වෛරය නිසා බිහිසුණු යක්‍ෂණියක් වූ ජපන් රූමතිය Kuchisake-onna

0
420

මෙම කතාව ලෝකයට විවර වන්නේ ජපන් රටෙන්. මැයව හඳුන්වන්නේ “කුචිසාකේ _ ඔන්නා” යනුවෙනි. එය අප තව දුරටත් විග්‍රහ කළහොත් “කට කැපූ කාන්තාව“ යනුවෙන්ද හඳුන්වන්නීය. ජපන් ජනප්‍රවාදවලට සහ පුරාවෘත්තවලට අනුව මැය අතිශය නපුරු රුදුරු කාන්තාවකි.

එමෙන්ම මැය “කාන්තාවකගේ ද්වේෂ සහගත ආත්මයක්” ලෙසද පුරාවෘත්තවල සඳහන් වේ. මැය නිතරම වෙස් මුහුණකින් හෝ රෙදි කඩකින් ඇයගේ මුහුණ අර්ධ වශයෙන් වසාගෙන ජීවත් වේ. ඇයගේ තියුණු බවේ, කෑදර බවේ සහ නපුරු බවේ සංකේතය වශයෙන් ඇය සෑම විටදීම දෑකැත්තක්, පිහියක් හෝ විශාල කතුරක් වැනි තියුණු ආයුධයක් තම දෑතේ රඳවාගෙන ගෙන යන්නීය.


යක්ෂණියක් ලෙසින්් නම් දරා ඇති මෙම තැනැත්තිය සාමාන්‍යයෙන් අප දකින කාන්තා චරිතයන්ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි යමෙකුට ගැටලුවක් පැන නැඟිය හැකියි. ඇත්ත වශයෙන්ම ඇය සෝබමාන තැනැත්තියකි.
ඇය දිගු සහ සෘජු මෙන්ම කළු පැහැති කේශ කලාපයකටද, සුදුමැලි වූ සමකටද හිමිකම් කියන්නීය. ඇගේ සැඟවුණු විරූපී බව, ආවේගශීලී බව ඉස්මතු වන්නේ ඇය අතිශය කෝපයට පත් වූ විටෙකදී පමණි.
ජපන් ජනප්‍රවාදවලට අනුව Mizukiu Kuchisake – Onna Kuchisake – Onna යනු අද්භූත රාක්ෂයන්, ආත්මයන් සහ භූතයන් හැඳින්වීමට භාවිත කළ හැකි යෙදුමකි.


ජපන් පුරාවෘත්තවලට අනුව ජපානයේ සිටි එක්තරා සමුරායිවරයකුට ඉතාම රූමත් බිරියක් සිටියාය. ඇය රූපශ්‍රීය අතින් අගතැන්පත් කාන්තාවකි. නමුත් ඇය කාමයට ලොල් තැනැත්තියකි. තවත් තැනක සඳහන් වන්නේ ඇය සමුරායිවරයාගේ අනියම් බිරියක් වශයෙනි. එක්තරා දිනෙක සමුරායිවරයා යම් අවශ්‍යතාවකට නිවෙසින් බැහැරට ගියේය. එසේ ගොස් වේලාසනින් නිවෙසට පැමිණීමට ඔහුට හැකි විය. එසේ එනවිට ඔහුට දැකගන්නට ලැබුණේ ඔහු කිසිසේත් අපේක්ෂා නොකළ දසුනකි.

එනම් තම ආදරණීය බිරිය වෙනත් පුරුෂයකු සමඟ සංසර්ගයේ යෙදී සිටින ආකාරයයි. මෙම නින්දිත ක්‍රියාව දුටු සමුරායිවරයාගේ කෝපය ඉහවහා ගියේය. දැඩි ලෙස කෝපයට පත් සමුරායිවරයා බිරියට ලබා දෙන දඬුවමක් වශයෙන්, ඔහු අත තිබූ කඩුවෙන් තම බිරියගේ මුඛය වම් කනේ සිට දකුණු කන දක්වා කපා දැමීය. එයිනුදු මෙම වෛයිරය අවසන් නොවීය. එහිදී එම කාන්තාව මරුමුවට පත් වනවාද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි සඳහනක් නොමැත. ඒ කෙසේ වුවද ඒ මොහොතෙහි සැමියා පිළිබඳව ඇති කරගත් අධික වෛරය නිසාවෙන් ආත්මයෙන් ආත්මයට නොසිඳෙන වෛයිරයකට පත් ඇය යක්‍ෂණියක් බවට පත් වූ බවත් පුරාවෘත්තවල තවදුරටත් සඳහන් වෙයි.


කෙසේ නමුත් ඇයගේ මරණින් පසුව පළිගැනීමේ ආත්මයක් වශයෙන් ඇය ආපසු පැමිණියාය. එදා සිට අද දක්වාම ඇය යක්‍ෂාවේශයෙන් පිරිමි පාර්ශ්වයෙන් පළිගනිමින් පිරිමින් පසුපස ලුහුබඳින්නීය.
ජනශූන්‍ය වූ, ගහ කොළින් වට වූ පාළු මංමාවත් අද්දර බොහෝ විට දහවල් කාලයේදී පැමිණෙන අයගේ ඉදිරියට පැමිණෙන යක්ෂණියක් ලෙසින් මැය ඉතාම ප්‍රසිද්ධය.

නිරන්තරයෙන් ඇගේ විරූපී මුහුණ රෙදි කඩකින් හෝ වෙස් මුහුණකින් ආවරණය කරගෙන පැමිණෙන්නීය. එවිට ඇයට හමුවන කිසිදු පුරුෂයකුට බැලූ බැල්මට ඇය විරූපී කාන්තාවක් යැයි හැඟී යන්නේ නැත. මෙලෙසින් පෙරමඟදී ඇයට හමුවන කඩවසම් පුරුෂයන්ගෙන් ඇය මෙසේ ප්‍රශ්න කරන්නීය.

යක්ෂණිය – හේයි… කොහොමද? මා දුටු පසු ඔබට හැඟී යන්නේ කුමක්ද? සැබැවින්ම මා ලස්සනයිද?
පුරුෂයා – ඔව්…. ඔබ සැබැවින්ම සුන්දර කාන්තාවක්.
යක්ෂණිය _ ආ එහෙමද…. ස්තූතියි. ඔබ, මා ලස්සනයි යනුවෙන් ප්‍රකාශ කළත්, බලන්න මට සිදු වී ඇති දේ…
ඇය මෙතෙන් වේලා වෙස් මුහුණකින් හෝ රෙදි කඩකින් වසා ගෙන සිටි තම මුහුණ වින්දිතයන් ඉදිරියේ විවෘත කොට පෙන්වන්නීය. මොහොතකට පෙර හමුවූ මෙතෙක් වේලාවක් පුරාවට අර කඩවසම් පුරුෂයා සමඟ ‍ෙදාඩමලු වූ කාන්තාව, ඉතාම සුරූපී රූප ස්වභාවයකින් යුතු තැනැත්තියගේ සියුමැලි මුහුණ විරූපී වී ගොස් ඇති ආකාරය අදහාගත නොහැකි වේ. එනම් ඇයගේ මුඛය එක් කනක සිට අනෙක් කනට කපා දමා ඇත…… ! එම මුහුණේ සෝබමානබව වියැකී ගොස් ඇති ආකාරය ඉතාම බියකරුය.
එවිට යක්‍ෂණිය නැවත වතාවක් අසන්නේ
“මම ලස්නයිද?” කියාය.
එවිට පුරුෂයා
“නැහැ.” දැන් නම් ඔබ ලස්සන නැහැ යනුවෙන්. පිළිතුර ලැබුණු සැණින්, ඇය කෝප වේ. ඒ මොහොතේම ඇය තම අත ඇති තියුණු උල් ආයුධයෙන් ඔවුන්ව මරා දමන්නීය. යම් හෙයකින් ඒ මොහොතේ ඔවුනගේ පිළිතුර “ඔව්.” ඔබ දැනුත් සැබැවින්ම පියකරුයි, සුන්දරයි යන්න වූවා නම් ඇයගෙන් බේරී පලා යෑමට ඉඩක් ලැබෙනු ඇත.

නමුත් පිළිතුර වූයේ “නැහැ” යන්න නම් ක්ෂණයෙන් ක්‍රියාත්මක වන ඇය තමන්ගේ දරුණු පළිගැනීමේ චේතනාව මුදුන් පත් කරගනුවස්, තම විරූපී මුහුණට සමාන වන පරිද්දෙන් ඔවුන්ගේ මුඛයද කපා දමන්නීය. මෙම Kuchisake – Onna යක්ෂණියව යම් අයකුට මුහුණට මුහුණ හමුවුවහොත්, ඇයගෙන් බේරීම පලා යෑමට භාවිත කළ හැකි හොඳම උපක්‍රම වන්නේ “ඇයගේ පෙනුම සාමාන්‍ය ලෙස විස්තර කිරීම හෝ ඇයගේ අවධානය වෙනතකට යොමු වන ආකාරයෙන් ඇයගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමයි.” එනිසා යම් පුරුෂයකුට Kuchisake – Onna යක්ෂණියව මුණ ගැසුණහොත් උපක්‍රමශීලීව සහ කාලානුරූපීව පිළිතුරු දීමට මතක තබා ගත යුතුයි.


ජනප්‍රවාදවලට අනුව Kuchisake – Onna යක්ෂණියගේ මෙම පුරාවෘත්තය 17-19 සියවස් දක්වා විහිදෙයි. කෙසේ වෙතත් 1979 කාල වකවානුවේදී මෙම යක්ෂණිය ජපානය, කොරියාව, තායිලන්තය වැනි රටවලින් හමුවී ඇත. ඒ බව එකල එම රටවල පළවූ විවිධ පුවත්පත්වලද සඳහන්ව ඇත. අතීතයේදී කුචිසාකේ-ඔන්නාගේ පුරාවෘත්තය 1979 ජනවාරි 26 වැනිදා ට්ඪටභ ප්‍රාන්ත පුවත්පත Gifu Nici Nichi Shinbun වැනි ප්‍රකාශනවලත්, 1979 මාර්තු 23 වැනි දින සතිපතා ප්‍රකාශනය වන Shukan Asahi වැනි ප්‍රකාශනවලත් වාර්තා විය.

සතිපතා පුවත්පතක් වන Shukan Shincho අතීතයේදී ජපානයේ ජීවත් වූ එක්තරා සමුරායිවරයකුට හිද 1979 අප්‍රේල් 05 වැනි දිනද කුචිසාකේ _ ඔන්නා පිළිබඳ වාර්තා කොට තිබිණි.
මේ යක්ෂණිය පිළිබඳව විවිධ කටකතා එකල ජපානය ඇතුළු විවිධ රටවල් පුරා පැතිර ගියද ඇයගෙන් කුඩා දරුවන්ට හානියක් වන බවක් නම් සඳහන් නොවේ.

නමුත් එකල ජපානයේ ඇතැම් පළාත්වල කුඩා දරුවන් තම පාසල් කාලය නිම වී නිවෙසට තනිවම ගෙන්වා ගැනීමටද මවුපියන් බිය විය. එමෙන්ම කුඩා දරුවන්ගේ සහායට සිටිනා ගුරු – දෙගුරු සංගම්වල සාමාජිකයන් අතරද මෙම යක්ෂණිය පැමිණෙන බවට රාවයක් පැතිරුණු හෙයින් කුඩා දරුවන් පවා තනිවම පාසල් යෑමට මෙන්ම පාසල් ඇරී නිවෙසට ඒමට දැඩි බියක් දැක්වීය.
කෙසේ නමුත් මෙම කුචිසාකේ – ඔන්නා යක්ෂණියව සැබැවින්ම මුණ ගැසුණු බොහොමයක් දෙනා සිටින බව තමයි ආරංචි මාර්ගවලින් ලැබෙන තොරතුරු අනුව පෙනී යන්නේ.

මේ පුරාවෘත්තාන්තවල සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් මේ කතාව තුළ ආදරය _ පළිගැනීම වැනි සංවේදී කාරණා ගැබ්ව ඇති බව අපට පැහැදිලිය. පෙනෙන දේට වඩා නොපෙනෙන කරුණු රාශියක් මේ තුළ ගැබ්ව ඇත. මෙම වෘත්තාන්තය කොතෙක් ජනප්‍රිය වූවාද කිවහොත් මෙනමින් චිත්‍රපට පවා නිපදවීමට තරම් එය ප්‍රබල කතාන්දරයක් විය.
ඉන්පසුව ජපානයේ මේ පිළිබ¼දව පළවන කටකතා අවසන් වුවද මෑතක සිට කුචිසාකේ- ඔන්නා රතු වෙස් මුහුණක් ලෙසින් කොරියානු දරුවන් අතරද ප්‍රචලිත හොල්මනක් සිටි බවට කරුණු අනාවරණය විය.
මෙවැනි සැඟවුණු බිහිසුණු කතාන්දර ලොව තව කොතෙක් ඇතිද? ඒ දේවලින් අප දන්නේ ඉතාම කුඩා කරුණු කාරණා කිහිපයක් පමණය.

දිනූෂා මනෝරි නිශ්ශංක