මුලතිව් – ශෂිකුමාර්
රුපියල් මිලියන 45කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 150ක් සැකකරුවන් තිදෙනෙක් සමඟින් යාපනය ඩෙල්ෆ් මුහුදු ප්රදේශයේදී නාවික හමුදාව විසින් 13 දින අත්අඩංගුවට ගනු ලැබීය.
උතුරු මැද නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් ඩෙල්ෆ් මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්රාවක් පරීක්ෂාවට ලක් වූ අවස්ථාවේදී එම ඩිංගි යාත්රාවේ තිබූ ගෝණි කිහිපයක් මුහුදට දමා පලායෑමට උත්සාහ දරා ඇත.
අනතුරුව නාවික නිලධාරීන් විසින් අදාළ යාත්රාව ලුහුබැඳ ගොස් එහි සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව මුහුදට දමන ලද ගෝණි 4ක් සොයාගන්නා ලදී.
අදාළ ගෝණි පරීක්ෂා කර බැලීමේදී පාර්සල් 68ක කේරළ ගංජා කිලෝ 150ක ප්රමාණය තිබී සොයාගනු ලැබූ අතර සැකකරුවන් සහ ඩිංගි යාත්රාවද අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම කේරළ ගංජා තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට යාපනයට ගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇතැයිද නාවික හමුදාව සැක පළකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 49 යන වයසේ පසුවන මන්නාරම සහ පේසාලේ ප්රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් සමඟ කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානයට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.