අපේ සාමාන්‍ය දැනුම විෂය වටින්නෙ ‘ලක්ෂපති’ වැඩසටහන්වලට පමණයි

0
30

මෙහි පළමු කොටස 

පසුගිය සතියේ පළවිය.

පසුගිය සතියේ අප සාකච්ඡා කළ කරුණු දෙස බලන විට අපට පෙනේන්නේ අපගේ අධ්‍යාපන ක්‍රමය සපුරාම වෙනස් විය යුතු යන කාරණය නොවේද? අද අප ජීවත්වන සමාජ තුළ මතුවන සමාජ අවශ්‍යතාවන් මොනවාද යන්න තේරුම් ගෙන එකී අවශ්‍යතාවන්ට අනුව අප බිහි කරන්නේ මෙවැනි පුරවැසියෙක් යන දේ පදනම් කරගෙන අපගේ අධ්‍යාපනය වර්තමානයේ සකස් විය යුතුය.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරන පුද්ගලයාට මේ මට්ටමින් සිතන්න පුළුවන්. ඔහු හෝ ඇය සමාජයේ මේ මේ කොටස් දැන හඳුනාගෙන තියෙන්න ඕනෙ.”  යනුවෙන් අපි අර්ථකථනයකට පිවිසිය යුතු වෙමු. අන්න ඒ අර්ථකථනය සාක්ෂාත් කරගත හැකි පරිදි විෂය මාලාව, ගුරුවරයා, ඉගැන්වීමේ ක්‍රමය කෙසේ විය යුතුද කියා සකස් කරගෙන ගියහොත් අපේ අධ්‍යාපන ක්‍රමය සාර්ථක වනු ඇත. එලෙසම උසස් පෙළ, විශ්වවිද්‍යාලය ආදී අධ්‍යාපන කඩයිම්වල අවසාන නිෂ්පාදනය දෙස බලා අපගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට යායුතු නොවේද?

අධ්‍යාපනය සහ ධ්‍යාපනය යන සංකල්පය ගැනද විටින් විට මාධ්‍ය මඟින් කරුණු දක්වනවා දක්නට ලැබේ. එය හාස්‍යජනක කරුණකි. දීඝනිකායේ අඥ්ඥ සූත්‍රයේදී බුදු හාමුදුරුවෝ විසින් ජායක, අජායක කියා වචන දෙකක් භාවිත කරති. ඡායක යනුවෙන් අර්ථවත් වන්නේ, ඒ කාලයේ සිටි බමුණන් කෙලෙස් බහා තැබීම පිණිස වනගත වී ධ්‍යාන භාවනා කිරීමයි. ධ්‍යාන භාවනා කළ අය ජ්‍යායකයෝ බවට පත්වූහ. කාලයක් ගතවූ පසු මෙසේ භාවනා කළ අය එය අත හැර නගරබද ප්‍රදේශවලට සංක්‍රමණය වී ඉගැන්වීම් වැනි කටයුතුවල නිරත වූහ. ඔවුන් අතින් ධ්‍යානය වැඩීම අතහැරුණු නිසා අජ්‍යායක නම් වූහ.

වර්තමානයේ භාවිත වන අධ්‍යාපනය කියන වචනය ඊට සම්බන්ධ යැයි අධ්‍යාපනය සහ ධ්‍යාපනය යන වචන අර්ථගන්වන අය වැරදි අවබෝධයක පසුවෙති. එම නිසා ඔවුන් සිතන්නේ අධ්‍යාපනය සහ ධ්‍යාපනය යන වචන දෙක දෙකක් කියාය. එහෙත් ඇත්තටම අපට එසේ ගත නොහැකිය.

මන්ද, අපගේ අධ්‍යාපනය කියන වචනය ධ්‍යාපන කියන වචනයට ඉදිරියෙන් ‘අ’ යන්න යොදා සාදාගත් වචනයක් නොවේ. එහි මුලට ඇත්තේ ‘අයි’ කියන උපසර්ගයයි. එම නිසා ‘අ’ යන්න පමණක් වෙන් කළ නොහැකිය. වෙන් කරනවා නම් ‘අයි’ යන උපසර්ගයට වෙන් කළ යුතුය. අධ්‍යාපනය කියන වචනය සෑදෙන්නේ අයි-පූර්ව+ ඊ යන ධාතුවෙන් අධ්‍යාපනය යන්න සෑදෙන්නේ. සංස්කෘත භාෂාවේ ගමනාර්ථයේ ධාතු සෑම එකක්ම පාහේ ගමනාර්ථයට අයත් වේ. ඊ ධාතුවක් වැටෙන්නේ අවබෝධතාර්ථයටය. 

ඒ අනුව අධ්‍යාපනය යන්නෙන් අදහස් කරන්නේ. උගන්වනවා යන දෙයටය. එම නිසා අඥ්ඥසූත්‍රයේ ඡාය අජ්ජභය වචනවලට අධ්‍යාපනය යන වචනය සම්බන්ධ වන්නේ නැත.

දීර්ඝකාලීන බෞද්ධ පදනමක් මත අපේ රට හැඩගැසුණ නිසා බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදයක් සකසා ගත හැකිද හෝ නොහැකිද කියා අයෙක් කියන්නටද යෝජනා කරන්නටද බැරි නැත. එම නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කිරීමේදී ඒ ගැනද අවධානය යොමු කළාට කම් නැත.

බෞද්ධ යන වචනය ලංකාව ඇතුළෙ කියවාගත හැකි ක්‍රම දෙකක් වේ. සිංහල – බෞද්ධ අන්තවාදී කියන කෝණය තුළ සිට බෞද්ධ යන වචනය අර්ථගන්වා ගත හැකිය. එවැනි අන්තවාදී තැනක සිට අප බෞද්ධ යන්න කියවා ගත හොත් ඒ හරහා බෞද්ධ අධ්‍යාපනය යන්න ගොඩනඟන්න උත්සාහ කරන්නෙ, සිංහල බෞද්ධ යන සංස්කෘතියට ආවේණික එවැනි ලක්ෂණ එක්කාසු කරගත්ත අධ්‍යාපන ක්‍රමයක්. අන්‍යාගාමික්යන්ට ඉන් බරපතළ අසාධාරණයක් සිද්ධ වේ. වෙනත් ආගමක් අදහන, වෙනත් සංස්කෘතියකින් පැවැතගෙන එන ළමයකුට එබඳු අධ්‍යාපනයක් ලබාදිය නොහැකිය.

එසේ නම්, අරාබිය වැනි මුස්ලිම් රටවල් දැඩි සේ ඔවුන්ගේ ආගමට පමණක් සලකන්නට උගන්වන්නේ කෙසේද කියා කෙනෙක් මෙතැනදී ප්‍රශ්න කළ හැකිය. එය බරපතළ වැරැදි දෘෂ්ඨියකි. මන්ද, කවුරු හෝ කෙනෙක් වැරදි දෙයක් කරනවා බලා අපට එම වැරදි වැඩේම කළ යුතුද? තව කෙනෙක් කරන දෙයක් කරන්න නොබැඳි මිනිසුන් කියා අප මුලින්ම තේරුම් ගත යුතු නොවේද?

එම නිසා සිංහල බෞද්ධ කියන තැනක සිට අධ්‍යාපන ප්‍රතිස්සංකරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉන් සිදුවන්නේ රට තුළ වියවුල් තත්ත්වයක් ඇතිවීම පමණි. එසේම අනෙක් ආගම්වලින්, අනෙක් සංස්කෘතිවලින් අපට විරුද්ධව විශාල කැරැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකිය.

එහෙත්, එහි තවත් දශාවක්ද වේ. එනම් බෞද්ධ කියන දෙය විශ්වීය තැනක සිට අර්ථකථනය කරගැනීමයි. එක ප්‍රදේශයකට සීමා නොවී බුදුන් වහන්සේ නම් පුද්ගලයා දේශනා කළ දර්ශනය ගෙන එහි පොදු ගුණාංගත් සමඟ අපට අධ්‍යාපනය කියන සංකල්පය ගොඩනැඟිය හැකිය. එසේ කළ හැකි වුණොත් සියලු ආගමිකයන්ට එකඟවිය හැකි පොදු අධ්‍යාපන රටාවක් ගොඩනඟා ගත හැකිය. බෞද්ධ අධ්‍යාපනය කියා අප ගොඩනඟා ගැනීමට උත්සාහ කරන්නේ එවැනි දෙයක් නම් එහි වරදක්, ගැටලුවක් නොපෙනේ.

එහෙත්, මෙතැනදීත් තව විශාල ප්‍රායෝගික ප්‍රශ්නයක් මතුවේ. ලංකාව කියන්නේ බෞද්ධ රටක් කියා අප සිතුවොත් එහි ඉතිහාසය අවුරුදු 2000ට වඩා පැරැණිය. 

අප රටේ බෞද්ධයන්ගෙන් 51%ක් වන අවම බහුතරයවත් පන්සිල් රකිනවා කියා අපට සහතිකයක් ලබාදිය හැකි නොවේ. ඉදින් වසර 2000ට වඩා බෞද්ධ ඉතිහාසයක් ඇති රටකින් අප ලබාගෙන තියෙන දේ මොනවාද? අවුරුදු 2000ක් තිස්සේ මෙරට බෞද්ධ අධ්‍යාපනයක් නොතිබුණේද? ඒ කාලය පුරාම මෙරට හාමුදුරුවරු බණ දේශනා කර හැකිද? එවැනි තත්ත්වයක් තුළ පන්සිල් රකින අවම බහුතරයක්වත් සොයා ගැනීමට නොහැකි වූවා නම්, බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් සාදාගත් පමණින් මෙරට සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් බිහිවෙතැයි අප සිතන්නේ කෙසේද? එම නිසා බෞද්ධ අධ්‍යාපන මූලධර්ම මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකරන පමණින්ම අපගේ අධ්‍යාපනය සාර්ථක වන්නේ නෑ. එය ප්‍රමාණවත් වන්නේද නැත.

එසේ නම් අප රටේ අධ්‍යාපනය කෙසේ ප්‍රතිසංස්කරණය විය යුතුද යන්න බරපතළ ලෙස විමසිය යුතු වෙමු. හය වසරේ සිටම දරුවකුට ප්‍රශ්න කරමින්, ප්‍රශ්න අසමින් ඉගෙන ගැනීමට හැකි නම්, අලුත් චින්තනයක් සමඟ පරණ දේවල් ප්‍රශ්න කරමින් ඉදිරියට යෑමට උත්සාහ කරන දරු පරපුරක්, චින්තන පරපුරක් හදාගන්න පුළුවන් වේ. 

උසස් පෙළ විභාගයට සාමාන්‍ය දැනුම සහ අභියෝගතාව කියා ප්‍රශ්න පත්‍රයක් ලැබේ. එහි ප්‍රමාණවත් උපයෝගිතාවක් අපට නොපෙනේ. ලක්ෂපති වගේ තරගයකට සහභාගි වී තෑගි දිනා ගන්නවා වගේ දෙයක් හැරුණු කොට සාමාන්‍ය දැනුමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? එවැනි ප්‍රයෝජනක් ඇත්තේම නැත. මේ තොරතුරු දැනීම කියන කාරණය විශිෂ්ට පුද්ගලයෙක් සම්බන්ධයෙන් වැදගත් වන්නේ නැත.

සත්‍ය ලෙසම ලෝකය ඉල්ලා සිටින්නේ විවිධ විෂයයන් සම්බන්ධ ප්‍රවීණයන් මිස, සෑම දෙයක් පිළිබඳවම ටික ටික දන්නා කෙනෙක් නොවේය. එවැනි අයට අද ලෝකයේ ඉල්ලුමක් ඇත්තේ නැත. 

මන්ද එවැනි කෙනකුට අලුතෙන් සිතන්නට හෝ අලුතෙන් දෙයක් නිර්මාණය කරන්නට නොහැකිය. එකම දෙයක් පිළිබඳ ගැඹුරින් හදාරා පුළුල් දැනුමක් ඇති කෙනෙක් ඒ විෂය පරාසයේ සියලුම අඩුපාඩුකම්, සියලුම විවරයක් හොඳින්ම දනිති.

ඉතින් අපගේ උසස් පෙළ දරුවන්ට සාමාන්‍ය දැනීම කියන ප්‍රශ්න පත්‍රය වෙනුවට විචාර පූර්වක චින්තනය (Critical Thinking) කියන දෙය උගන්වා තිබුණා නම්, ඔහුට එක් පැත්තකින් භෞතික විද්‍යාව හෝ ආර්ථික විද්‍යාව ගැන හෝ දැනුමක් ලැබෙන විටම අනෙක් පැත්තෙන් විචාර පූර්වක චින්තනය ගැන දැනුමක් ලැබෙන විට තමන් ඉගෙන ගන්නා විෂය ප්‍රශ්න කළ යුත්තේ කොතැනට කියා  ඔහු හෝ ඇය හොඳින් දනී. එසේ ඔවුන් ගොඩනඟන තර්කය, ඉදිරිපත් කරන ප්‍රශ්නය අලුත් භෞතික විද්‍යා සිද්ධාන්තයක් හෝ ආර්ථික විද්‍යා සිද්ධාන්තයක් සහිත දරුවෙක් බිහි කරන තැනකට එම අධ්‍යාපනය ගෙන යෑමට ඉඩ තිබේ. නමුත් අද එය සිදු නොවේ.

මෙකී හිඩැස පාසලේ හය වසරේ සිට විශ්වවිද්‍යාලය දක්වාම පුරවන්නට හැකි නම්, දැනට තිබෙන අධ්‍යාපන ක්‍රමය හොඳටම ප්‍රමාණවත්ය.

විචාර පූර්වක අධ්‍යාපනය හෙවත් ප්‍රශ්න කරමින් ඉගෙන ගන්නා අධ්‍යාපනය තුළ සමාජයේ ඇති හර පද්ධතීන් ප්‍රශ්න කිරීමට ලක්වීමටද බැරි නැතැයි කියා යමකුට හිතන්නට පුළුවන. එහෙත්, ඒ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නොවේය. මන්ද, ආගම් හෝ වේවා, සංස්කෘතීන් හෝ වේවා තිබෙන්නේ මිනිසුන් උදෙසා මිස, මිනිසුන් ජීවත්වන්නේ ආගම් හෝ සංස්කෘතීන් උදෙසා නොවේ. ඒ තත්ත්වය අප මූලිකවම තේරුම් ගත යුතුය. යම් සංස්කෘතියක් හෝ ආගමක් මිනිසාගේ පැවැත්මට අහිතකර නම් එම ආගමික ඉගැන්වීම හෝ සංස්කෘතික අංගය වෙනස් විය යුතුය. 

මන්ද මිනිසාගේ පැවැත්මට තර්ජනයක් වන දේ පවත්වාගෙන යෑමට උත්සාහ කිරීම වැරදි දෙයකි. එසේ නැතිව යම් සංස්කෘතිකාංගයක් මිනිසාගේ චර්යාවට හානියක් නොවන්නේ නම් එවැනි දෙයක් පවත්වාගෙන යනවා කියන දෙය විචාර බුද්ධියට හානියක් නොවේ. විචාර බුද්ධියක් ඇති මිනිසෙක් එවැනි දේවල් ප්‍රතික්ෂේප නොකරයි.

(learnig.lk යූ ටියුබ් නාළිකාවට සංජීව ඇල්විටිගල සාකච්ඡාවකින් උපුටා ගැනිණි.)