සත්‍යයේ හඬ ජන අරගල බිමට…

0
34


මම මේ විදිහට පීඩනයට පත්වෙච්ච දරිද්‍රතාවයෙන් සමාජය පෙලූ රජයක් නම් දැකලා නෑ. මං අහලත් නෑ. මට හම්බවෙලත් නෑ. ඒ වගේම තමයි මේ තරුණ පරම්පරාව කිසිදු දේශපාලන පක්ෂයක උදව්වක් නැතිව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ රට වෙනුවෙන් මෙහෙම කෑගහපු තරුණ කණ්ඩායමකුත් මං දැකලා නෑ. ඇත්තටම ඒගොල්ලො මේ කෑගහන්නේ ඒගොල්ලන්ට නෙවෙයි. එගොල්ලන්ට අනාගත පරම්පරාවට යම්කිසි රටක් හදලා දෙන්න. අනාගත දරුවන්ගේ බලාපොරොත්තුවක් සකස් කරලා දෙන්න.

 රෑ දවල් නැතිව වැස්සට තෙමීගෙන, අව්වට වේළීගෙන හරියට කන්න දෙයක් නැතිව මේ තරුණ පරම්පරාවගේ නැඟිටීම ඇත්තටම ධෛර්යයක්, ශක්තියක්. ඇත්තටම මමත් ආවේ ඒ ගොල්ලො එක්ක හිටගන්න මෙතැන. මං හිතුවා ඒගොල්ලො එක්ක මං සිට ගත්තොත් ඒ ගොල්ලන්ට ධෛර්යයක් ලබාදෙන්න. මොකද ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ට දෙයක් ඉල්ලන්නේ නෑ. අපට රස්සාවක්, ළමයෙක් ස්කෝලයක් දියව් කියලා…. ඒ ගොල්ලෝ ඉල්ලන්නේ අනාගත පරම්පරාවට රටක්. ඒ නිසා මං හිතනවා මෙතැන ඉන්න හැමෝටම ශක්තියක් වෙන්න තමයි මං මෙතැන ඇවිත් හිටගත්තේ. මං පොඩි සින්දු කෑල්ලකුත් කියන්න කැමැතියි. 

“යදමින් බැඳ විලංගු ලා ……..”

අපි 80 ගණන්වල කියපු දේවල් මේ දරුවන්ටයි මං මේක පූජා කරන්නේ. 

නන්දා මාලනී 

“අපි දැන් ජීවිතේ අවසන් බාගෙට ඇවිත් ඉන්න අය. ඒ වුණත් අපට එන්න සිතුණේ මෙතැන තරුණ පරම්පරාවේ ජවය දැකලා ඔවුන්ට ආශීර්වාද කරන්න. මොකද මේ රටේ අනාගතය භාරගන්න ඉන්නේ මේ තරුණ පරම්පරාව. ඒ අයට යම් උත්තේජනයක් අල්පමාත්‍ර වශයෙන් හරි සම්පාදනය කරන්න පුළුවන් නම් අපට මෙතැනට ඇවිල්ලා අන්න ඒ වෙනුවෙන් තමයි මම නන්දා, ස්වර්ණා, අපි කට්ටිය මෙතැනට ආවේ. ඇත්තටම අප දැකලා තියෙනවා විවිධ ආණ්ඩු කාල. ඒත් මේ වගේ ජන පීඩන රජයක් අපි දැක්කෙ නෑ. 

ඒ කියන්නේ ඒ අය සතුටට පත්වෙනවා මිනිස්සු දුක් විඳිනවා දැකලා. ඒ කියන්නේ ගෑස් නැතිව දුක් විඳිනවා. භූමිතෙල් නැතිව දුක් විඳිනවා. මේවා දැකලා සතුටු වෙන ආණ්ඩුවක් හැටියට තමයි අපි මේ ආණ්ඩුව දකින්නේ. ඉතිං ඒ අයට විරුද්ධව මේ නැඟෙන තරුණ අරගලය මේ තාක් ලංකා ඉතිහාසයේ ඇති නොවුණ විදිහේ තරුණ අරගලයක්. ඒ කියන්නේ දේශපාලන පක්ෂ විසින් සංවිධානය නොකළ, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තරුණ පරම්පරාවක් මේ දක්වන විරෝධය අවංක, අව්‍යාජ, විශිෂ්ට, ශේ්‍රෂ්ඨ විරෝධයක් හැටියට අපි දකින්නේ. ඒ සඳහා අපේ සහයෝගය දක්වන්නයි අද මෙතැනට අපි ආවේ.” 

සුනිල් ආරියරත්න