කි.මී. 1 1/2ක් එළවාගෙන ගිහින් මාල හොරා අල්ලයි

0
22

පල්ලේබැද්ද – සිසිර පීල්ලදෙණිය

කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන පලාගිය පුද්ගලයකු පසුපස කිලෝමීටර් එකහමාරක පමණ දුරක් හඹාගොස් එම රන් මාලය සමඟ සැකකරු ගොඩකවෙල, කොස්නාතොට ප්‍රදේශයේදී ඉකුත් 15දා සැකපිට අත්අඩංගුවට ගත් බව ගොඩකවෙල පොලිසිය කීය.

එදින එම කාන්තාව කහවත්ත ප්‍රදේශයේ තම මවගේ නිවෙසේ සිට ගොඩකවෙල, මැද්දේගම පිහිටි තම නිවෙස වෙත පැමිණෙමින් සිටියදී එම මංකොල්ලය සිදුවී ඇති බව පොලිසිය සඳහන් කළේය.

එම කාන්තාව කහවත්ත ප්‍රදේශයේ සිට බස් රථයකින් ගොඩකවෙල නගරයට පැමිණ ගොඩකවෙල පොලිසිය ඉදිරිපිට ඇති බස් නැවතුම්පොළ අසලින් බස් රථයෙන් බැස මැද්දේගම මාර්ගයට පිවිසෙමින් සිට ඇත. ඒ සමඟම සැකකරු එම කාන්තාව අසලට පැමිණ ඇය ගෙල බැඳි රන් මාලය කඩාගෙන ඇතැයි පොලිසිය පැවැසීය.

එම අවස්ථාවේ කාන්තාව මහ හ¾ඩින් කෑගසා ඇති අතර එම හඬ ඇසී පොලිස් නිලධාරීන් කීපදෙනකු වහා එම ස්ථානයට දුවගිය බව පොලිසිය පැවැසීය.

සිවිල් පොලිස් නිලධාරීන් එනු දුටු කොල්ලකරු සිය ගමන් මාර්ගය වෙනස් කරමින් ඒ අසලින් ගලා යන ‍ෙදාඹකොළඇල්ල ඇළට පැන පලායෑමට උත්සාහ කිරීමත් සමඟ ඒ අසල සිටි අසල්වාසීන් පිරිසක්ද පොලිසියේ සහායට පැමිණ කොල්ලකරු පසුපස එම ඇළ දිගේ කිලෝමීටර් එකහමාරක පමණ දුරක් හඹා ගොස් කොස්නාතොට ප්‍රදේශයේදී අල්ලා ගත් බව පොලිසිය කීය.

එම සැකකාර කොල්ලකරුගේ සහායට යතුරුපැදිකරුවන් කීපදෙනකු පැමිණ ඇති නමුත් ප්‍රදේශවාසීන් හා පොලිසියේ මැදිහත්වීම හේතුවෙන් සැකකරුට යතුරුපැදියකට ගොඩවීමට අවස්ථාව නොවූ නිසා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පැවැසීය.

පලාගිය අනෙක් කොල්ලකරුවන් පිරිස හඳුනාගෙන ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරු උඩවලව, කොළඹගේආර ප්‍රදේශයේ පදිංචි තිස්හැවිරිදි වියේ පසුවන්නෙක් බවද පොලිසිය සඳහන් කළේය. කොල්ලකෑ රන් මාලයේ වටිනාකම රුපියල් ලක්‍ෂයකට අධික බව පැමිණිලිකාරිය තම පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන් බවද පොලිසිය කියයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර ගොඩකවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.එන්.ආර්. විජේසිරි මහතාගේ උපදෙස් මත එහි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ. රස්මේන්ද්‍ර, පොලිස් සැරයන්වරුන් වන ලක්‍ෂ්මන් (42866), අයි.ආර්. පුෂ්පකුමාර (28587), සේනාරත්න (38841), පොලිස් කොස්තාපල්වරුන් වන ඉන්දික (71478), තේමිය (68042) යන නිලධාරීහු මෙහෙයුමට සම්බන්ධ වූහ.