විශ්වයේ උත්තරීතර දෙවඟන ලලිතා ත්‍රිපුර සුන්දරී දේවිය නමදිමු

0
161


ලාංකික දේව භක්තිකයන් තම තමන්ගේ ලෞකික හා ආධ්‍යාත්මික අභිවෘද්ධිය උදෙසා විවිධ දෙවි දේවතාවුන් වන්දනාමාන කරති. මෙලෙස වන්දනාවට පාත්‍ර  වන දෙවි දේවතාවුන්ගෙන් ඇතැමුන් ලාංකික සම්භවයකින් යුතුවන අතර ඇතැම් වන්දනා හින්දු ආභාසය ගනී. නමුත් සමස්තයක් ලෙස ගත් කල වර්තමානයේ පවතින බොහෝ දේව වන්දනා හෙළ සංස්කෘතිය සමඟද බද්ධව පවතී. 

 කුඩා දරුවාගේ අකුරු කියවීමේ මංගල්‍යයේදී, බුද්ධියට සහ කලාවට අධිපති හින්දු දෙවිවරුන් වන ගණ දෙවියන් සහ සරස්වතී මෑණියන් උදෙසා පූජා පැවැත්වීම විශේෂ කොට දැක්විය හැකිය. ඒ හැරුණු කොට විෂ්ණු, ශිව, ලක්ෂ්මී, කඳ කුමරු සහ දුර්ගා වැනි ප්‍රධාන හින්දු දෙවිවරුන්ද සිංහල බෞද්ධ ජනතාව වන්දනාමාන කරති. ඇතැම්හු එම දෙවිවරුන්ට හෙළ මූලයක් ඇති බව පවසති.

ඉහත දැක්වූ ප්‍රධාන දෙවිවරුන්ට අමතරව ඉතා විශාල දේව ස්වරූප ගණනාවක් හින්දු ධර්මය තුළ වන්දනාවට පාත්‍ර  වේ. නමුත් බහුතරයක් හින්දුන්ගේ විශ්වාසයට අනුව මේ සියලු දේව ස්වරූප එක් දෙවි කෙනකු හෝ දේවතාවියක තුළින් නිර්මාණය වූ ස්වරූප බව පිළිගනු ලබන අතර එම උත්තරීතර සර්වබලධාරි දෙවියන් තුළ අන් සියලුම දෙවි දේවතාවුන්ගේ ශක්තිය ගැබ්ව පවතින බව පිළිගනු ලබයි.

 මාතෘ දේව වන්දනාව හෙවත් මවු දේවතාවිය වටා ගෙතෙන වන්දනය තුළ මේ විශ්වයේ සියල්ලට ඉහළින් සර්වබලධාරී දෙවඟනක් සිටින බවත් ඇය විශ්ව නිර්මාණයේ ප්‍රභවය සේම විනාශයේ හේතුව බවත් ඔවුන් පිළිගනී. දේවී භාගවත පුරාණය සහ ත්‍රිපුරා රාහස්‍ය වැනි හින්දු ශුද්ධ ලියවිලි තුළ මෙම උත්තරීතර දෙවඟන ආදී පරාශක්තී සහ ආදී ශක්ති ලෙසින් සඳහන් කොට ඇති අතර බ්‍රාහ්මා, විෂ්ණු සහ ශිව යන ත්‍රිමූර්තිය ඇයගේ පුරුෂ ස්වරූප ලෙසත් සරස්වතී, ලක්ෂ්මී සහ කාලි යන ත්‍රි දෙවඟනන් එතුමියගේ ස්ත්‍රී ස්වරූප ලෙසටත් දක්වා ඇත. 

මෙම සර්වබලධාරි දෙවඟන විශ්වයේ සෑම අංශුවක් තුළම ශක්තිය ස්වරූප කොටගෙන පවතී. ඇය පංච මහා ධාතුන්ගේ ශක්තිය බැවින් විශ්ව ශක්ති ස්වරූපයෙන් ආකාරයක් රහිතව සියල්ල තුළ පැතිර පවතී. මහා ශක්තිය ආකාරයක් රහිතව සියල්ල පුරා පවතින අතර බැතිමතුන්ගේ අභිවෘද්ධිය සඳහා ඇය අනන්ත සංඛ්‍යාවක් භෞතික ස්වරූප දරා ගන්නා බව බැතිමතුන් විශ්වාස කරයි. එතුමියගේ විවිධ ස්වරූප අතරින් තම ශක්තිය පූර්ණ වශයෙන් එක් කොට ගන්නා විශිෂ්ටතම ස්වරූපය වන්නේ ශ්‍රී ලලිතා ත්‍රිපුර සුන්දරී ස්වරූපයයි. 

ලලිතා යනු ලාලිත්‍යයයි, ත්‍රිපුර යනු නිර්මාණය, පැවැත්ම සහ විනාශයයි, සුන්දරී යනු සුන්දර බවයි. ඇය තම ලීලාවක් ලෙස විශ්ව නිර්මාණය, සංරක්ෂණය සහ විනාශය චක්‍රයක් ආකාරයට සිදු කරනු ලබයි. මීට අමතරව කාමාක්ෂි, රාජ රාජේශ්වරි, ලලිතාම්බිකා යන නාමයන්ගෙන්ද ඇයව ආමන්ත්‍රණය කරයි. හරිතායන විසින් රචිත ත්‍රිපුරා රාහස්‍යම නම් ලියවිල්ලට අනුව විශ්වය නිර්මාණය වීමට ප්‍රථමව ත්‍රිපුර සුන්දරී දේවිය පමණක් වැඩ සිටි බවත් එතුමිය තුළින් බ්‍රාහ්ම, විෂ්ණු සහ ශිව යන ත්‍රිමුර්තිය නිර්මාණය වූ බව සඳහන් වේ. 

එබැවින් ත්‍රිපුර සුන්දරී දෙවඟන යනු ත්‍රිමුර්තියේ මාතාවයි. ලලිතා දේවිය වනාහි සියලු ශක්තීන්ගේ මූලය සේම සියල්ලටම ඉහළින් පාලනය හොබවන මහා රැජනක් ලෙස දක්වා තිබේ. ඇයගේ ස්වරූපය වර්ණනා කරන්නේ රාජකීය සභාවක බ්‍රාහ්ම, විෂ්ණු, ශිව, ඊශ්වර පාද සතර ලෙස පවතින, ආසනය කොට්ටය ලෙස ගෙන ශිව වන සිංහාසනයේ විරාජමානව සිටින සූර්යයන් දහසකගේ තේජසින් යුත් දෙවඟනක් ලෙසයි.

 ඇයට අත් සතරක් ඇත. පිටුපස අත්වලින් පාසයක් සහ අංකුසයක්ද, ඉදිරි අත්වලින් පුෂ්පයන් පහක් සහ උක් දණ්ඩක් දරා සිටී. ආසනයේ පාද සතරේ බ්‍රාහ්මගෙන් නිර්මාණයද, විෂ්ණුගෙන් පැවැත්මද, ශිවගෙන් විනාශයද, ඊශ්වරගෙන් සංසාර මායාවද, සදා ශිවගෙන් මුක්තියද සංකේතවත් වේ. 

දේවිය එම ආසනය මත විරාජමානව සිටීමෙන් අරුත් ගැන්වෙන්නේ දෙවඟන මෙම ආකාර පහම ස්වාධීනව නියෝජනය කරන බවත්, එතුමිය රහිතව ඒ කිසිවක් සිදු නොවන බවත්ය. ලලිතා දේවිය හට කළ නොහැකි කිසිවක් නොමැති ඇයගේ නම් දහසක් අඩංගු වන ඉතාමත් බලගතු ලලිතා සහස්‍රනාමය තුළ දැක්වෙන පරිදි ඇය සර්ව සම්පූර්ණ සේම, එතුමිය තුළ ලක්ෂ්මීන් දහසකගේ ශි්‍රයාව පවතී. ධනයට සහ සෞභාග්‍යයට අධිපති ලක්ෂ්මී දෙවඟන පවා එතුමියගේ අංශුවකි. ලක්ෂ්මියට පවා එම ශි්‍රයාව ලබා දෙන්නේ ලලිතා දේවියයි.

මනු ලොව එතුමියගේ ප්‍රකට වීම පිළිබඳව බ්‍රාහ්මාණ්ඩ පුරාණයේ ලලිතෝපක්‍යානය තුළ මෙසේ දක්වා තිබේ. ශිව දෙවියන්ගේ පළමුවන භාර්යාව වන සතී දේවිය, තම පියා තම ස්වාමියාට කළ අවමානය දරාගත නොහැකිව අග්නි හෝමයට පැන සිය දිවි තොර කරගනී. තාරක නම් අසුරයකු මෙකල අසුර ලොව පාලනය කරමින් තමාගේ මරණය ශිවගේ පුත්‍රයකුට පමණක් සිදු කළ හැකි ලෙස මහා බ්‍රාහ්මයාගෙන් වර ලබා ගනි. තරකාසුරගේ අධාර්මික ක්‍රියා ඉවසාගත නොහැකි වූ දේවතාවුන් යළි ස්වරූපයකින් පැමිණ ශිව දෙවියන්ගේ පතිනිය වී පුත්‍රයකු බිහි කරන ලෙස විශ්වයේ උතුම් දෙවඟනට කන්නලව් කළහ. පසුව ලලිතා දේවිය තම අංශු ස්වරූපයකින් හිමාල රජුගේ දියණිය ලෙස පාර්වතී නාමයෙන් ජන්මය ලැබුවාය. නමුත් පතිනියගේ වියෝවෙන් පසු ගෘහස්ථ දිවිය අත් හැර සිටි මහාදේවයන් ලලිතා දේවිය උදෙසා යෝග වැඩීමට හිමාලයට ගොස් සිටිය අතර පාර්වතී දේවිය දැකීමෙන් ඔහුට ඇල්මක් හට නොගැනුණි. පසුව අනංගයා ලවා මහාදේවගේ සිතේ කාමය ජනිත කරවීමට දේව ගණයා උත්සාහ කළ අතර එමඟින් සිදු වූයේ ශිවගේ තෙවන ඇසෙන් කාම දෙවියන් භස්ම බවට පත් වීමයි. ඉන් බොහෝ කලකට ශිව පාර්වතී විවාහයෙන්ද පසුව ශිව පුත්‍ර  ගණ දෙවියන් විසින් මෙම භස්මවලින් එක් බෝනික්කකු නිර්මාණය කොට ඒ සමඟ ක්‍රීඩා කරමින් සිටිනු දුටු පාර්වතිය, එම බෝනික්කාට ප්‍රාණය ලබා දෙන ලෙස තම ස්වාමියාගෙන් ඉල්ලුවාය. මෙසේ බෝනික්කාට ප්‍රාණය ලබා දුන් පසුව දිව්‍ය  ශක්තියෙන්ම ඔහුගේ ආයුෂ වර්ධනය විය. ගණපතිගේ උපදෙස් පරිදි ශිව දෙවියන් උදෙසා තපස් රැකීමෙන් අනතුරුව කල්ප ගණනාවක් සමස්ත විශ්වයන් පාලනය කිරීමටත්, තමාට පහර දෙන ඕනෑම අයකුගේ ශක්තිය තමාට හිමි වන ලෙසටත් වර ලැබුවේය. මේ වරය ලැබීමත් සමඟ බ්‍රාහ්මයා භණ්ඩ! භණ්ඩ! එනම් අධමය! අධමයා! ලෙස හඬ නැඟූ හෙයින් ඔහු භණ්ඩාසුර ලෙසින් ප්‍රචලිත විය.

තම ශක්තියෙන් අහංකාරයට පත් වූ භණ්ඩාසුර සමස්ත සංසාරයටම පීඩා පමුණුවන්නට විය. ශිව දෙවියන්ගේ වරය අනුව කිසිවකුටත් ඔහු සමඟ සටන් කිරීමට නොහැකි විය. මෙසේ ඔහු විශ්වයේ බලවත්ම අසුරයා බවට පත් විය. සමස්ත දේවතාවුන්ට, බ්‍රහ්මයන්, මුනිවරුන් තම පීඩාවන් දුරු කරගැනීමට මහා යාගයක් කොට සියලුම ශක්තීන්ගේ මූල ශක්තිය වන ආදි පරාශක්තියට ආරාධනා කරන්නට වූ අතර එහි අග්නියෙන් ප්‍රකට වූයේ ශ්‍රී ලලිතා ත්‍රිපුර සුන්දරී දේවියයි. විශ්වකර්ම දෙවියන් විසින් ඇය උදෙසා මේරු පර්වතය මුදුනේ අලංකාර නගරයක් නිර්මාණය කෙරූ අතර ලලිතා දේවිය එහි සිංහාසනාරූඪ වූවාය. පසුව අනේකවිධ ස්වරූප ධාරණය කරගනිමින් භණ්ඩාසුරගේ පුත්‍රයන්, සොහොයුරන් ඇතුළු සමස්ත සේනාව විනාශ කොට විශ්වයේ බලවත්ම අස්ත්‍රය වන මහා කාමේශ්වර අස්ත්‍රයෙන් භණ්ඩාසුර සංහාරය කළාය.   

ලලිතා දේවිය වන්දනා කිරීමෙන් සහ එතුමියගේ සහස්‍ර නාමය දිනපතා ගායනා කිරීමෙන් සමස්ත ග්‍රහ ‍ෙදා්ෂවල බලපෑම අවමයට පත් වේ; ලලිතා මාතාවගේ සහස්‍ර නාමය යනු එතුමිය සිංහාසනාරූඪ වූ පසු අෂ්ට වාක් දේවින් වන, කාමේශ්වරී, මෝධිනී, විමලා, අරුණා, ජයිනි, සර්වේශ්වරී සහ කෞලිනි යන්න එතුමිය වර්ණනා කරමින් ගායනා කෙරූ නම් දහසයි. ලලිතා දේවියට අවනත නොවන කිසිවක් විශ්වය තුළ නොමැත. සියලුම ග්‍රහ දේවතාවුන් පවා එතුමියගේ දරුවන්ය. එසේම ඇය තුෂ්ටි (සතුට), පුෂ්ටි (යහපත් සෞඛ්‍ය), මති (ප්‍රාඥාව) සහ ධෘති (නිර්භීත බව) ආදියේ ස්වරූපයයි. තම බැතිමතුන්ගේ සියලුම බාධාවන් දුරලන හෙයින් විග්ණ නාශිනි ලෙසින්ද හැඳින්වේ. ඕතොමෝ කලි යුගයේ මිනිසා තුළ ඇති වන විකාරයන් දුරලයි. එතුමිය වන්දනා කරන බැතිමතුන්ට අෂ්ට සිද්ධින් ලබා ගැනීමට ඉතාමත් පහසුය. එතුමියට වන්දනා කිරීම නිවෙසේ පිට හෝ ඇතුළ ආදියේ ගැටලුවක් නොවන අතර ඊශාන දිසාව ඉතාමත් ශුභ වේ. සරල පූජාවක් වශයෙන් එළඟි තෙල් පහනක්, බෙලි කොළ, මල් (බක් මී සහ රතු පැහැ වද වඩා ප්‍රියයි) සහ සුවඳ දුම් පූජා කොට මන්ත්‍ර තෙවර බැගින් කියන්න.

ගුප්ත ගවේෂක ඩී.එම්. සුභාෂ්

නුගේගොඩ

0766887605