ලෝකයේ හොඳම වේදිකා නළුවා ලංකාවේ හිරාන්…

0
35


බි්‍රතාන්‍යයේ වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ කීර්තිමත් සම්මාන උළෙලක් වන ලෝරන්ස් ඔලිවියර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගන්නා ලද්දේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණ නළුවකු විසිනි. 

මෙම සම්මානයෙන් පිදුම් ලැබූ හිරාන් අබේසේකර මේ වනවිට බි්‍රතාන්‍යයේ ජීවත්වන කෙනෙකි. ඔහුට සම්මානය හිමි වූයේ Life Of Pi නමැති වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාමින් ඔහු දැක්වූ දක්‍ෂතාව නිසාය. මෙම නාට්‍යය එම නමින්ම යුත් නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි. ඊට පසුබිම් වන්නේ නැවක් අනතුරට පත්වීමෙන් පසු ජීවිතාරක්‍ෂක බෝට්ටුවක තනිවන තරුණයකු සහ කොටියකු පිළිබඳ අපූරු කතාවකි. Life Of Pi නවකතාව ඇසුරෙන් කලකට පෙර චිත්‍රපටයක්ද නිර්මාණය වූ අතර සුප්‍රකට ඉන්දීය නළු ඉර්ෆාන් ඛාන්ද එහි ප්‍රධාන චරිතයක් නිරූපණය කළේය. 

සිය සම්මානය පිළිගනිමින් කළ කතාවේදී හිරාන් ශ්‍රී ලංකාවට සිය ගෞරවය පුද කර තිබූ අතර තම මවු රට මේ මොහොතේ මුහුණදී සිටින අර්බුදය පිළිබඳවද සඳහන් කර තිබිණි. ලාංකිකයන් ගැන තමා කල්පනා කරන බවද ඔවුන් සමඟ මේ මොහොතේ  තමාද මෙහි සිටියා නම් යැයි සිතන බවද හිරාන් ප්‍රකාශ කර තිබෙනු දැකිය හැකි විය. 

Life Of Pi නාට්‍යයේ කොටියාගේ චරිතය සඳහා නළුවන් සත් දෙනකු යොදාගෙන තිබූ බව සඳහන්ය. මෙහි ඇති විශේෂත්වය වන්නේ හොඳම සහාය නළුවා සම්මානය දිනාගන්නා ලද්දේ මෙම නළුවන් සත් දෙනා විසින් වීමය. තවත් ප්‍රධාන සම්මාන කිහිපයක්ද මෙම නාට්‍යයට හිමිව තිබිණි. පසුගිය ඉරිදා සම්මාන උළෙල පවත්වා තිබුණේ ලන්ඩනයේ Royal Albert Hall  නමැති ශාලාවේයි.