හොඳට තිබ්බ වාහන හිටි ගමන් ගිනි ගන්නෙ තෙලුත් බාල නිසාද?

0
31


මේ දිනවල දිවයිනේ කිහිප තැනකම එසේ හිටි ගමන් ගිනි ගත් වාහන කිහිපයක සිදුවීම් වාර්තා විය. මෙය මහත් සැකයකට බඳුන් කළ දෙයක් වූයේය. 

“කොහොමද මෙහෙම හිටි ගමන් වාහන ගිනි ගන්නේ? යන්න මේ දිනවල කවුරුත් කතා වෙන දෙයකි. මේ වන විට එවැනි සිදුවීම් පහක් වාර්තා වී ඇත. 

පසුගිය 29දා වාද්දුව මහ විහාර පාරට හැරෙන හන්දිය ආසන්නයේ මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක් හිටි ගමන් ගිනිගෙන විනාශ වූයේය. 28දාද ප්‍රදේශ කිහිපයකින් එලෙස වාර්තා වීම කැපීපෙනුණේය. බණ්ඩාරගම නගරයේ පිරවුම්හලකට පැමිණි ත්‍රිරෝද රථයක් හිටි හැටියේම ගිනි ගත්තේය. එදිනම පානදුර ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රියක් ගිනිගෙන විනාශ වූයේය. එසේම අනුරාධපුර රෝහලට රෝගියකු රැගෙන පැමිණි ත්‍රිරෝද රියක් එදිනම රෝහල් පරිශ්‍රයේදී ගිනි ගත්තේය. මීට පෙර දිනක දෙමටගොඩ ගුවන් පාලම මතදීද ධාවනය වෙමින් තිබූ මෝටර් රියක් ගිනිගෙන විනාශ වූයේය. 

“මෙහෙම කොහොමද හිටි ගමන් තැන තැන වාහන ගිනිගන්නේ. එහෙම මීට පෙර මේ තරම් තිබුණෙ නෑනෙ.” යි රියැදුරෝ පවසති. 

“පිරවුම්හල්වලින් ලබාදෙන ඉන්ධනවල ප්‍රමිතියක් නෑ වගේ” යන්න නිතර කියැවෙන දෙයකි. සමහරු කියන්නේ “වෙනදාට තෙල් ලීටර් 10ක් ගහලා ගිය දුර අද යන්න බෑ. ඉක්මනින් දැවිලා යනව වගේ” ය කියලාය. ඇතැම් වාහන එවැනි අකරතැබ්බයකට බඳුන්ව අතරමඟ ඇනහිටින අවස්ථාද රට පුරාම වාර්තා වෙමින් තිබීම මෙහිදී  වහා සැලකිලලට ගත යුතු තත්ත්වයක්ද වෙයි. 

“අපි මේ වාහන ණයට අරන් පාරෙ දුවන්නේ ජීවිතේ ගැට ගහගන්නයි. මෙහෙම බාල තෙල් දෙනව නම් අපේ වාහන විනාශ වුණාම කවුද ඒ වන්දිය දෙන්නෙ?” 

බොහෝ ත්‍රිරෝද රථ රියැදුරෝ එසේ කියති. 

ඉන්ධන භාවිත කරන රථවාහන ගිනි ගැනීමේ සිද්ධි පිළිබඳ විශේෂඥ මතය විමසීම සඳහා ‘ඉරිදා මව්බිම’ කළ විමසීමකදී අදහස් දැක්වූ සමගි තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මෙසේ පැවැසීය.

මතකය ආවර්ජනය කරන විට ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මුලින්ම වාර්තා වන්නේ 1997 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය බලයේ සිටි වකවානුව තුළ. ඉන්පසු ජනාධිපති වූ මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේදී බාල ඉන්ධන ලංකාවට ආනයනය කළ බවට අවස්ථා කිහිපයකදී චෝදනා එල්ල වුණා. එහි දිගුවක් ලෙස වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පාලන කාලය තුළ නැවත වරක් බාල ඉන්ධන ආනයනය කළ ආකාරය පෙනෙන්නට තිබෙනවා. 

තත්ත්වයෙන් උසස් තාක්ෂණික උපකරණ අන්තර්ගත ඉන්ධනවල පිරිවිතරයන් නිර්ණය කරන (Quality Checking) සපුගස්කන්ද සහ කොළොන්නාව ප්‍රධාන පරීක්ෂණාගාර දෙක අප රටේ පිහිටියත් තත්ත්වයෙන් බාල ඉන්ධන පාරිභෝගිකයන් අතරට පැමිණෙන්නේ කෙසේද යන්න විධිමත්ව පරීක්ෂා කර බැලිය යුතුයි. 

1994 වර්ෂයට පෙර ශ්‍රී  ලංකාව ඉන්ධන ආනයනය කළේ ලෝකයේ ප්‍රධානතම හා දැවැන්ත සමාගම්වලින්. ඔවුන් සමඟ සිදුකෙරෙන ගනුදෙනු හරිම පාරදෘෂ්‍යයි. හොරකම් කරන්න බෑ. වංචා – දූෂණ සිදු කරන්න බෑ. දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට එම සමාගම් හරහා කොමිස් ලබාගන්න බැහැ.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගෙන් පසු ඉන්ධන ආනයනය කිරීම සඳහා පැවැති ටෙන්ඩර් පටිපාටි හරහා විශාල වංචා දූෂණ ප්‍රමාණයක් සිදුවීමට පටන් ගත්තා. මහින්ද රාජපක්ෂ බලයට පැමිණි පසු ප්‍රසිද්ධියේ ටෙන්ඩර් හරහා කොමිස් ලබා ගන්නත්, වංචා දූෂණ සිදු කරන්නත් ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සහ පත්වූ බලශක්ති අමාත්‍යවරුන් පියවර ගත්තා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලොව පිළිගත් ප්‍රමිතියෙන් යුක්ත ඉන්ධන නිෂ්පාදනය කරන ප්‍රබල සමාගම් ලංකාව සමඟ සිදුකළ සියලු ගනුදෙනු නතර කර දැමුවා.

ඉන්පසු චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි රාජ්‍යයන් කේන්ද්‍ර කරගත් ලොව තුළ පිළිගැනීමක් නොමැති ඉන්ධන නිෂ්පාදනය සහ සැපයුම් සිදුකරන කුඩා සමාගම් හරහා ශ්‍රී  ලංකාවට ඉන්ධන ආනයනය කරන්න පටන් ගත්තා. ඒවා සමඟ ගනුදෙනු කරන විට අල්ලස් ලබාගන්න, කොමිස් ලබාගන්න, වංචා දූෂණ කරන්න ලේසියි.

එවැනි තත්ත්වයක් මත නිතැතින්ම ඔවුන් තත්ත්වයෙන් බාල ඉන්ධන ලංකාවට එව්වා. නමුත් ආණ්ඩුවේ වගකීම වන්නේ නුසුදුසු ඉන්ධන ප්‍රතික්ෂේප කර තත්ත්වයෙන් උසස් ප්‍රමිතිගත ඉන්ධන මෙරටට ආනයනය කිරීමයි. එහෙම නොකරනවා නම් ආණ්ඩුවකින් ඇති ප්‍රයෝජනයක් නැහැ.

අපි දැන් වර්තමාන ඉන්ධන අර්බුදය සහ තත්ත්වයෙන් බාල ඉන්ධන වෙළෙඳපොළ තුළ සංසරණය වීම කෙරෙහි අවධානය යොමු කරමු. ඩොලර් හිඟය හරහා ඉන්ධන ආනයනය කිරීම තුළින් අර්බුද ගණනාවක් පැනනැඟුණා. මෑතකදී ගෙනා ඉන්ධන වෙනදා භාවිත කළ ඉන්ධනවලට වඩා වේගයෙන් දහනය වන බව මුලින්ම ජනතාව කියන්න ගත්තා. ඉන්පසු දිවයිනේ ප්‍රදේශ රැසක ධාවනය වෙමින් පැවැති සුපිරි ගණයේ වාහනවල සිට සාමාන්‍ය තත්ත්වයේ වාහන ගිනි ගැනීම් සහ අතරමඟ නතරවීම් වාර්තා වෙන්න පටන් ගත්තා.

මේ සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ පසු වෙළෙඳපොළ තුළ ඇති ඉන්ධනවල පිරිවිතරයන් සහ ප්‍රමිතීන් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා යොමු කළා. දැනට ලංකාව තුළ ඉතා උසස් පිරිවිතරයක් සහිත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ඉන්ධනවල තත්ත්වය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් තිබෙන නමුත් ඛනිජතෙල් සංස්ථාව, ප්‍රමිති කාර්යාංශය සහ පරිභෝගික අධිකාරිය තුළ මෙන්ම දේශපාලන තලය තුළද තිබෙන දූෂණය නිසා ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් දැනට වෙළෙඳපොළේ තිබෙන්නේ නිසි ප්‍රමිතියෙන් යුතු ඉන්ධන බව සපථ කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කළා.

ශ්‍රී  ලංකාව තුළ ඉන්දියාව ඇතුළු කලාපීය රාජ්‍යයන් සමඟ සන්සන්දනය කරන විට ඉන්ධනවල උසස් ප්‍රමිතියක් තිබෙනවා. අපිට සාපේක්ෂව ඉන්දියාවේ තිබෙන්නේ ඔක්ටේන් 91, ඔක්ටේන් 98 පිරිපහදු ඉන්ධන. එමෙන්ම ලෝකයේ උසස්තම සහ සුපිරි ගණයේ සැප වාහන ලංකාව තුළ ඉන්දියාවට සාපේක්ෂව බහුලව භාවිත වුවත්, එරට ගොරෝසු වාහන පවා ගිනි නොගෙන, අපේ රටේ සුපිරි වාහන ගිනි ගැනීමේ ප්‍රධානතම හේතුව වන්නේ නිසි ප්‍රමිතියෙන් පිරිපහදු නොකළ බාල ඉන්ධන අපේ වාහන සඳහා යෙදීමයි.

මේ වනවිට සිංගප්පූරු සමාගමක් හරහා ලංකාවට ආනයනය කෙරෙන්නේ තත්ත්වයෙන් බාල ඉන්ධන. මේ වනවිට ටෙන්ඩර් කැඳවීම්වලදී ඉන්ධන ප්‍රමිතිය පරීක්ෂා කරන්නේ නැහැ. නැව්ගත කරන විට සහ නැව්වලින් තෙල් බාන විට ඉන්ධනවල ප්‍රමිති පරීක්ෂාවන් සිදු වන්නේ නැහැ. තෙල් තටාකාංගණ වෙත ඉන්ධන ගබඩා කිරීමේදී සහ ඉන්ධන බෙදා හළ පසු අදාළ ඉන්ධන පිරවුම්හල් තුළද ප්‍රමිති පරීක්ෂා කිරීම් සිදුවන්නේ නැහැ. එමෙන්ම මීට ඉහතදී තෙල් ටැංකිවලට ගබඩා කළ පසු පැය 12ක් එහි තැබීමෙන් පසුවයි ඒවා රට පුරා බෙදාහරිනු ලබන්නේ. දැන් ගබඩා කරන පමාවෙන් නැවත බවුසර්වලට පුරවා රට පුරා බෙදාහැරීමට සැලැස්වීම හරහාද නිසි තත්ත්වයට පත්වීම සඳහා ඉන්ධන තැබීමේ කාලය අඩුවීම හරහා ප්‍රමිතියට බලපෑම් වී තිබෙනවා. මේ වන විට ප්‍රමිතියෙන් තොර ඉන්ධන සහ නිසි ප්‍රමිතියෙන් යුතු ඉන්ධන කලවම් කර ඉන්ධන අලෙවිසල් හරහා බෙදාහරින බව ඔප්පු වී තිබෙනවා.

මේ වනවිට වෙළෙඳපොළ තුළ සංසරණය වන ඉන්ධනවල නිසි ඝනත්වය, වර්ණය හා පැහැදිලිතාව යන ගුණාංග කිසිවක් නැහැ. ඉස්සර පෙට්රල් සුදු පැහැතියි. දැන් තිබෙන වර්ණය අධික ලෙස කහ පැහැයට හැරී තිබේ. මෙවැනි තත්ත්වයෙන් බාල ඉන්ධන සාම්පල් පරීක්ෂා කිරීම සඳහා ප්‍රමිති කාර්යාංශය වෙත යොමු කළද ඉන් ප්‍රයෝජනයක් නැති වී තිබෙනවා.

බාල වර්ගයේ ඉන්ධනවල නිසි සුවඳ නැහැ. දෝෂ සහිතයි. ඔක්ටේන් අගය අඩු නිසා වාහන නිසි අයුරින් පණගැන්වෙන්නේ නැහැ. දැනට බාල ඉන්ධන හේතුවෙන් රුපියල් කෝටි 20කට අධික පාඩුවක් රජයට සිදුවී තිබෙන අතර ජනතාවට කෝටි 40කට අධික අලාභයක් සිදුවී තිබෙනවා. හානි වූ වාහන සඳහා වන්දි ගෙවන යථාර්ථවාදී ක්‍රමවේදයක් කඩිනමින් සෑදිය යුතුයි. වන්දි ලබා ගැනීම වෙනුවෙන් ජනතාවට අදාළ ඉන්ධන ලබාගත් පිරවුම්හලෙන් නිකුත් කරන බිල්පත ඉදිරිපත් කරන ලෙස රජය දැනුම් දී තිබුණද, පිරවුම්හල්වලින් බිල්පත් නිකුත් නොකිරීම සිදුවන වටපිටාවක එය ප්‍රායෝගික නැහැ.

ඒ නිසා වන්දි ලබාදීම තරාතිරම නොබලා සැමට එක ලෙස කරගත හැකි ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ වගේම ලංකාවට ආනයනය කරන සිංගප්පූරු සමාගමේ ඉන්ධන සාම්පල් මෙරට තුළ ස්වාධීන පරීක්ෂණ සිදු කරන ලංකා විද්‍යාත්මක කාර්මික පර්යේෂණ ආයතනය සහ කාර්මික පර්යේෂණාගාර පෞද්ගලික සේවා යොමු කර ඉතා ඉක්මනින් ප්‍රමිති තත්ත්වයන් ප්‍රකාශයට පත් කළ යුතුයි. ඉන්ධන ආනයනය කරන සමස්ත ක්‍රියාවලියේදී දැනට නතර කර ඇති ප්‍රමිති පරීක්ෂාවන් සියල්ල නැවත ආරම්භ කළ යුතුයි.

දසුන් රාජපක්ෂ