හක්කිඳ පරිසර කලාපයත් වනසපු තක්කඩි දේශපාලනය

0
45


එම සංචාරක හෝටලය නිරීක්ෂණය කළ අවස්ථාවේ එහි භාවිතය සඳහා කුඹුක් දැවවලින් තැනූ පුටු සහ මේස භාවිත කර තිබෙනු දැක ඇති අතර ඊට අවශ්‍ය ලී සපයා ගැනීමට හක්කිඳ දූපත් සමූහය අයත් භූමියේ තිබූ වසර සියයකට වඩා පැරැණි හොඳින් වැඩුණු කුඹුක් ගස් 10ක් කපා දමා තිබිණි. 

අදාළ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ආයතනයක යම් නිලධාරියෙක් මුදල් හෝ වෙනත් ලාභ අපේක්ෂාවකින් එම සංචාරක හෝටලය ඉදි කිරීමට ව්‍යාජ ලෙස සකස් කර ඇතැයි විශ්වාස කරන ලියකියවිලි සකස් කර දී තිබේදැයි සොයා බැලීමට අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කළ බවද අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

2017 වසරේ පාරිසරික ආරක්ෂක කලාපයක් ලෙස නම් කළ වරාතැන්න, හක්කිඳ දූපත් සමූහය අයත් භූමිය මිනුම්කරණයට ලක්කොට ඇතත් මේ වනවිට එම ප්‍රදේශයේ මහවැලි ගං ඉවුරු ඛාදනයට ලක්වීම නිසා අලුතින් එම කලාපය නැවත මිනුම්ගත කිරීමට නියමිතය. හක්කිඳ දූපත් සමූහය අවට ඉදිකොට තිබෙන අනවසර ගොඩනැඟිලි ප්‍රමාණය කොපමණදැයි ගණනය කළ යුතු බැවින් එම ඉදිකිරීම්වලට අයත් ලේඛන පරීක්ෂා කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කොට තිබෙන අතර අනවසර ඉදිකිරීම් සියල්ල ඒ අනුව රජයට පවරා ගැනෙනු ඇත.

වරාතැන්න, හක්කිඳ දූපත් සමූහයට අදාළ ඉතිහාස මූලාශ්‍ර පිළිබඳ සොයා බැලීමේදී එම ප්‍රදේශය සම්බන්ධයෙන් මුලින්ම පර්යේෂණ පත්‍රිකාවක් සකස් කර තිබෙන්නේ 1980 වසරේදී පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක මහතාය. එම වකවානුවේ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් ලෙස ආරම්භ කළ මහවැලි ගඟ හරස් කොට ඉදිකළ පොල්ගොල්ල හා වික්ටෝරියා ජලාශ්‍ර හේතුවෙන් මහවැලි ගඟට අනන්‍ය ලෙස සුවිශේෂී ආකාරයට අනුවර්තනය වූ පරිසරයක් තිබූ ගඟ දෙපස පිහිටි ඉවුරු ආශි්‍රත ජෛව පද්ධතීන් පිළිබඳව ක්ෂේත්‍ර වාර්තාවක් සකස් කළ රනිල් සේනාරත්න මහතා මෙරට පිහිටි “ගඟක් සතු එකම දූපත් සමූහය” ලෙස හැඳින්වෙන “වරාතැන්න දූපත් සමූහය” විනාශ විය හැකි බවට අනතුරු ඇඟවීය. එකල අදහස් පළකළ ඒ මහතා ලංකාවට මෙන්ම මහවැලි ගඟට පමණක් ආවේණික ගඳේයා හෙවත් ගී්‍රන් ලබියෝ නමැති මත්ස්‍යා මහවැලි ව්‍යාපෘතියේ බලපෑම නිසා මෙලොවින් සඳහටම වඳ වී යනු ඇති බව කියා තිබේ.

පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක මහතාගේ අදහස් දැක්වීමෙන් පසු වසර 31ක් ගතවන තුරු වරාතැන්න හක්කිඳ දූපත් සමූහය පිළිබඳ සුවිශේෂී යමක් වාර්තා වී නොතිබිණි. ඉන් පසු කාලයාගේ ඇවෑමෙන් මහවැලි ගඟේ වැලි ගොඩදැමීම නිශ්චිත නියාමනයකට යටත් නොකිරීම හේතුවෙන් ගං ඉවුරු ඛාදනය වීමට ලක් වීම සහ තවත් ස්වාභාවික පාරිසරික සාධක කිහිපයක් නිසා මහවැලි ගඟ හරහා ඉදිකළ ගැටඹේ ප්‍රධාන පාලම සහ ‍ෙදාඩංවල එල්ලෙන පාලම අතර කිලෝමීටර් 02ක පමණ දුරක් අතර පිහිටි ප්‍රදේශයේ පාෂාණමය ස්තරයන් සහ වැලිතලා හොඳින් මතුවීමට පටන්ගෙන වරාතැන්න හක්කිඳ දූපත් සමූහය පැහැදිලි ලෙස පාෂාණමය ස්තර සහිත ස්ථීර දූපත් 12ක් සහ වැලිතලා ස්තර සහිතව තවත් දූපත් 28ක් ලෙස හොඳින් ඉස්මතු වී පෙනෙන්නට විය. 

එම දූපත් සමූහය ආශි්‍රතව පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම මහතා 2011 වසරේදී ක්ෂේත්‍ර සමීක්ෂණයක් සිදුකළ අතර, ඒ වනවිටත් මෙලොවින් තුරන් වූවා යැයි සැක පළ කළ මහවැලි ගඟට ආවේණික ග‍ෙ¼ද්යා මත්ස්‍යයන් හක්කිඳ දූපත් සමූහය  අසල ව්‍යාප්ත වී සිටින බව සොයා ගත්තේය. ඊට අදාළව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී හක්කිඳ දූපත් සමූහය අතර ගංගා කලාපය ඉහළ ජෛව විවිධත්වයක් සහිත මෙරටට ආවේණික ජලජ ශාක සහ මිරිදිය මත්ස්‍යයන් ප්‍රමුඛ සත්ත්ව ප්‍රජාව ස්වාභාවිකව ආරක්ෂා වී හොඳින් බෝ වී සිටින බව ඒ මහතාට නිරීක්ෂණය විය.

මෙම සොයාගැනීම්වලට අමතරව වසර 100කට  වඩා පැරැණි සොරොව්වක් සහ අතීතයේ දේශීය වෛද්‍ය කර්මාන්තයට අවශ්‍ය බෙහෙත් සෑදීමට ගත් පාරම්පරික ආයුර්වේදයේ සඳහන් මෙරටට ආවේණික ජලය ආශි්‍රතව හටගන්නා ශාක විශාල සංඛ්‍යාවක් හක්කිඳ දූපත් සමූහය අතර තිබී සොයා ගැනීම හේතුවෙන් එම ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ප්‍රදේශයක් බව අනාවරණය විය. මෙවැනි සොයාගැනීම් රැසක් සිදුවීම හමුවේ මෙම දූපත් සමූහය පිළිබඳ දේශීය හා විදේශීය විද්‍යාඥයන් සහ පරිසරවේදීන්ගේ උනන්දුවක් ඇතිවීම නිසා විවිධ පර්යේෂණ කණ්ඩායම් හක්කිඳ දූපත් සමූහය ක්ෂේත්‍ර අධ්‍යයන අඩවියක් ලෙස භාවිත කිරීමට පෙලඹිණි. ඒ හේතුවෙන් මෙම භූමිය සිසිල් ක්ෂුද්‍ර දේශගුණික තත්ත්වයකින් සමන්විත ආකර්ෂණීය ජෛව භූමියක් ලෙස තව තවත් ප්‍රසිද්ධියට පත්විය.

මෙම භූමිය තුළ මහවැලි ගඟේ පටුම ස්ථානය (මීටර් 02යි) සහ පළල්ම ස්ථානය (කිලෝමීටර් 1.7) පිහිටා තිබේ. මේ ආකාරයට හක්කිඳ දූපත් සමූහය නිශ්චිත මායිම් සහිත පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් වශයෙන් මිනුම්කරණයට ලක් කෙරිණි.

ඉන්පසු විදේශීය පර්යේෂකයන් පිරිසක් සමඟ එක්ව මෙරට පර්යේෂණ කණ්ඩායමක් අධ්‍යයන වාර්තාවක් සකස් කර ශ්‍රී  ලංකාවේ සහ බටහිර ඝාට්ස් කලාපයේ හොඳම ජෛව පද්ධති අතර 34 වැනි ස්ථානය හක්කිඳ දූපත් සමූහයට පිරිනැමුවේය. මෙම පාරිසරික කලාපයේ මායිම් සලකුණු කර කිසිදු අයුරකින් එම ප්‍රදේශයේ වැලි ගොඩදැමීම, අනවසර ඉදිකිරීම් කිරීම, එම ප්‍රදේශයට කුණු කසළ දැමීම, අනවසර ගොඩකිරීම් ඉදි කිරීම තහනම් බව දැක්වෙන නාමපුවරු මායිම්වල ප්‍රදර්ශනය කළේය.

මේ දක්වා අවස්ථා ගණනාවකදී හක්කිඳ ආරක්ෂක පාරිසරික කලාපය තුළ ක්ෂේත්‍ර අධ්‍යයනයන් රැසක් සිදුකළද ඒවා මඟින් ආවරණය කර ගැනීමට හැකිවී තිබෙන්නේ මෙම ජෛව කලාපයේ ඉතා සුළු  ප්‍රදේශයකි. පේරාදෙණිය සහ උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලවල සත්ත්ව විද්‍යා අංශ එක්ව 2017දී එළිදැක්වූ පර්යේෂණ පත්‍රිකාවක් මඟින් මෙම දූපත් සමූහය අයත් ජෛව කලාපයේ සිටින පක්ෂීන්, මිරිදිය මත්ස්‍යයන් සහ කෘමීන් පිළිබඳ සංගණකයක් සහ වර්ගීකරණයක් සිදු කළේය. ඊට අනුව ප්‍රභේද 61කට අයත් පක්ෂීන් වර්ග 74ක් වර්ගීකරණය කළ අතර ඉන් ප්‍රභේද 07ක් මෙරටට ආවේණික පක්ෂීන් බව හඳුනා ගැනුණි. එහි ඇතුළත් පක්ෂීන් වර්ග 62ක් රතු දත්ත පොතට ඇතුළත් විය. පක්ෂීන් ස්වාභාවිකව සංරක්ෂණය වන විශේෂ ජෛව පද්ධතියක් මෙම දූපත් සමූහය තුළ පවතින බව එම පත්‍රිකාව මඟින් වැඩිදුරටත් සඳහන් කෙරිණි.

හක්කිඳ දූපත් සමූහය තුළ සිටින මිරිදිය මත්ස්‍යයන් අතරින් ඉතා සුළු කොටසක් එම පර්යේෂණයේදී අනාවරණය කරගත්තද දූපත් සමූහයේ වෙනත් ස්ථානවල ක්ෂේත්‍ර නියැදීන් සිදු කළහොත් තවත් විශාල මත්ස්‍යය ප්‍රභේද හඳුනාගැනීමට හැකිවනු ඇතැයි එම පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වේ. සිදුකළ නියැදීන්වලින් පවුල් 11කට අයත් මත්ස්‍ය විශේෂ 28ක් හඳුනාගත් අතර මහවැලි ගඟේ පමණක් සිටින මත්ස්‍ය විශේෂයන් ප්‍රතිශතයක් ලෙස සැලකුවහොත් ඉන් 60%ක් මහවැලි ගඟට පමණක් ආවේණික මත්ස්‍යයන් වේ. විශේෂ 28 අතරින් මත්ස්‍ය විශේෂ 08ක් මෙරටට ආවේණිකය. 

කෘමීන් පිළිබඳ සිදුකළ වර්ගීකරණයේදී ආවේණික විශේෂ 08ක බත්කූරන් වර්ග 16ක් හඳුනා ගැනීමට ඔවුන්ට හැකිවිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය පෙන්වා දෙන්නේ හක්කිඳ පාරිසරික ආරක්ෂක කලාපය තුළ මේ වනවිට ලෝකයෙන් වඳවීගෙන යන සපුෂ්ප ශාක 06ක් තිබෙන බවයි. එම ජෛව කලාපය සුරකින කුඹුක් වැනි වෙනත් ශාක වර්ගද එහි සුලභව තිබුණත් නීති කඩමින් සමහර පිරිස් එම ශාක ලී ලබා ගැනීමට කපා දමන බව පෙන්වාදී තිබේ.

දෙස් විදෙස් පර්යේෂකයන්ගේ විශේෂ අවධානයට ලක්ව ඇති මෙම පරිසර කලාපය නිසා මෙරට පරිසර සංචාරක කර්මාන්තය ශීඝ්‍ර ලෙස දියුණුවීම නිසා එම ප්‍රදේශය අවට ගං ඉවුරු ගොඩකර සංචාරක හෝටල් රාශියක් මේ වනවිට ඉදිකර ඇති නිසා හක්කිඳ අධි සංවේදී පරිසර කලාපයට විශාල හානියක් සිදුවී තිබෙන බව පෙන්වා දෙන පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන එම ඉදිකිරීම් සිදුකිරීමට පරිසර අමාත්‍යාංශයට අයත් ආයතනවල සමහර නිලධාරීන් හෝටල්කරුවන්ගෙන් අල්ලස් ලබාගෙන ඇති බව පෙන්වා දුන්නේය.

ඉකුත් 25 වැනි දින මාධ්‍ය වාර්තා කළ හක්කිඳ සංවේදී පරිසර කලාපයට අයත් ප්‍රදේශයේ විශ්‍රාමික හමුදා බි්‍රගේඩියර්වරයා ඉදිකළ බව කියන සංචාරක හෝටලය සහ නිවෙසට අදාළ සිදුවීමට අමතරව මෙරට ප්‍රබල ව්‍යාපාරිකයන් විසින් නීති විරෝධීව පවත්වාගෙන යනු ලබන විශාල සංචාරක හෝටල් ඇතුළු නිවාඩු නිකේතන රාශියක් මෙන්ම ධනවතුන්ට අයත් නිවෙස් බොහෝමයක් එම ප්‍රදේශය තුළ සහ ඒ ආශි්‍රතව ඉදිකොට ඇති බව පරිසර සංවිධාන පවසයි.

ජාත්‍යන්තර වශයෙන් අමිල සම්පතක් වන මෙම සංවේදී පරිසර කලාපය ආරක්ෂා කෙරෙන දැඩි නීති වර්තමානයට ගැළපෙන ලෙස වෙනස් කර ජාතික පාරිසරික පනත සංශෝධනය කළ යුතු බව අපගේ විශ්වාසයයි. මෙම ලිපියේ අන්තර්ගත තොරතුරු ඒ සඳහා උපකාර කරගනු ඇතැයි ‘ඉරිදා මව්බිම’ කර්තෘ මණ්ඩලය වශයෙන් අපි බලාපොරොත්තු වන්නෙමු.

දසුන් රාජපක්ෂ