සිල්ලර ප්‍රතිලාභවලට රැවටුණු යුගය නිමා කළ යුතුයි

0
76


මේ දවස්වල කරගෙන යන වැඩකටයුතු මොනවද?

මේ දිනවල නීතිඥ වෘත්තිය සහ රංගන කටයුතු සමඟ තරමක් කාර්යබහුලයි. කලා කටයුතු ගැන කතා කළොත් මෑතකදී එක් ටෙලි නිර්මාණයක වැඩ කටයුතු අවසන් කළා. ඒ වගේම දැන් රටේ පවතින තත්ත්වයත් එක්ක වෘත්තීයමය වශයෙන් සහ කලාකරුවෙක් විධියට ජනතාව වෙනුවෙන් හොඳම දේ කරන්න උත්සාහ කරනවා. 

වෘත්තීයමය වශයෙන් ජන අරගලයට සහාය දක්වන්නට අවස්ථාව හිමිවීම ගැන මොකද සිතෙන්නේ? 

ඇත්තටම ඒ ගැන නිහතමානී සතුටක් මම අත්විඳිනවා. ඒ තුළින් නීතිඥයා සහ සේවාදායකයා අතර පැවතුණු වෘත්තීයමය බැඳීමට එහා ගිය ආත්ම තෘප්තියක් මට දැනුණා. මේ සඳහා දායකත්වය සැපයූ සියලු දෙනාම එකා වගේ එක මතයක් වෙනුවෙන් පෙනී සිටි වෙලාවෙ දැනුණු ඒ හැඟීම වචනවලින් විස්තර කරන්න අමාරුයි. ජේ‍යෂ්ඨ නීතිඥ මහත්වරු, ජනාධිපති නීතිඥවරු ඇතුළු සහෝදර නීතිඥ පිරිස ස්වේච්ඡාවෙන්ම මේ වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුයි.

රට තුළ පවතින වාතාවරණය පිළිබඳව ඔබට මොනවද කියන්න තිබෙන්නේ?

 මේ වනවිට රටේ තිබෙන අර්බුදකාරී තත්ත්වයන් සමාජ තරාතිරමකින් තොරවම හැමෝටම දැනිලා තිබෙන්නේ. මේ තත්ත්වය අපිට මීට කලින්ම සිතන්න තිබුණු ප්‍රශ්නයක්. කොහොම නමුත් අපිට අපි වෙනුවෙන් සටන් කරන්න, මේ රට බේරගන්න, පුංචි දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කරන්න ලැබුණු අවසන් අවස්ථාව මේක වෙන්න පුළුවන්. ඒ නිසා අපි එකාවන්ව මේ සියලු අභියෝගයන්ට මුහුණදිය යුතුයි. නීතිඥවරුන් විධියට මේ ජන අරගලයට සම්බන්ධ වූ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටීම ඔවුන්ට ලොකු හයියක් වුණා. මිනිස්සු ඉතාම සාමකාමීව අරගලය මෙහෙයවන්නත් ඒක හේතු වුණා. කිසිම කෙනකුට ප්‍රචණ්ඩත්වයක් අවැසි නැහැ. විවිධ අරමුණුවලින් මොන මොන දේවල් කරන්න උත්සාහ කළත් අපි සියලු දෙනා නිවැරදි අරමුණක් ඇතුව හරි ගමනක් යනවා. ලංකාව තුළ මේ පවතින ක්‍රමයට මම විරුද්ධයි. ඒකෙන් අදහස් වෙන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ රට කාපු පාලන ක්‍රමයට මම විරුද්ධ බව මිසක් මේ ආණ්ඩුවට විරුද්ධ පක්ෂයකට කඩේ යනවා කියලා නොවෙයි. අරක්කු බෝතලේට, ඇඟේ මයිල් කෙළින් වෙන සින්දුවලට, අතට දෙන සොච්චමට, බත් පැකට් වගේ සිල්ලර ප්‍රතිලාභවලට රැවටුණු කාලේ ඉවර කරලා අපි හැමෝම නිවැරදි මාවතක ගමන් කළ යුතු කාලයක් මේක. 

ජන අරගලය නිමාවක් දකින තුරු වෘත්තීයමය වශයෙන් සහාය දක්වන්න හැකිවේවිද?

මම සිතන්නේ මේ කාලය මිනිස්සුන්ගේ බාහිර ප්‍රතිරූප ගැන නොතකා  නැති බැරි හැමෝටම හැකි පමණින් උදවු කළ යුතු කාලයක්. අපේ රට තුළ එක දෙයක් තිබෙනවා, ඕනෑම දෙයක් සතියයි දෙකයි. අද මේ මිනිස්සුන්ට තිබෙන මොරාල් එක නැති කරලා දාන්න ඇතැමුන් උත්සාහ කරනවා. මම කියන්නේ කිසිසේත්ම එවැනි බාහිර පාර්ශ්වයන්ට ඔබේ උත්සාහය, කැපවීම විනාශ කරන්න ඉඩදෙන්න එපා. අපේ අරමුණු ඉටුවන තුරු අපි හැමෝම එකාවන්ව සිටින්න ඕනෑ. වෘත්තීයමය වශයෙන් ගත්තත් තනි නීතිඥයකුට කරන්න පුළුවන් දේට වඩා පිරිසක් එක් වූ විට බලාපොරොත්තු නොවෙන තරමට ලොකු දෙයක් කරන්න පුළුවන්. එදා වගේම අදත් හෙටත් සියලු දෙනා හරි දේ වෙනුවෙන් ඉදිරිපත් වුවොත් අපිත් ඔවුන් සමඟ රැඳී සිටිනවා.

 සමාජ ගවේෂණය සහ අවබෝධය චරිතාංග රංගන ශිල්පියකු ලෙස සමාජගත වීමට කොයිතරම් දුරට බලපෑම් සහගත වෙනවාද?

නළුවෙක් කියලා කියන්නෙ සමාජය තුළ පවතින විවිධ භූමිකා නිරූපණය කරන පුද්ගලයෙක්. ඒ ඒ ආවේශයන් ලබා ගන්න නම් ඒ කෙනාට විවිධ මිනිස්සුන්, සමාජ රටාවන්, ආගම්, සංස්කෘතීන් පිළිබඳ පුළුල් දැනීමක් සහ අවබෝධයක් තිබිය යුතුයි. මවාපානවට වඩා ඒක තමන්ට ආරූඪ කරගන්නවා නම් තමයි නියම නළුවෙක් බවට පත් වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. 

වේදිකාව හරහා කලාවට පිවිසුණු බොහෝදෙනා පසුකාලීනව වේදිකාවෙන් අෑත් වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. මේ පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?

මම දකින විධියට එය සමාජීය ප්‍රශ්නයක්. මමත් මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේ වේදිකාව හරහා. මම වැඩිපුරම කරලා තිබෙන්නෙත් වේදිකා නාට්‍ය. නමුත් වෘත්තිය හා කාල කළමනාකරණය සමඟ මට තෝරාගැනීමක් කරන්න සිද්ධ වෙනවා. මගේ වෘත්තිය රංගනය නොවුණත් රංගනය වෘත්තිය කරගත් කලාකරුවන්ට වුවත් පසුකාලීනව වේදිකා රංගනයට ප්‍රමුඛතාව දෙන්න බැරි වෙලා තිබෙනවා. මොනතරම් දක්ෂ කලාකරුවකු වුවත් තමන්ගේ ප්‍රතිපත්ති සහ සම්මතයන්ට පටහැනිව නිර්මාණවලට සම්බන්ධ වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ සඳහාත් හේතු බොහෝමයක් තිබෙනවා. පළමු කාරණය තමයි ජීවන අරගලය සහ ආර්ථිකය සවිමත් කරගැනීම. එහිදී කලාකරුවන්ට තෝරාගැනීමක් කරන්න සිද්ධ වෙනවා. අනාගතයේදී කලාව මීට වඩා දියුණු මට්ටමකට ගේන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා. 

කලාව තුළ ජීවත් වීම සහ කලාව විකුණගෙන ජීවත් වීම අතර ඔබ දකින වෙනස මොකක්ද? 

ඒක මෙහෙමයි. කලාව තුළ ජීවත් වෙන්නාගේ මූලික පරමාර්ථය මුදල් ඉපැයීම නෙවෙයි. ඔහුගේ බලාපොරොත්තුව සහ හීනය වෙන්නේ කලාවේ අභිවෘද්ධිය සහ කලාව මානුෂීය හිත් තුළ පැළ කිරීම. නමුත් කලාව විකුණගෙන කන පුද්ගලයාට තිබෙන්නේ නිෂ්පාදනය කුමක් වුවත් ඒ හරහා මුදල් ඉපැයීම. ඒ පිළිබඳව චෝදනා බොහෝමයක් තිබෙනවා. නමුත් දැන් ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබෙන්නේ. බහුතර කලාකරුවන් කලාව විකුණගෙන ජීවත් වුවත් කලාවට එක සිතින් ආදරය කරන කලාකරුවෝ තවමත් සිටිනවා. 

අලුත් නිර්මාණවලට සම්බන්ධ වෙලා සිටිනවද?

ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගෙ “නන්නත්තාර” කියන නිර්මාණයට රංගනයෙන් දායක වුණා. එහි වැඩකටයුතු මේ වනවිට අවසන් කරලා තිබෙනවා. ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. අලුත් නිර්මාණ තුනකට වගේ ආරාධනා ලැබුණත් කාලය වෙන් කරවාගැනීමේ ගැටලු නිසා ඒවට සම්බන්ධ වෙන්න බැරි වුණා.

නිකේෂලා රණතුංග