අතමිට හිඟ මේ වගේ කාලෙක Online Business එකක් පටන් ගමුද?

0
139

අද ලෝකයේ බොහොමයක් වෙළෙඳ කටයතු සහ ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ මාර්ගගත ක්‍රමය online හරහායි. පසුගිය සමයේ ව්‍යාප්ත වූ කොරෝනා වයිරසය නිසා online ක්‍රමය වෙළෙඳ හා ව්‍යාපාර කටයුතු වලට පමණක් සීමා නොවී අධ්‍යාපනය සහ අනෙකුත් සේවාවන් (වෛද්‍ය, බැංකු, උපදේශන වැනි සේවාවන්) සඳහාද ව්‍යාප්ත වී තිබෙනවා. මාර්ගගත ක්‍රමය එහෙම නැත්නම් අපි සියලු දෙනාම දැනුවත් online ක්‍රමය කියන්නේ වර්තමානයේ ගොඩක් කටයුතු පහසු කරවන සේවාවක්. අපට නිවෙසේ සිටම ව්‍යාපාර බැංකු, වෛද්‍ය ආදී ඕනෑම කටයුත්තක් online ක්‍රමය නිසා බොහොම පහසුවෙන් සිදු කිරීමට පුළුවන්. අද ඔබව දැනුවත් කිරීමට සැරසෙන්නේ පහසුවෙන් කළ හැකි online ව්‍යාපාර කිහිපයක් සහ එහිදී සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් ගැනයි. 

online Business කියල පැවසුවම බොහෝ දෙනාගේ මනසට යන්නේ Drop shipping Fivver වැනි අන්තර්ජාතික ආයතන සමඟ එකතු වී කරන ව්‍යාපාරයක් කියලයි. නමුත් ඔබ දැනටමත් කරගෙන යන ව්‍යාපාරයක් ඩිජිටල්කරණය කිරීමත් online Business බිස්නස් එකක් විධියට හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් ලෙස ඔබ කොත්තු කඩයක් කරගෙන යනවා කියලා සිතන්න. ඔබ ඒ සඳහා Face Book Page එකක් හදලා ඒ ඔස්සේ අලෙවි කටයුතු කළා නම් ඔබ කරන්නේ online බිස්නස් එකක්. එම නිසා පළමුව online බිස්නස් එකක් කියන්නේ මොකක්ද කියල  තේරුම් ගන්න ඕනෑ. 

මේ මොහොතේ රට මුහුණපා තිබෙන ආර්ථික අර්බුදය ගැන ඔබ දැනුවත්. එම නිසා ඔබ භෞතික ඉඩකඩක ව්‍යාපාරයක් ආරම්භ කිරීම යනු දුෂ්කර කාර්යයක්. භෞතික ඉඩකඩක ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළොත් බිම් කුලී විදුලි සහ ජල බිල්පත් ගෙවීම් වරිපනම් ගෙවීම ආදී වියදම් බොහොමයි. ඒ නිසා ඔබ online Business බිස්නස් එකක් කිරීමට තෝරා ගැනීම වඩාත් උචිතයි.  online බිස්නස් එකක් කරන විට අපි සලකා බැලිය යුතු කාරණා කිහිපයක් තිබෙනවා. 

01 ව්‍යාපාර සැලසුම 

(Business Plan) 

ඔබ online ව්‍යාපාරයක් කිරීමට අදහස් කළා නම් ඔබට නිසි ව්‍යාපාර සැලසුමක් ඕනෑ. උදාහරණයක් විධියට අද ඔබ ඇඳුම් ව්‍යාපාරයක් කරනවා කියලා සිතන්න. එසේනම් ඔබගේ ඉලක්ක ගත පාරිභෝගිකයන් කවුද? වෙළෙඳපොළ ඉල්ලුම කුමක්ද? මිල තීරණය කරන්නේ කොහොමද? ආදී කාරණා ගැන අවධානය දීලා ඒ අනුව නිසි සැලසුමක් සකස් කරන්න ඕනෑ. 

02. පූර්ව වියදම් විශ්ලේෂණය 

ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ඒ සඳහා දරන වියදම ගැන සොයා බලන්නට ඕනෑ. උදාහරණයක් ලෙස ඔබ online ක්‍රමය හරහා ඇඳුම් විකුණනවා නම් ඒ සඳහා ඔබට දැරීමට සිදුවන පිරිවැය කොපමණද? ඔබ සිතන්නේ ඩේටා මිල, ප්‍රවාහන මිල සහ අන්තර්ජාල සම්බන්ධතා වියදම් පමණකි. 

එහෙත් ඔබට ඇඳුම් මිලට ගැනීමට, ඒවා රැගෙන ඒමට, ඇසුරුම් කිරීමට ආදී වියදම් දැරීමට සිදුවනවා. ඔබ ඒ ගැනත් සිතන්නට අවශ්‍යයි. 

03. platform එක තෝරා ගැනීම 

යම්කිසි භාණ්ඩයක් මාර්ගගත ක්‍රමයට අලෙවි කරනවා නම් එය අලෙවි කළ යුත්තේ කුමන online platform (වේදිකාවේ) එකේද කියල තීරණය කළ යුතුයි. පෙර උදාහරණයම සැලකුවහොත් ඔබ ඩෙනිම් කලිසම්, ටීෂර්ට්, සාරි බ්ලවුස් අලෙවි කරනව නම් FB page එකක් සුදුසුයි. නමුත් ඔබ ටයි, කෝට්, මිල අධික සපත්තු, සහ ඔරලෝසු අලෙවි කරනව නම් ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර් වැනි වේදිකා සුදුසුයි. එය අලෙවිකරණ භාණ්ඩය සහ ඉලක්කගත පාරිභෝගිකයා අනුව වෙනස් වෙනවා. 

04. (Branding) සන්නාමකරණය 

අපි කරන්නේ පුංචි ව්‍යාපාරයක් වුණාට එය online platform එක තුළ ලොකු කරලා පෙන්වන්න ඕනෑ. එය අලෙවිකරණ උපායමාර්ගයක්. ඔබ online බිස්නස් එකක් කරනවිට ඉහත කාරණා ගැන අවධානය දෙන්න. ඒ වගේම ව්‍යාපාරයට අදාළව දැනුම සොයන්න. ඒ වගේම අත්දැකීම් මඟින් දැනුම ලබාගන්න online බිස්නස් එකකදී අපිට ගනුදෙනු කරන්න වෙන්නේ විශ්වාසය මත. ඒ නිසා භාණ්ඩ අලෙවියෙන් පසුව මුදල් ගෙවීමේ කාරණාව ගැනත් අවබෝධ කර ගන්න. ඔබට සුදුසු පහසු සහ ආරක්ෂාකාරී වැඩපිළිවෙළක් ඒ වෙනුවෙන් ගොඩනඟාගන්න පුළුවන්. ඔබට පහසුවෙන් කළ හැකි ව්‍යාපාර කිහිපයක් පහතින් දක්වා ඇත. 

විසිතුරු මල් පැළ 

විසිතුරු මසුන් 

විසිතුරු ආභරණ 

ටෙරාරියම් 

බොන්සායි නිර්මාණ 

නිමි ඇඳුම් 

විවිධ කෑම ජාති 

බෝනික්කෝ 

ටෙඩි බෙයාර්ස් වැනි අත්කම් නිර්මාණ 

පාපිසි 

මේ ඕනෑම ආකාරයක ව්‍යාපාරයක් වුවද ඔබට online ක්‍රමවේදය හරහා සිදු කළ හැකිය. අවශ්‍ය වන්නේ උත්සාහය සහ කැපවීම පමණි. මෙහිදී ඔබට සමාජ ජාල සහ අන්තර්ජාලය වැඩියෙන් භාවිත කිරීමට සිදුවන නිසා එමඟින් අතිවන සමාජීය ගැටලු නිසියාකාරව කළමනාකරණය කර ගැනීමටත් ඔබ දක්ෂ විය යුතුය. 

දුමිදු ලංකා බණ්ඩාර 

චතුරංග නුවන් සේනානායක. 

පුහුණුකරු උපදේශක 

(ස්වාධීන අලෙවි නියෝජිත)