මතක අස්සේ හිරවෙලා මැරි මැරි උපදින්න එපා

0
132

ඇත්තටම අපිට මිනිස්සුන්ව සදාකල් අමතක වීමක් සිදුවෙන්නෙ නැහැ. සිද්ධවෙන දේ නම් ඒ අදාළ අය, ඊට අදාළ මතක ක්‍රමයෙන් කාලයත් සමඟ යටි සිත තුළ එනම් අවිඥානය තුළ තැන්පත් වීමයි. ඒ කියන්නෙ බැලූ බැල්මට Access කරන්න පුළුවන් තරම් තොරතුරු ප්‍රමාණයක් පේන්න නොතිබුණාට යම් ආයාසයකින් කල්පනා කළොත්, නැත්නම් ඒ අතීතය, ඒ පුද්ගලයන්ට අදාළ දේවල් දැකීමෙන්, ඇසීමෙන් යටි හිත තුළ තැන්පත් වුණු මතක උඩු සිතට එනම් සවිඥානයට ගන්න පුළුවන්.

අවිඥානය (Unconscious)  තුළ පවතින්නේ අතීතයේ යම් කාලයක් සවිඥානය (Conscious) තුළ තිබුණු භයානක මතක, යම් දරාගත නොහැකි සිදුවීම්, කාංසාවන් ආදී දේවල්. ඒවා අපේ මනස විසින්ම අවිඥානය තුළ තැන්පත් කරන්නේ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයක් (Defence Mechanism)  විදියටයි. මොකද, ඒ සියල්ල අපට දැනෙන මට්ටමේ එනම් උඩු සිත (සවිඥානය) තුළ පැවැතීම මනසට හානිදායක වන නිසා. ඒ වගේම එහි අනෙක් පැත්ත නම් කාලයත් සමඟ යම් අලුත් දේවල් මනසට ලබාදීමත් සමඟ නිරායාසයෙන්ම පරණ මතක අවිඥානය (යටි සිත) තුළ තැන්පත් වීම සිදුවෙනවා. එය සිදුවෙන්නේ, පෙර කී ක්‍රියාවලිය හා සමාන අනෙක් ආරක්ෂාකාරී පියවර ලෙසයි. ඒ අපේ මනසට ගබඩා කරගත හැකි තොරතුරු සීමිත නිසා. ඊට හේතුව මතක සියල්ල උඩු හිත තුළ පැවැතීමෙන් මනස දැඩි විඩාවකට නැත්නම් පීඩනයකට ලක්වන නිසා.

Breakup එකක් වූ අලුත, එම මතක නැවුම් නිසා ඒ සියල්ල උඩු සිත තුළ තමයි තිබෙන්නෙ. ඒ කියන්නෙ හැඟීම්, දැනීම්, වේදනාවන් එනම් චිත්තවේගයන් ඇති කරවන්න පුළුවන් මට්ටම. ඒ නිසා තමයි සියලු වේදනාවන් සහ ඊට අදාළ ප්‍රතික්‍රියාවන් සඳහා තමන් යොමු වෙන්නේ.

සරලවම Relationship එකක් පටන් ගන්න තැන, Breakup එකක් සිද්ධ වීම. මේ සියල්ල මත තෘප්තිමත් වීම, සියල්ල වේදනාවක් වීම යනාදී සියල්ල මම මුලින් කිව්ව සවිඥානික, අවිඥානික ක්‍රියාවලිය සහ මේ දක්වා කතා කළ මනසෙහි ගමන් කිරීම හා සම්බන්ධයි.

මේ හැමදේම මනස තුළ සිදුවෙන දේවල්. පැහැදිලි වෙන්න ඉතාම සරල විදියට කිව්වත්, මේ ක්‍රියාවලිය ගොඩක් ගැඹුරු දෙයක්.

ඔයාට කොපමණ වැදගත් කෙනෙක් වුවත් ‍යම් විදියකින් ඔයාගෙ හිතට ක්ෂණිකව එය අදාළ නොවන දෙයක් බවට පත් වුණොත්, ඔයාට ඒකෙන් දැනෙන වේදනාව අඩුයි. නමුත් මිනිස්සුන්ට පහසුවෙන් එහෙම වෙන්නෙ නැහැ.

ඇත්තටම සිද්ධ වෙන්නේ ඔයාගෙ සිත සාමාන්‍යයෙන් ඒ නැති වූ දේ ගැන ඕනෑවට වඩා වද වෙන නිසා (Addiction)  ඔයාටත් වේදනාවක් දැනීමයි. නමුත් කලින් පැවැසූ විදියට අපිට වෙන ඕනෑම සිද්ධියක් පිළිබඳව සිත මේ විදියට ගනන් ගත්තෙ නැත්නම් අපිට මොන දේ නැති වුණත් වේදනාවක් නැහැ නේද ?

සමහර විට මාස ගණන් අවුරුදු ගණන් තිබුණු බැඳීම් වෙන්න පුළුවන්. නමුත් අවසන් වුණු සැණින් ඒ කෙනාට වේදනාවක් නැහැ. මෙවැනි තත්ත්වයක් මනුෂ්‍යයෙක්ට ඇති වන්නේ බොහොම කලාතුරකින්.

අදාළ කෙනා එක්ක හුරුවන සිතේ සැලැස්ම, ඒ කෙනා නැති වූ සැණින් බලන්නේම ඒ කෙනාව නැවත ගෙන්නාගෙන අර සැලැස්ම තුළ ඔයාව දිගටම ආරක්ෂා කරන්න. නමුත් වෙනස් වෙන මිනිස්සු එක්ක සිතට කොපමණ අවශ්‍ය වුවත් ඒ දේ සිද්ධ කරන්න පුළුවන්ද? අන්න ඒ නිසා අපිත් අවශ්‍ය අවස්ථාවෙදි වෙනස්වන කෙනෙක් විය යුතුයි. ඒකට දැන් සිටි සැලැස්ම තුළ සිටිමින් වෙනම සැලැස්මකට මනස හුරු කරන්න අවශ්‍යයි. ඒ සඳහා කාලයක් ගත වෙනවා.  සරලවම උඩු හිත තුළ ඇති මතක යටි හිත තුළ තැන්පත් කිරීම. ඒ නිසයි බැඳීමක් අවසන් කළ පසු එයින් මානසිකව ඉවත් වෙන්න අවශ්‍ය වටපිටාව සකස් කළත්, Breakup Pain එක අඩු වෙන්න කල්ගත වෙන්නේ.

ඒ නිසයි Breakup එකකින් පසුව

– මතක ඉවත් කරන්න.

– වෙන අය එක්ක සිද්ධිය කතා කරන එක නවත්වන්න.

– අලුත් දේවල්, වෙනස් දේවල් කරන්න.

– අලුත් මිනිස්සුන්ව ඇසුරු කරන්න වගේ දෙවල් කියන්නෙ.. 

එමඟින්,

1. සවිඥානික (Conscious) කරුණු නැවත යාවත්කාලීන නොවීමත් 

2. සවිඥානික මතක අවිඥානික (Unconscious)  කිරීමට අවශ්‍ය කාලය, වටපිටාව සහ නව තොරතුරු මනසට ලබාදීමත් සිද්ධවනවා.

නැත්නම් සිදුවෙන්න අර මතකවල හිරවෙලා දීර්ඝ කාලයක් මැරි මැරී උපදින්න. එලෙස දුක් විඳින මිනිස්සු කොපමණ සිටිනවාද.

අපේ ජීවිත කාලය තුළ නොදන්නවා වුවත් මේ වගෙ අපි ලොකුවට කනගාටු වෙන සමහර සිද්ධි එක පාරට එක වෙලාවක ගාණක් නැති දෙයක් බවට පත් වෙනවා. සමහර වෙලාවට නිදාගෙන නැඟිටින විට අර කලින් තිබූ පසුතැවීම නැහැ. එහෙම අත්දැකීම ඔයාටත් ඇති. ආදරයේදී මේ දේ මෙහෙම සිදුවෙන්නෙ නැහැ. ඇබ්බැහිවීමක් සමඟ එය සිද්ධ වෙන නිසා.

ඉතින් මෙහි සාරාංශය තමයි මනස තුළ ක්‍රියාත්මක වෙන එක Process එකක් පොඩ්ඩක් එහෙ මෙහෙ වූ ගමන් අපිට කොපමණ වැදගත් දෙයක් වුවත් වැදගත් නැති වෙලා යනවා, දැනෙන්නෙ නැති වෙලා යනවා. සමහර තැන්වලදී මේ Process එක අපිම වෙනස් කරගන්න ඕනෑ. ඒකට යම් කාලයක් යන්න පුළුවන්. මිනිස්සු සිත, හදවත කියලා වචන පාවිච්චි කළත් මේ ඔක්කොම මොළය විසින් සිදුකරන දේවල්. මොළය තුළ තිබෙන එක Process එකක් හරියට වැඩකරන නිසා තමයි අපිට මේ දුක ඇති වෙන්නෙ. වෙන් වෙන්න බැරි වෙන්නේ.

සිතන්න, අපේ සිත අපිට පාලනය කරන්න බැරිකොට වෙන කෙනෙක්ගෙ සිතක් අපේ වෙන්න කියල සිතනවා නම්. ඒක හරියට මේ විශ්වයේ අනන්තයක් හොයනවා වගේ අනුවණ ක්‍රියාවක්. මොන ආකාරයක බැඳීමක් තුළ සිටියත් එය ඕනෑම මොහොතක ඉවත් වී යා හැකි බව අවබෝධ කරගෙන තමන්ගේ දියුණුවට, සෞඛ්‍යයට, හැකියාවන්ට මුල් තැනදී කටයුතු කිරීමයි සිදුකළ යුතු වන්නේ.

සමහර වෙලාවට වෙනස් වෙන කෙනා දන්නෙත් නැහැ ඇයි එයා මෙහෙම වෙන්නෙ කියලා. ඒ වෙලාවට මොනාවා හරි සිතට එන දෙයක් කියන එක තමයි සිදු කරන්නෙ. ආදරය කරද්දී සිදුවන අනපේක්ෂිත සිදුවීම්වල යම් තැන් එහෙම තේරුම් ගන්න යනවා කියන්නේ නිෂ්ඵල දෙයක්. ඒ මනුෂ්‍යයා වෙනස් වෙන්නෙ කොතැනද ඒ වෙනස්වීම දැනෙන්න සිදු වෙනවා නම්, එතැනින් අයින් වෙන එක, ඒ කියන්නේ සිත පුහුණු කරලා පාලනයෙන් සිටින එක අනාගතයට වටිනවා. මොකද තමන්ට තමන්ගෙම ගමනක් තිබෙන නිසා සහ ඒක ජීවිත කාලයටම වටින නිසා.

බැඳීම්වලින් පීඩාවට පත්වීම සැමදාම සිදුවෙන දෙයක්. මේකෙ අතුරු ප්‍රතිඵල බහුලයි. මේ ලිපිවල  මූලික අරමුණ බැඳීම්වලින් පීඩාවට පත්වූ අයට අවශ්‍ය පොදු උපදේශනයක් ලබාදීම සහ මනස සම්පූර්ණ සුව කරමින් ඇබ්බැහිවීමෙන් ඉවත් කිරීම, විස සහිත බැඳීම්වලින් ඉවත්වීම ඒ වගේම සාර්ථකව බැඳීම් පවත්වාගෙන යෑම ආදී කරුණු ඔබ වෙත සතිපතා ගෙන ඒමයි..

Relationship } Breakupවලට අදාළ ලිපි ගණනාවක්ම මා විසින් පළ කරලා තිබෙනවා. ඒ වගේම ඉදිරියටත් මේ පිළිබඳ විවිධ කෝණයන් ඔස්සේ විග්‍රහ කරමින් ලිපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් ඔයාගෙ Special Situation එකට ප්‍රායෝගිකව ගළපලා බලන්න පුළුවන්.

නන්දිමාල් එදිරිසූරිය

මනෝ උපදේශක

(Relationship | Breakup)