“අගමැති ඉවත් කර පක්‍ෂ-විපක්‍ෂ කැබිනට්ටුවක් පත් කරන්න”

0
43

රට මුහුණ පා ඇති තත්ත්වයෙන් මිදීමේ දිගු කාලීන විසඳුමකට යන තෙක් අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය ඉවත් කොට මධ්‍යස්ථ ජනතාවගේ ප්‍රසාදය යම් පමණකට හෝ දිනාගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් යුත් අවම අමාත්‍ය මණ්ඩලයක් පත් කර ජනතාව උග්‍ර ලෙස පෙළෙන අර්බුදවලින් වහා මුදා ගැනීමට පියවර ගන්නැයි ඉල්ලමින් බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවා ඇත.

එම කාර්ය සාධක මණ්ඩලයේ සම ලේකම් තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන්ගේ අස්සනින් යුතුව යවා ඇති එම ලිපිය මෙසේ ය. 

“අද බක් පුන් පොහෝ දවස. බුදුරජාණන් වහන්සේ දෙවන වරට මේ පින් බිමට වැඩම කළේ අද වැනි පොහෝ දවසක. අද දවසේ ලක්වැසි මහජනතාව විවිධ ගැටලු හා ප්‍රශ්නවලින් පෙළෙමින් දුකට පත් වී ඇති අයුරු මෙහි ලා විස්තර වශයෙන් පැවසීම අවශ්‍ය නොවේ. දුකින් පෙළෙන ජනතාවගේ ඉවසීම දැන් ලිහිල් වී ඇත. ඔවුන් මහ පාරට බැස උද්ඝෝෂණය කිරීම පිළිබඳව කිසිවකුට වත් එරෙහි විය නොහැකි ය.

මහජනතාව සාමකාමී ලෙස ජාති – ආගම් – පක්ෂ භේදයකින් තොරව හඬ නඟන්නට පටන් ගෙන ඇත්තේ ඔවුනට වෙන විකල්පයක් නැති නිසා ය. ජනතා පරමාධිපත්‍යය ගැන ඉහළින් කතා කරන ඔබතුමාත් රජයත් ඊට සවන් දිය යුතු ය. ජනතාවගේ ආර්ථික හා සෞඛ්‍ය ප්‍රශ්න උග්‍රව පැන නැගී ඇති අවස්ථාවෙහිදීත් රජයේ ඇතැම් මැති ඇමතිවරුන් ජනතා ප්‍රශ්න නොසලකා, නියම තතු වළහමින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී විවිධාකාරයෙන් කළ වහසිබස් දෙඩවීම් හා ගැටලු වළක්වාගත හැකි අවස්ථාවලදීත් ඒවා ගැන නොසලකා අත්තනෝමතික ලෙස තමතමන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම් ආදිය නිසා ජනතාව තව තව ද ප්‍රකෝපයට පත්ව ඇත.

හේතු – ඵලවාදීව මේ ප්‍රශ්න දෙස නොබලා ඒවාට නිසි විසඳුම් සොයා ගත නොහැකි ය. අතිපූජ්‍ය මහ නායක මාහිමියන් වහන්සේලා මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා අදාළ වන යෝජනා ඇතුළත් කොට ඉදිරිපත් කළ සන්දේශය පිළිබඳව රජය හෝ ප්‍රතිපක්ෂ හෝ මෙතෙක් අවධානය යොමු කර නැත. සියලු දේශපාලන පක්ෂ ඇති බලය රැක ගැනීමටත් නැති බලය ඩැහැ ගැනීමටත් දරන ප්‍රයත්නය මහජනතාවගේ පිළිකුලට භාජනව ඇත. රජයේ ත්, රටේත් පවතින මේ අස්ථාවරභාවය ජනතාව තව තව ද පීඩනයට පත් කරනු නොඅනුමාන යි. ජනතා අර්බුදය විසඳෙන සාකච්ඡාවක් හෝ ක්‍රියාමාර්ගයක් හෝ පාර්ලිමේන්තුව තුළ සිදු නොවන හෙයින් එක් අතකින් මන්ත්‍රීවරුන් 225 දෙනා ම ජනතා අප්‍රසාදයට ලක් වීම සාධාරණ ය.

මේ උද්වේගකාරී අවස්ථාවෙහිදී රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමා ජනතා පරමාධිපත්‍යයේ හඬට සාවධාන වී රාජ්‍ය බලයටත් වඩා ජනතා බලයට ඉඩ කඩ ලැබෙන පරිද්දෙන් බුද්ධිමත්ව ක්‍රියා කරනු ඇතැයි සිතමු. ප්‍රතිපක්ෂ නියෝජනය කරන සියලු මන්ත්‍රිවරුන්ද තමන්ගේ භූමිකාව අර්ථවත් වන පරිද්දෙන් සියලු වාද භේද හා පටු අපේක්ෂා අත්හැර ජනතාව හා රටේ ආර්ථිකය පැත්තෙන් බලා සාධාරණ සාමූහික විසඳුම් මාර්ගයකට අවතීර්ණ වීම අත්‍යවශ්‍ය ය.

එසේ හෙයින් දීර්ඝකාලීන විස¾දුම් මඟකට යන තෙක්, ශ්‍රීමත් ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු ඇමැති මඬුල්ල ඉවත් කොට මධ්‍යස්ථ මහජනතාවගේ ප්‍රසාදය එක්තරා පමණකට හෝ දිනාගත් පක්ෂ – ප්‍රතිපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් යුත් අවම අමාත්‍ය මණ්ඩලයක් පත් කොට මහජනතාව උග්‍ර ලෙස පෙළන ආර්ථික හා සමාජීය අර්බුදයෙන් වහ වහා මුදා ගන්නා ලෙස කරුණාවෙන් දන්වමු.  ප්‍රතිපක්ෂවල සියලු මන්ත්‍රීවරුන් ද මේ අර්බුදයෙහි බැරෑරුම්කම දූරදර්ශීව බුද්ධිමත්ව වටහා ගෙන ජනතාව සුවපත් කරන ආර්ථික ස්ථාවරත්වයක් ඇති කැරගැනීමට උත්සුක වනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු.

මෙම විසඳුමින් බැහැරව සිතමින් ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය කවර ආකාරයකින් හෝ මර්දනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය “ඉතිහාසයෙහි කිසි දිනෙක නිවැරදි කැරගත නොහැකි වරදක්” වන බවද මේ සමඟම සඳහන් කරනු කැමැත්තෙමු.

අපගේ, මාතෘ භූමිය තුළ සාමකාමී සමෘද්ධිමත් දේශයක් ගොඩනංවා ගැනීම සඳහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයද ඉක්මවා යන සියලු ජාතිකයනටද සියලු ආගමිකයනට ද සියලු පුරවැසියනට ද සාධාරණය හා යුක්තිය ඉටු වන “ධර්මතාන්ත්‍රික රාජ්‍යයක්” පිහිටුවා ගැනීමට උත්සුක වන ලෙස පක්ෂ – ප්‍රතිපක්ෂ – රටවැසි හැමදෙනාගෙන් ම ශාසනාලයෙන් ඉල්ලා සිටිමු.