කරන්දෙණියේ ගමක ජනතාවගේ ජල ගැටලුව විසඳූ සරසවි දරුවෝ

0
25

වැලිවිටිය දිවිතුර – උපුල් මහේෂ්

කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දිවියගහවෙල ගම්මානයේ පවුල් 45කට අධික පිරිසක් අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ ජල ගැටලුවෙන් පීඩාවට පත්ව උන්හ. ජලය සොයා කිලෝමීටර් ගණනාවක් ගමන් කරන්නට ඔවුන්ට වී තිබිණි. බලධාරීන් හා නිලධාරීන්ට කෙතෙක් ඇවිටිලි කළද ඔවුන්ට විසඳුමක් නොලැබිණි. මේ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ සිසුන් පිරිසකට දැන ගැනීමට ලැබිණි. ඒ අනුව කණ්ඩායම් නායිකා හරිනි හෙට්ටිආරච්චි ඇතුළු පිරිස මේ පිළිබඳව සොයා බැලීම සඳහා කරන්දෙණිය, දිවියගහවෙල ගම්මානය වෙත පැමිණියාය. 

ගම්වැසියන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව භුගත නළ ළිඳක් ඉදිකර ස්වයංක්‍රිය ජල පිරවුම් පද්ධතියක් මඟින් ජල සැපයුම් ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ප්‍රදේශයේ උස් බිමක ජල ටැංකියක් ඉදිකිරීමට තීරණය කෙරිණි. අභියෝගය වූයේ මේ සඳහා ඇස්තමේන්තුව වූ ලක්‍ෂ 07කට ආසන්න මුදලක් සොයා ගැනීමයි. ටිකට්පත් අලෙවි කිරීම සිය මවුපියන් මෙන්ම හිතවතුන්ගේ මූල්‍යමය දායකත්වය සේම විවිධ අනුග්‍රාහක ආයතනවල දායකත්වය ලබාගැනීමට සිසුවෝ කටයුතු කළහ. මෙම කණ්ඩායමට ඒ.සී.සී.ඒ. ආයතනයෙන් සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලැබිණි.

සරසවි සිසුන්ගේ කැපවීම හා උනන්දුව සේම ගම්වැසියන්ගේ එකමුතුකම නිසා ජල ව්‍යාපෘතියේ සියලු වැඩ අවසන් කර සිංහල අලුත් අවුරුද්ද උදාවීමට දින කීපයකට පෙර මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරිණි.

භූගත නළ ළිඳක්, අධිබල මෝටරයක් සහිත ස්වයංක්‍රිය ජල පිරවුම් පද්ධතියක් හා ගම්මානයේ උස් බිමක ලීටර් 2,000ක ධාරිතාවෙන් යුතු ජල ටැංකියක්ද ඉදිකර ඇත. දිවියගහවෙල ගම්මානයේ අහිංසක ගම්වැසියන්ගේ අඩසිය වසක ජල ගැටලුව නිමා විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ මෙම ව්‍යාපෘතියේ සභාපති හරිනි හෙට්ටිආරච්චි ප්‍රමුඛ විසුල හරීන්ද්‍ර, තෂ්මිණි අනුරාධා, සවින්දි ලියනගේ, හිරුනි රසනිකා, ලක්‍ෂාන් ගාල්ලගේ යන සිසු සිසුවියෝ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහ. මෙහි සම්බන්ධීකරණය කළේ ‘මව්බිම’ ප්‍රාදේශීය වාර්තාකරු උපුල් මහේෂ් ද සිල්වාය.