මා දේශපාලන ජීවිතය පූජා කළේ රට ගොඩගන්නයි

0
36


එක පාරට පිල් මාරු කළේ ඇයි ?

අසීරු, අමාරු තීරණයක් මේක. හැමදාම පක්ෂ අනුව බෙදිලා අවුරුදු ගාණක් කරන ලද දේශපාලනයේදී රටක් හැටියට අපිට ගොඩක් දුර්වලතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ රට මේ තත්ත්වයට වැටුණේ දේශපාලනයෙන් නම් ඒ දේශපාලනයෙන්ම රට ගොඩනැඟිය යුතුයි. මේ වෙලාවේදී රටේ අස්ථාවරභාවයක් නිර්මාණය වෙමින් තියෙනවා. එය රටටත්, ජනතාවටත් හොඳ දෙයක් නෙවේ. සමහර දේශපාලන පක්ෂවලට එය හොඳ වෙන්න පුළුවන්. නමුත් රටට, ජනතාවට හොඳ නෑ. 

ඒ නිසාද රාජ්‍ය ඇමැති ධුරයක් භාර ගත්තේ?

මගේ මූලික අරමුණ වුණේ තනතුරු ලබා ගන්න නෙවේ. මට ජනාධිපතිතුමා එන්න කියලා කිව්වා. මම ගියාට පස්සේ මේ රට අරාජික වෙන තත්ත්වයේදී තරුණයෙක් විධියට සහයෝගය දෙන්න කියලා ඉල්ලුවා. ඒ පාර මම කිව්වා “මම සහයෝගය දෙන්නම්. තනතුරු මුකුත් අවශ්‍ය නැහැ” කියලා.

නමුත් එතුමා යෝජනා කළා තියෙන අංශවලින් අමාරුම ගැටලුකාරිම අංශය තමයි කෘෂිකර්මයට සම්බන්ධ අමාත්‍යාංශය. පොහොර සහනාධාරය, පොහොර ලබාදීම සම්බන්ධව ගොවි ජනතාව විශාල කනගාටුවක ඉන්නේ. ඒ නිසා මේක යථාවත් කරගන්න, වංචා දූෂණවලින් තොර, ගොවි ජනතාව ගැන අවබෝධයක් තියෙන ඔවුන් නියෝජනය කරන ප්‍රදේශයක කෙනෙක් අවශ්‍යයි. ඒකට ඔබතුමා තමා හොඳම කෙනා. 

ඒ හින්දා මේක භාරගන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා. එහෙම නැතිව තනතුරක් නිසා මේ තීන්දුව ගත්තේ නැහැ. බොහොම පැහැදිලිව කියනවා ඒක. තනතුරක්වත් නැතුවයි සහාය දෙන්න තීරණය කළේ. නමුත් එතුමා මේ තනතුර භාරගන්න කිව්වාම මම එතැනදිත් කල්පනා කළේ ජනතාව වෙනුවෙන් යමක් කළොත් හොඳයි කියලා. ඒ නිසයි ඒ වගකීම භාර ගත්තේ. රට අස්ථාවර වීම වැළැක්වීමටයි මම ගොඩක් අපහසුවෙන් මේ තීරණය ගත්තේ. මගේ දේශපාලන අනාගතයත් මම පැත්තකින් තිබ්බා. මේ වෙලාවේදී හිතුවේ රට ගැන.

බැසිල් රාජපක්ෂ කීයක් දුන්නද තනතුර භාර ගන්නවට? 

හුඟ දෙනෙක් කල්පනා කරයි මේ වගේ දේකට එහෙම දේවලුත් කරන්න ඇති කියලා. මම දීර්ඝ කාලයක් දේශපාලනය කරපු කෙනෙක්. අවුරුදු විසිපහක් මහජන නියෝජිතයෙක් හැටියට කිසිම වංචා දූෂණයකට සම්බන්ධ වෙලා නැහැ. ඉදිරියට සම්බන්ධ වෙන්නෙත් නැහැ. රුපියල් සතවලට යටවෙලා මේ තීරණය ගත්තේ නැහැ. ඉදිරියේදී ගන්නෙත් නෑ. ඒක මං නොබියව හෘද සාක්ෂියට එකඟව කියනවා. තනතුරු නිසා නොවේ රට වෙනුවෙන් තමා මේ තීරණය ගත්තේ. දුන්න වගකීම ඉටු කරන්න අවස්ථාවක් විධියට මේක පාවිච්චි කරනවා. 

ඔබ කියන්නේ මේක ඩීල් එකක් නෙවේ කියලද?

නෑ, ඩීල් එකක් නෙවේ. පොළොවේ පය ගහලා ඉන්න මනුස්සයන්ට මේ රටේ තත්ත්වය තේරෙන්න ඕනේ. කවුද පාර්ලිමේන්තුවේ මේ වගකීම ගන්නේ. කිසිම කෙනෙක් ඒ වගකීම ගන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස භාර ගන්නෙත් නෑ. අනුර දිසානායක භාර ගන්නෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ භාර ගන්නෙත් නෑ. 

එතකොට ඔබලා යෝජනා කළ අන්තර්වාර පාලනය?

අපි යෝජනා කරපු අන්තර්වාර පාලන ක්‍රමයක් හදන්නත් අවශ්‍ය ඉලක්කම් ප්‍රමාණය නැහැ. එක පැත්තකින් මම ප්‍රතිපත්තිමය වශයෙන් සමගි ජන බලවේගය එක්ක එකතු වෙලා සාකච්ඡා කළා මේ ගැන. දේශපාලන වශයෙන් කල්පනා කරොත්  පහුගිය කාලේ ශ්‍රී ලංකා එකට තිබ්බ ලොකුම චෝදනාව තමයි අපිට ප්‍රතිවිරුද්ධ දේශපාලන මතවල ඉන්න අයත් එක්ක දේශපාලනය කරා, ආණ්ඩු කරා කියන එක. කිසි කෙනෙක් වගකීම භාර ගන්නේ නෑ.  

රට අගාධයකට නේද මේ යන්නේ?

දවසින් දවස රට අරාජික වෙනවා. අයි.එම්.එෆ්. එකට අපි යන්න ඕනේ. ඒ අය අනිවාර්යයෙන්ම ඒ රටේ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවද කියලා බලනවා. දේශපාලන ස්ථාවරත්වයක් නැති රටක් ආර්ථික වශයෙන් ස්ථාවර කරන්න බැ කියලා ඕනෑම කෙනකුට තේරෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපි රට අස්ථාවර නොකර කටයුතු කරන්න ඕනේ. ආර්ථිකය තවදුරටත් පල්ලෙහාට ඇදලා දැම්මොත් රට අනිවාර්යයෙන්ම ලේ විලක් වෙන එක වළක්වන්න බෑ. මිනිස්සු ඇනකොටාගෙන රණ්ඩු කරලා ප්‍රශ්න රාශියකට මැදිහත් වෙයි. ලෝකයේ සමහර රටවලට වෙච්ච ඒ නරක අධම තැනකට යනවා අපි දැක්කා. බෙදුම්වාදී ත්‍රස්තවාදය පැවතුණු කාලෙටත් වඩා නරකම තැනක තමයි අපි ඉන්නෙ. ඒ නරකම තැනින් රට ගොඩගන්න උත්සාහයක් දැරීම සඳහා තමයි මගේ දේශපාලන ජීවිතය පූජා කළේ. 

ඔය කියන දේශපාලන ස්ථාවරත්වය ඇති කරගන්න පක්ෂයේ අනෙක් සාමාජිකයොත් එක්ක එකට එකතුවෙලා තීරණයක් ගන්න බැරි වුණේ ඇයි?

නෑ. නෑ. එකට එකතුවෙලා තීරණ ගනිද්දී මගේ අදහසම ක්‍රියාත්මක වෙන්නේ නෑනේ. කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා කරලා ගන්න තීරණයක්. මම කොයිම වෙලාවකවත් පක්ෂය ගන්න තීරණයක් වත් එහි නායකත්වය වත් විවේචනය කරන්නේ නෑ. මගේ එහෙම බලාපොරොත්තුවකුත් නැහැ. මම පක්ෂයත් එක්ක වගේම පක්ෂ නායකත්වය එක්කත් හොඳින් වැඩ කරපු කෙනෙක්. ඒ නිසා මේ වෙලාවෙත් ඒ තීන්දු ක්‍රියාත්මක කර ගන්නත් බැරි නම් ඇත්තටම මොකක්ද ඊළඟ පියවර.

මුළු රටක්ම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරද්දී, ජනාධිපතිට ගෙදර යන්න කියලා කියද්දී ඇයි ඔබ ජනාධිපතිගේ ඉල්ලීම පිළිගත්තේ?  ඒක හදවතට එකඟද?

ජනාධිපතිතුමා ගෙදර යනවා නම් මේ ගැටලුවක් නැහැ. නමුත් ප්‍රායෝගිකව ඒක කරන්න බැහැ. එතුමාට මේ රටේ මහජනතාව බලය දුන්නේ අවුරුදු පහකට. එතුමා අතින් අඩුපාඩු වෙලා තියනවා කියලා මමත් පිළිගන්නවා. පහුගිය කාලයේ ආණ්ඩුවේ හැසිරීම තුළ අඩුපාඩුකම් සිද්ධ වුණා. ජනතාවටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ විධියට විරෝධතාවයක් දක්වපු නිසා තමයි එතුමන්ලාගේ අඩුපාඩු තේරුම් අරගෙන නැවත අලුත් ගමනක් ආරම්භ කරලා තියෙනවා. මහ බැංකුවට හොඳ අධිපතිවරයෙක්, මුදල් අමාත්‍යාංශයට ලේකම්වරයෙක් පත්කරලා තියෙනවා.  වගකීමක් සහ  පිළිගැනීමක් තියෙන මුදල් ඇමැතිවරයකු පත්කර තියෙනවා. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහත්තයා හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයෙක්. එක පැත්තකින් ජනතාවගේ ඉල්ලීමක් මම ඉටු කරලා තියෙනවා.

ඒ මොකද්ද?

රාජපක්ෂවරයෙක් ගෙදර යවන එක.

අලුත් කැබිනට්ටුව කවදා විතර දිවුරුම් දෙයිද?

ඒ ගැන නම් මම තාම දන්නේ නෑ. මම හිතන්නේ ඉදිරි කාලය තුළදී දිවුරුම් දෙන්න ඕන. මොකද රට ඉස්සරහට අරං යන්න අවශ්‍ය නිසා. 

තනතුරක් දෙනවා කියලා කවුද කතා කරේ 

ජනාධිපතිතුමා

එතුමා පෞද්ගලිකව කතා කළාද?

ඔව්. එතුමා පෞද්ගලිකව කතා කරලා කිව්වා මේක භාර අරගෙන කටයුතු කරන්න කියලා. 2005 ඉඳලා මම එතුමා සමඟ වැඩ කළා. “ඔබතුමා හොඳ කෙනෙක්. නමුත් කලින් වතාවේදී අපිට තනතුරු දෙන්න විදිහක් තිබ්බෙ නෑ. පක්ෂ විදිහට තමා තනතුරු දුන්නේ. ඒකයි තනතුරක් දෙන්න විදිහක් තිබුණෙ නැත්තෙ. රට ස්ථාවර කිරීමට ඉදිරියට ඒම ගැන අගය කරනවා. ඒ හින්දා මේ තනතුර භාරගෙන කටයුතු කරන්න” කියලා ජනාධිපතිතුමා කිව්වා. මම ස¾දුදා හවස ගියේ ජනාධිපතිතුමා මුණගැහිලා එන්න. ඒ ගියාට පස්සේ ජනාධිපතිතුමා කරුණු රාශියක් කිව්වා. එදාම අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා ඉල්ලීමක් කළා පක්ෂ භේදයකින් තොරව මේ වෙලාවේ රට ස්ථාවර කරන්න එකතු වෙන්න කියලා. ඉතින් මම හිතන්නේ මගේ හෘද සාක්ෂියට එකඟව මේ ගත්ත තීරණය නිවැරැදියි.

රාජ්‍ය ඇමැති තනතුරක් භාරගන්න යනවා කියලා පක්ෂයට දැනුම් දුන්නද?

නැහැ. පක්ෂයට දැනුම් දුන්නේ නැහැ. මම මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා හම්බවෙන්න ගියා. නමුත් එතුමා ටිකක් කාර්යබහුල තැනක හිටියේ. “මම ජනාධිපතිතුමා හම්බවෙන්න යනවා. මම මේ ස්ථාවරයේ ඉන්නවා” කියන එක කියන්න තමයි මම ගියේ. නමුත් එතුමා හිටියේ කාර්යබහුල තත්ත්වයක. ඊට පස්සේ මම එතුමට ආචාර කරලා ආවා.

පක්ෂයේ ඔබ දැරූ සියලු තනතුරුවලින් නෙරපා හරින්න තීරණය කරලා තියෙනවා?  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ රැ‍ෙ¾දමින් කිසිම භේදයකින් තොරව මේ තනතුරේ, අමාත්‍යාංශයේ කටයුතු කරන්න තමයි මම හිටියෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මගේ සේවය තවදුරටත් අවශ්‍ය නැහැ කියලා තීරණය කරනවා නම් ඒ තීරණයට අපිට විරුද්ධ වෙන්න විදිහක් නැහැ. නමුත් මම තාමත් ශ්‍රී ලංකා කාරයෙක් හැටියට තමයි වැඩ කරන්නේ.

ඔබ ශ්‍රී ලංකාකාරයෙක් හැටියට වැඩ කරනවා කියලා කිව්වට පක්ෂයේ සාමාජිකයෝ ඔබව පක්ෂයෙන් නෙරපා හරින්න කියලා ඉල්ලනවා. තවදුරටත් එහෙම කටයුතු කරන්න පුළුවන්ද ?

මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට ඉන්නවා. පක්ෂය කැමැති තීරණයක් ගනී. ඒකට මට අභියෝග කරන්න බැහැ.

සමහරු කියනවා ඔබ ගිලෙන නැවකට කර තිබ්බයි කියලා. ඇත්තටම එහෙම වෙයිද?

නැහැ. මම එහෙම විශ්වාස කරන්නේ නැහැ. මම ගත්ත තීරණයත් එක්ක බය වෙලා හිටපු ගොඩක් කට්ටියගේ ඒ බය ඇරුණා වෙන්න පුළුවන්. මම බය කියන වචනෙ පාවිච්චි කරන්න ඕනෙත් නෑ. තීරණයක් ගන්න දෙගිඩියාවෙන් හිටපු අය තීරණයක් ගනී කියලා හිතනවා.  ප්‍රියංකර ජයරත්න ඇමැතිතුමා නැවත රාජ්‍ය ඇමැති ධුරය භාරගන්න එකඟ වුණා. මේ පත්තරේ පළවෙන දවස වෙනකොට තවත් ප්‍රතිඵල කිහිපයක් දැන ගන්න පුළුවන් වෙයි. 

ඔබ කිව්වේ රාජපක්ෂවරුන්ගෙන් තොර කැබිනට්ටුවක් අවශ්‍යයි කියලා. හිතනවද ඉදිරියේදී පත්කරන්න නියමිත කැබිනෙට්ටුව රාජපක්ෂවරුන්ගෙන් තොර වෙයි කියලා?

ඒ ගැනත් අපි කල්පනා කළා. ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇමැතිවරයා දරපු පාලනය කරපු ඇමැති ධුරය සහ අමාත්‍යාංශයනේ මට භාර දුන්නේ. ඒකයි මම කිව්වේ ජනතාවගේ ඉල්ලීම අනුව මම එක රාජපක්ෂවරයෙක් ගෙදර යැව්වා කියලා. එතකොට මම දන්න තරමින් බැසිල් රාජපක්ෂ මැතිතුමා, චමල් රාජපක්ෂ මැතිතුමා, නාමල් රාජපක්ෂ මැතිතුමා තනතුරු භාර ගන්නේ නෑ. ඒ වාගේම කැබිනට් මණ්ඩලය අඩු කරල පුළුවන් තරමක් රජයේ වියදම් සියල්ල අඩු කරලා කටයුතු කරන්න ඕනේ. 

සවනි ශේශාධි