පාරට වැටුණු අපේ ජීවිත

0
28

පාරට බසින්නට යැයි තමන්ගේ චිත්තාභ්‍යන්තරයෙන්ම පොලඹවනසුලු හැඟීමක් ලංකාවේ බහුතර මිනිස් ප්‍රජාවගේ සිත් සතන් තුළ දලුලන බවක් පෙනෙන්නට තිබේ. පසුගිය අවුරුදු පහක – හයක කාලයේ මෙරට තුළ පැනනැඟු‍ණු ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් අස්ථාවර භාවය හමුවේ එය රැල්ලක් සේ නැඟී ආවද අප තේරුම් ගත යුතු කරුණ නම් ගතවුණු දශක හත අටක කාලය තුළම අප පාරට වැටී සිටි බවයි. අපට ඉන්න හිටින්නට නිසි තැනක් නොවීය. එබැවින් විවිධ තාවකාලික නවාතැන්වල අපි ජීවිතය ගත කළෙමු. අපට ගමන් කරන්නට නිසි පාරක් තොටක් නොතිබිණ.  මාර්ගය දෙපස සවිකොට තිබුණු මාර්ග සංඥාද නිසි පරිදි ක්‍රියා කළ ඒවා නොවිණි. එබැවින් ප්‍රධාන මාර්ගයෙන් බැහැරව අපි විවිධ අතුරු මාර්ගයන් දිගේ ගමන් කළෙමු. අපිට ආශ්‍රය කරන්නට, දැනමුතුකම් ගන්නට සුදුසු අසල්වැසියෙක් සිටියේ නැත. එබැවින් අපි විවිධ මතිමතාන්තර දරන අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වීමු. බහුතරයක් වූ ආගමික සංස්ථාවන්ද නිසි දැක්මකින් යුක්ත වූ ඒවා නොවිණි. එබැවින් අපගේ ආධ්‍යාත්මික දිවියද වියවුල් සහගත විය. අර්බුදය පටන්ගත්තේ එතැනිනි.

විවිධ දෙස් – විදෙස් බලවේග විසින් අපගේ සම්පත් අපටත් නොදැනීම කොල්ලකන විට, අපි දිනෙන් දින දරිද්‍රතාවට ගොදුරු වීමු. නායකයන් විසින් ඒ සඳහා හ¾දුන්වා දුන් විකල්පය වෙළෙඳකලාප ක්‍රමයයි. ඒත් සමඟම කාර්මීකරණය නමැති සංකල්පය ලොව පුරා පැතිර යන්නට විය. සුවහසක් ග්‍රාමීය හා නාගරික තරුණ ප්‍රජාව පාරම්පරික කෘෂිකර්මාන්තයෙන් මිදී මාසික වැටුප් ලබන ඇඟලුම් කර්මාන්තය හා අනෙකුත් ක්‍ෂේත්‍රයන්හි රැකියාවන්ට ගොනු වන්නට විය. ඔවුන්ගේ ජීවිත ක්ෂුද්‍ර භාවයට පත්වන්නට පටන්ගත්තේ එතැන් සිටය. සුවහසක් තරුණ තරුණියන්ගේ ජීවිත කම්හලටත් බිත්ති හතරකින් යුතු බෝඩිම් කාමරයටත් කොටුවන්නට විය. පාරම්පරික කෘෂිකර්මාන්තය සමඟ ලංකාවේ මිනිස් ප්‍රජාව තුළ නිර්මාණය වූ සාමූහිකත්වය, දැනුම, රසවින්දනය, මානුෂීයත්වය හා ඉගෙනුම් ක්‍රියාවලිය අභාවයට යන්නට වූ අතර මෙම තරුණ තරුණියන් ඇතුළු ලංකාවේ බහුතර තරුණ ප්‍රජාව අතර ප්‍රචලිත වුණු ගීත ඔවුන්ගේම ජීවන තත්ත්වයන් කියාපාන කැඩපත් බ¾දුය.

“‍මුළු දවසම වැඩ කරලා නිවාඩුවක් හම්බ වුණා

හිතේ සතුට කියාගන්න බෑ

අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ”‍

“බෝතලේ…. මගෙ බෝතලේ

නුඹ නොවෙ‍ෙදා් මගෙ පපුවේ ගිනි නිව්වේ”‍

නිවාඩුව යනු ක්‍ෂේම භූමියක් තරමට හිතට දැනෙන, හැඟෙන අංගයක් බවට පත්වූයේ මිනිස් ජීවිත අධික කාර්යබහුලත්වයට ගොදුරු වීමත් සමඟය. එවන් තරුණ ප්‍රජාවකට ඉන් එහා පුළුල් සංස්කෘතිකමය ජීවිතයක් ගැන හිතන්නට කාලයක් කොයින්ද? ලංකාවේ මත්පැන් මේ තරම් ජනප්‍රිය පානයක් බවට පත්වූයේ මේ කාර්යබහුල ජීවන රටාවත් සමඟය. නිවාඩුවක් ලද විගස මධුවිතක් තොල ගා බජව්වක් දැමිය යුතුය යන සංකල්පය තරුණ ප්‍රජාව අතර පැතිර යන්නට විය. ගැටලුවක් පැන නැංග විගස විස¾දුම පසෙක තබා එය අමතක කරන්නට මධුවිතක් ගත යුතුය යනුවෙන් හැඟීමක් තරුණ සිත් තුළ නිරායාසයෙන්ම ඇතිවන්නට විය. එවන් පරපුරකට පුළුල් සංස්කෘතිකමය ජීවිතයක් ගැන හිතන්නට ඉඩක් කොයින්ද? අප නොදැනුවත්වම විවිධ බලාධිකාරීන්ගේ වහල් සේවකයන් බවට පත් විය.

මේ සඳහා ධනේශ්වරයේ බලපෑමද ලැබෙන්නට ඇත. ස්වාර්ථය මත පදනම් වන, මිල මත සියලු දේ තීරණය වන ධනේශ්වර ක්‍රමය තුළ අදහස් ප්‍රකාශ කරන්නට යෑමේදී ලෝක නායකයන් පවා ප්‍රවේසම් වූ හැටි පුදුමසහගතය. ඇමෙරිකාව තුළ වහල් භාවය මුලිනුපුටා දැමීමේ ගරුත්වය හිමි වන්නේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාටය. ඔහුගේ පළමු සමාරම්භක දේශනයේ වාක්‍යයක් මෙසේය.

“‍රාජ්‍යය පුරා දැන් පැතිරී ඇති වහල් නීතියට සෘජුවම හෝ අනියම්ව බාධා කිරීමට මගේ අදහසක් නැත. එසේ කිරීමට මට නීතිමය අයිතියක් නැති බව මම විශ්වාස කරමි. එසේ කිරීමට මාගේ මනාපයක් නැත.”‍

මේ වහල් වෙළෙඳාම මුලිනුපුටා දැමීමේ වගකීම කරට ගත් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ දැක්වූ අදහස්ය. තවදුරටත් ඔහුගේ ලිපියක සඳහන් වී තිබුණේ මෙවැනි අදහසකි.

“‍මේ සටනේදී මගේ ප්‍රබලම අරමුණ වන්නේ වහල් භාවය රැකගැනීම හෝ විනාශ කිරීම නොව සංගමය රැකගැනීමයි. කිසිදු වහලෙකු නිදහස් නොකර, සංගමය රැකගත හැකි නම්, මම එය කරමි. එය රැකගැනීමට සියලු‍ වහලු‍න් නිදහස් කළ යුතු නම්, මම එයද කරමි. වහලු‍න් සමහරක් නිදහස් කර, සමහරක් හුදෙකලාව තබා සංගමය රැකගත හැකි නම්, මම එයද කරන්නෙමි. වහලු‍න් සහ කළු ජාතිකයන් වෙනුවෙන් මම යමක් කරන්නේද එය කරමි. මන්ද, සංගමය රැකගැනීමට එය උපකාරී වනු ඇතැයි මා විශ්වාස කරන බැවිනි.”‍

මේ ලින්කන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ කළ අදහස්ය. නමුත් ඔහු සංගමය රැකගත හොත් වහල් භාවය පැතිරීම වළක්වා ගත හැකි වනු ඇතැයිද, නියම කාලයේදී එය ස්වාභාවිකවම මරණයට පත්වේ යැයිද හෘදය අභ්‍යන්තරයෙන් විශ්වාස කළේය. එසේම සංගමය විනාශයට පත්වූයේ නම් සියවස් ගණනාවක්ම වහල් භාවය එ’බිම මත පවතිනු ඇත. ඒ ශේෂ්ඨ නායකයෙක් ධනේශ්වර ආර්ථික ක්‍රමය තුළ සිය මානුෂීය අරගලය දියත් කිරීමේදී අනුගමනය කළ උපායන්ය. මෙරට ජනතාවද වහල් භාවයෙන් මිදීමේ අරගලයට මුල් පියවර තැබීමේ තැතක් ගන්නා අයුරු පෙනෙන්නට තිබේ. අගනුවර ආශ්‍රිත මිරිහාන ප්‍රදේශයෙන් සැලකිය යුතු පොදුජන නැඟිටීමක් දකින්නට ලැබුණි. අප මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණ නම්, සියලු ක්‍රියාමාර්ග ගත යුත්තේ අප මෙතෙක් ආපස්සට ගමන් කළ මේ වැරදි ගමන වෙනස් කිරීම සඳහාය. මිලේච්ඡත්වය, විනය කඩකිරීම්, ප්‍රචණ්ඩත්වය ආදිය පිටුදකිමින් පුළුල් දැක්මකින් යුතු සංස්කෘතික මිනිසා නිර්මාණය කිරීමේ වගකීම මේ මොහොතේ අප සියලුදෙනා සාමූහිකත්වත් තනි තනිවවත් ගත යුතුය. සාහිත්‍යය, නිර්මාණශීලීභාවය, සෞන්දර්යාත්මක බව, මානුෂවාදී බව සියලුම සාමූහික ක්‍රියාකාරකම් සමඟ මුසුකරගත යුතුය. එම අරගලය ජය ගත් දිනෙක අපි අපේක්ෂා කරන සෞභාග්‍යමත් දේශය නිර්මාණය කිරීමට හැකි වනු ඇත.

මධුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය