇත. එනම්, රණවිරුගායයි. මෙතරම් කාලයක් ආරක්ෂක අංශවල් සාමාජිකයන්ව දේවත්වයෙන් අදහමින් සිටි, මෙරට ජනතාව දැන් දැන් යථා තත්ත්වය වටහා ගනිමින් සිටී. ආරක්ෂක අංශ සිටින්නේ පාලකයන්ගේ අණ ක්‍රියාත්මක කිරීමට බවත්, පාලකයන් අණ කළහොත් ඔවුන්ට තුවක්කුව උතුරට පමණක් නොව දකුණටත් එල්ල කළ හැකි බවත් දැන් ජනතාව තේරුම් ගෙන ඇත. නමුත් ඛේදවාචකය වන්නේ තුවක්කු කට තමා වෙත එල්ල වන තුරුත්, බැටන් පොල්ල තම හිස මත පතිතවන තුරුත් එය අවබෝධ කර ගැනීමට මෙරට ජනතාව අපොහොසත් වීමයි. 

මීට අමතරව දිනපතා රටට විහිළු සැපයීමෙන්ද මේ ආණ්ඩුව ජනතාවගේ මානසික සෞඛ්‍ය ඉහළ දැමීමට කළ සේවය අමතක කළ නොහැකිය. නමුත් දැන් විහිළු ඉස්මුරුත්තාවට පැමිණ ඇති බැවින්, ජනතාව විහිළු අතහැර දමා සීරියස් වන්නට පටන් ගෙන ඇත. 

නමුත් වැදගත්ම කරුණ වන්නේ මේ මොහොතේ ජනතාවගේ අවදිවීම නොව, ඒ අවදිවීම තවත් කොපමණ කාලයක් පවතීවිද යන්නයි. මේ අවදිවීම මේ මොහොතට පමණක් සීමා විය යුත්තක් නොවේ. මේ අවදිවීම පාරට බැසීමකට හෝ උද්ඝෝෂණයක් පැවැත්වීමට පමණක් සීමා විය යුත්තක්ද නොවේ. මින් ඉදිරියට පත්වන හැම පාලකයකුම ඉදිරියේත්, හැම ආණ්ඩුවක්ම ඉදිරියේත් මෙම අවදිවීම පැවැතිය යුතුය. මින් ඉදිරියට එළැඹෙන ජනාධිපතිවරණ, මහ මැතිවරණ ආදී හැම මැතිවරණයකදීමත් ජනතාවගේ මේ අවදිවීම පැවැතිය යුතුය. අවදියෙන් ගොස් සිහිළු බුද්ධියෙන් යුතුව තම මනාපය පළ කළ යුතුය. එසේ නොවුණහොත් තව අවුරුදු කිහිපයකින් අපට නැවතත් මුහුණ දෙන්නට සිදුවන්නේ මෙවන්ම වූ තත්ත්වයකටය. 

අප අරගල කළ යුත්තේ පාලකයා වෙනස් කිරීමට හෝ ආණ්ඩුව වෙනස් කිරීමට පමණක් නොවේ. මෙතරම් කාලයක් තිස්සේ මේ රට වසාගෙන පැවැති දූෂිත දේශපාලන සංස්කෘතියටද අප තිත තැබිය යුතු කාලය පැමිණ ඇත. ටකරම් කෑල්ලකට, වැසකිළි පෝච්චියකට, එසේත් නැතිනම් රජයේ රැකියාවක හිලව්වට තමන්ගේ වටිනා ඡන්දය හුවමාරු කරගත් යුගය අප අවසන් කළ යුතුය. සර්වජන ඡන්ද බලය යනු තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් භාවිත කරන්නක් නොව සමස්ත රටක අනාගතයක් තීරණය කරන සාධකයක් බව අප නැවත මතක් කරගත යුතුව ඇත. ඒ කිසිවක් නොමැතිව රැල්ලට පාරට බැස විරෝධය දක්වනවා නම්, එකය හුදු ගෝරියක් මිස රට වෙනස් කරන අරගලයක් වන්නේ නැත. 

මක්නිසාද යත් අපට අරගල ජයග්‍රහණය කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් පමණක්ම වන බැවිනි. ප්‍රචණ්ඩත්වය හෝ කඩාකප්පල්කාරී ක්‍රියා මඟින් දිනූ සටනක් හෝ ගොඩනැඟූ රටක් නැත. ප්‍රචණ්ඩත්වය මඟින් කිසිවකුට දිනුමක් ලැබෙන්නේ නැත. සිය පාර්ශ්වයන්ට ලැබෙන්නේ පරාජයක්ම පමණි. ඒ නිසා අප අරගල කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිටට අඩි නොතබාය. පොදු දේපළ විනාශ නොකරමින්ය. රටේ ජනතාවට හිංසාවක් පීඩාවක් නොකරමින්ය. හදවතට වඩා මොළයට මුල්තැන දෙමින්ය. හැඟීම් වෙනුවට බුද්ධිය භාවිත කරමින්ය. අරගලය සැබෑ අරගලයක් වන්නේ එවිටය. 

මෙයින් මතුව එළඹෙන සෑම මැතිවරණයකදීම බුද්ධිමත්ව සහ හෘද සාක්ෂියට එකඟව ඔබේ ඡන්දය භාවිත කරන්න. ඔබේ මිතුරකුට හෝ පවුලේ සාමාජිකයකුට ඒ බව අමතක වුණොත්, ඔවුන්ට එය සිහිපත් කර දෙන්න. තමාගේ ඡන්දයේ වටිනාකමත්, එය නිවැරදිව භාවිත කරන ආකාරයත් ඔබේ දරුවන්ට කියා දෙන්න. මෙතෙක් කාලයක් ඔබේ වැඩිහිටි පරම්පරාවත්, ඔබත් නැවත නැවතත් කළ වරද යළිත් සිදුවීමට ඉඩ නොතබන්න. මේ මොහොතේ ඔබ තුළ ඇතිවී තිබෙන දේශපාලන අවදිවීම කිසිදාක වියැකී යෑමට ඉඩ නොදෙන්න.

සචින්ත ප්‍රමෝද් නාඔටුන්න