තරුණයන්ගේ ගාලුමුව‍ෙදාර අරගලය දැවැන්ත මහජන අරගලයක් කරා ගෙනයන්න අපි සූදානම්

0
33

අනුරාධා හේරත්

ගාලුමුව‍ෙදාර කේන්ද්‍ර කර ගනිමින් දියත් වන ජන අරගලයට දේශපාලන නායකත්වයක් නැති වුවහොත් එය ක්‍රමානුකූලව දියකළ හැකි බවත් ඒ  නිසා රටේ අරගලය පොදු ජනයාගේ ජයග්‍රහණයකින් කෙරවළ කිරීමේ වගකීමක් අපට තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්  ටිල්වින් සිල්වා පැවැසීය. 

ඔහු මෙසේද කීය.

“මේ ජනතා අරගලයට මේ වන විට කලාකරුවන්, නීතිඥ වරුන්, වෘත්තිකයන් ප්‍රමුඛ සමාජයේ සියලුම ක්ෂේත්‍රවල ප්‍රවීණයන් එකතු වී ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරනවා. මේ ජනතා ඉල්ලීමට ඇහුම්කන් නොදී ආණ්ඩුව මුරණ්ඩු ලෙස විවිධ උපක්‍රම පාවිච්චි කරමින් තවදුරටත් බලයේ ඉන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ මේක අතරමඟ නතර කරන්න පුළුවන් අරගලයක් නොවෙයි කියලා. ආණ්ඩුවට තිබෙන එකම උත්තරය ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන එක විතරයි.

හැබැයි විවිධ ආකාරයෙන්  අරගලය මොට කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ජාතිවාදය පාවිච්චි කරලා අරගලයේ පෙනුම වෙනස් කරන්න කුලියට වැඩ කරන ජාතිවාදී කණ්ඩායම්, ආගමික කණ්ඩායම් පාවිච්චි කරනවා. මේ අරගලයේ තිබෙන විචිත්‍ර අලංකාරවත් බව වෙනස් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ සඳහාවත් පිරිසක් සොයා ගන්න බැරිව අසාර්ථක වෙන බව අපි දකිනවා. අනෙක් පැත්තෙන් අගමැතිවරයා කළ කතාව ඇතුළේ ජනතාව බිය වද්දන්න උත්සාහයක් තිබෙනවා. තව පැත්තකින් හති වැටිලා මේ අරගලය නවතී කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ අරගලය ගැන එහෙම අවතක්සේරු කරන්න එපා කියලා අපි ඉතා පැහැදිලිව කියනවා. මේ අරගලය තුළ විවිධ කණ්ඩායම් ඉන්නවා වගේම මේ අරගලය ජයග්‍රහණය කරා ගෙනයෑමට අවශ්‍ය දැනුම, හැකියාව, අත්දැකීම්, සංවිධාන ශක්තිය තිබෙන ජාතික ජන බලවේගයේ අපි ඉන්නවා.  

අරගල කරන තරුණ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්න ලැහැස්ති බව ජනාධිපතිවරයා මාධ්‍යයට කියා තිබුණා. අරගලය නොසලකා යන්න, බිය වද්දන්න, අවලාද නඟන්න, ජාතිවාදය පටලවන්න ආදී වශයෙන් අසාර්ථක උත්සාහයන් දරා දැන් ලැහැස්ති වන්නේ සාකච්ඡා කරන්න. අපි අවධාරණය කරන්නේ අරගලයේ යෙදිලා ඉන්න කිසිවකුත් සමඟ ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරන්න දෙයක් නැහැ. අරගලයේ ඉල්ලීම ප්‍රසිද්ධියේ කියලා තිබෙන්නේ. ගෝඨා ගෙදර යන්න, ආණ්ඩුවෙන් අයින් වෙන්න, හැත්තෑ හතර වසරක සාපය නිමා කරමු යන බලකිරීම් කරලා තිබෙන්නේ. ඒ නිසා සාකච්ඡා කරනවා කියලා සටන දුර්වල කරන්න, බෙදන්න කරන උත්සාහය හරියන්නේ නැහැ. මේ සටන් බිමේ ඉන්නේ ඔයගොල්ලන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඉන්න අය වගේ අය නොවෙයි. මේ සටන් බිමේ ඉන්නේ අවංක, කැපකිරීම් කරන, පෞද්ගලිකව කිසිවක් තමන්ට බලාපොරොත්තු නොවන පිරිසක්. ඒ නිසා තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අයව බිළි බාගන්නවා වගේ වරදාන දීලා බිළි බාගන්න බැහැ. ඒ නිසා එක්කෝ මේ ආණ්ඩුව අයින් වෙන්න  ඕනෑ. නැත්නම් එළවන තුරු පෙරට යන්න ඕනෑ.  

තාමත් මේ අරගලය ගැන ආණ්ඩුවට තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් තේරෙන්නේ නෑ වගේ ඉන්නවා. මේක සරල අරගලයක් නොවෙයි. රට පුරාම පාරට බැහැලා ආණ්ඩුවට ඉවත් වෙන්න කියන, දවස් ගණනක් ගෝල් ෆේස් එකේ එක දිගට අරගල කරන හැමෝම ජනාධිපති හෝ ආණ්ඩුව ගෙදර යන ලෙස මුලින්ම ඉල්ලුවේ නැහැ. ඔවුන් මුලින්ම පාරට බැස්සේ අයිතිවාසිකම් ඉල්ලලා. ඒ නිසා මේ සටන ඉදිරියට ආවේ ආණ්ඩුව දැවැන්ත පොරොන්දු ප්‍රමාණයක් දීලා බලයට පත්වී පොරොන්දු කඩ කළ නිසයි. මේ ආණ්ඩුව හදන්න විශාල වශයෙන් දායක වුණු, ඡන්දය දුන්නු, විශාල පිරිසක් සටනට එකතු වී ඉන්නවා. ජනතාව පාවා දුන් නිසා ආණ්ඩුවට එරෙහිව ඇති වුණු සටනක් මේක. ජනතාවගේ මූලික අවශ්‍යතා ටික සපයන්නවත් ආණ්ඩුවට නොහැකි වුණා. මුලින්ම පාරට බැස්ස ගොවි ජනතාව පොහොර ඉල්ලුවා. ඊට පස්සේ කිරිපිටි, ගෑස්, තෙල් ඉල්ලුවා. ඒ කිසිම දෙයකට ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැහැ. ආණ්ඩුව කීවේ ලයිට් කපන්නේ නෑ, තෙල් ඇති තරම් තියෙනවා වැනි විහිළු කතා. 

රෝහල්වල අත්‍යවශ්‍ය ඔෟෂධ විශාල හිඟයක් තිබෙන බව වෛද්‍යවරුන් කියන විට කිසිම බෙහෙත් හිඟයක් නැහැ කියලා ආණ්ඩුව නිවේදන දානවා. අවසානයේ ආණ්ඩුව එළවන්න ඕනෑ කියලා ජනතාව පාරට බහින තැනට පත් කළා. තමන්ගේ අයිතීන් ඉල්ලලා, අයිතීන් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වන විට, මෙතරම් අර්බුද තිබියදී මහජන මුදල් නාස්ති කරන ආණ්ඩුවක් වැඩක් නැහැ කියලයි ජනතාව පාරට බැස්සේ. නාස්ති කිරීම් විශාල වශයෙන් සිදුකරන අරාජික ආණ්ඩුවක් එළවන්නයි ජනතාව පාරට බැස්සේ. අහිංසාවාදී, මානවවාදී, ප්‍රජාතන්ත්‍රවාදී මේ සටන දැවැන්ත මහජන අරගලයක් කරා ගෙනයන්න අපි ලැහැස්තියි. 

ජාතික ජන බලවේගයේ අපි මේ සටනට නව ජවයක් දෙන්න තීරණය කර තිබෙනවා. ඒ  නිසා මේ මාසයේ 17, 18, 19 දවස් තුනේ දැවැන්ත පාගමනක් යොදාගෙන තිබෙනවා. මේ පාගමන සංවිධානය කරන්නේ ජාතික ජන බලවේගය වුණත් මහජනතාව විසින් ප්‍රාර්ථනා කරන අවසාන ඉලක්කය කරා යන අරගලයේ කොටසක් මේක. ඒ නිසා හැමදෙනාම පක්ෂ, පාට භේදයකින් තොරව අවංකව දායක වෙන්න කැමැති හැමදෙනාටම අපි ආරාධනා කරනවා. 

ජාතික ජන බලවේගයේ ජාතික කමිටු සාමාජික, නීතිඥ හර්ෂණ නානායක්කාර

ජාතික ජන බලවේගය වශයෙන් වසර ගණනාවක් කියූ දේ අද රටක් පිළිඅරගෙන තිබීම ගැන අපිට සන්තෝෂයි. තනියම ප්‍රශ්න විසඳන්න බැහැ. ජනතාවත් කොටසක් භාරගන්න ඕනෑ බව අපි දිගටම කීවා. ජනතාව අද සටන ඒගොල්ලන්ගේ අතට රැගෙන තිබීම විශාල සතුටක්, ආඩම්බරයක්. ගෝඨා ගෙදර යන්න, හොරකම් කරපුවා ආපහු දීලා යන්න ආදී සටන් පාඨ යම් කාලයක අපි තනිවම කියපු  ඒවා. රටට ඇත්තටම ආදරේ මිනිස්සු දැන් එළියට ඇවිල්ලා.

 ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය

ජනතාවත් ආණ්ඩුවත් අතර විශාල පරතරයක් මේ වෙනවිටත් නිර්මාණය වී තිබෙනවා. 

මේ මොහොතේ දියත් කර තිබෙන ජනතා අරගලය ආරම්භ වීම, වර්ධන වීම, ඒ ඉල්ලීම් මොනවාද? ඉන්නේ කවුද? වැනි කරුණු ගැන බුද්ධිමත් අධ්‍යයනයක යෙදුණා නම් ජනතාව ඉන්න තැන ආණ්ඩුවට තේරුම් ගන්න පුළුවන්. දිනෙන් දින වෙනස් වෙමින් දිනෙන් දියුණු වන අරගලයක් තිබෙන්නේ.  

ජනතාව ආණ්ඩුවට උගන්වන මේ බැරෑරුම් දේශපාලන පාඩම හරිය ඉගෙන ගත යුතුයි.