මහ රෑ-මහ වැසි මැද ‘මව්බිම’ ගිය ගමන

0
30


මහ වැසි ඇද වැටෙයි. එහෙත් උද්ඝෝෂණවල නිරත වී ඉන්නා සටන්කාමී ජනතාවට ඒ වැසි අකුණු ගැන වගේ වගක් නැත.

ඔවුන් ඒ ධාරානිපාත වරුසාවේත් උස් හ¾ඩින් කෑ ගසා ඉල්ලා බල කර සිටින්නේ ‘හෝ හෝම් ගෝඨා’ කියාය.

මම ඔරලෝසුවේ වේලාව දැඩි සුපරීක්ෂාවෙන් බැලුවෙමි.  එහි සටහන් වූයේ මධ්‍යම රාත්‍රි 11.36 ලෙසිනි.

‘අයියේ – සීතලයි නේද?’ එන්න උණු තේ කෝප්පයක් බොමු.!

‘ගෝඨා ගෝ ගම කඩය’ ලෙස නාම පුවරුවක් එල්ලා තිබුණු අට්ටාලයක් අසල හුන් තරුණයෙක් ඒ සමීපයට විත් කීවේය. 

ඇති පදනමට වැස්සට තෙමී සීතල ඉවසා දරා ගැනීමට නොහැකිව  සිටි මම ඒ ඉල්ලීම පිළිගෙන අට්ටාලයට ගියෙමි.

අට්ටාලය තුළ සිටි පිරිස කඩියන් මෙනි. ඔවුහු ඒ වටා සිටින පිරිසට බිස්කට්, මාළු පාන් හා පරාටා රොටිවලින් සංග්‍රහ කරති.

“ඔයගොල්ලෝ කොහේද? පුදුමාකාර සේවාවක්නේ කරන්නේ…?” මම ඒ අතර සිටි කෙනකු වෙතට ළං වී ඇසුවෙමි.

“මම ෆාහීම්… ඉන්නේ වත්තල… මේ අපේ යාළුවෝ. අපි ඔක්කොම එකතු වෙලා තමයි සල්ලි දාලා මේක සේවයක් හැටියට කරන්නේ…” ඔහු එසේ කීවේ සිනාසෙමිනි.

ෆාහීම්ලාගේ මිතුරු සමාජය තුළ සියලු ජාතීහු සිටිති. ඒ හැම කෙනකුගේම බලාපොරොත්තුව යහපත් දෙයක් වෙනුවෙන් සටන් කරන මේ ජන අරගලකරුවන්ට ශක්තියක් වීමය.

“අපි දිගටම මෙතැනට එන පිරිසට කන්න බොන්න දෙනවා. මේක අපේ යුතුකමක් හැටියටයි සලකන්නේ…”

මා ෆාහීම්ට සමුදුන්නේ එතැන වූ කාර්යබහුලවය තේරුම් ගත් නිසාය.

එළියේ තවමත් මහ වැස්සය. එහෙත් ජන අරගලයේ සටන්කාමී ස්වරූපයට එයින් බාධාවක් නැත.

“ගෝඨා ගෝඨා මේ අහන්න

වැඩ බැරි නම් ගෙදර යන්න!

ගෝඨා ගෝඨා මේ අහන්න

අපේ සල්ලි දීලා යන්න…..!

එසේ කෑ ගසන්නේ  නව යොවුන් වයසේ සිටින තරුණ කෙළි කොලු ගැටවු පිරිසකි. ඔවුන්ගේ උදව්වට ඒ වටපිටාවේ සිටින්නේ මුස්ලිම් යුවතියන් රැසකි.

සාමාන්‍යයෙන් අපි දන්නා මුස්ලිම් ජන සමාජයේ ඉන්නා යුවතියන් එතරම් සමාජශීලීව හැසිරෙන්නේ නැත. එසේ හැසිරීමට තරම් වාතාවරණයක් ඔවුන්ගේ සංස්කෘතිය තුළද නැත. එහෙත් මේ විරෝධතාවයේදී ඔවුන්ටත් ඒ නිදහස ලැබී ඇත්තේ පුදුමාකාර ලෙසටය.

“ජාති, කුල, ආගම් හදලා රට විනාශ කරන්න හැදූ අයට අද වැරදිලා! දැන් අපි හැමෝම ශ්‍රී  ලාංකිකයෝ…! ඒ විදිහෙ රටක් හදන්නයි අපිත් ආවේ. අපි මේ එකතු වෙලා වැඩ කරන්නේ සිංහල යාළුවෝ එක්කයි. ඒක අපිට ලොකු සතුටක්. එසේ කීවේ ඒ යුවතියන් අතර සිටි කොළඹ පෞද්ගලික ආයතනයක විධායක ශේ‍ර්ණියේ රැකියාවක් කරන යුවතියකි.

මුළු ගාලු මුව‍ෙදාර අහස ගුගුරවමින් යළිත් දරුණු අකුණු සර ඇදී යයි. මම තවත් තෙමෙන්නට නොහැකි නිසාම දිව ගියෙ ගෝල්ෆේස් සාප්පු සංකීර්ණය වෙතටය.

“මේක රෑ 10.30ට වැහුවා. දැන් ඇතුළට යන්න බැහැනේ.” එහි සිටි ආරක්ෂක අංශයේ නිලධාරියෙක් සුහදශීලීව කීවේය. එතෙක් ඔහු මට නොතෙමී ඉන්නට හැකි තැනක් සකස් කර දෙන්නට අමතක නොකළේය.

“පසුගිය දවස් තුනේම අති විශාල ජනතාවක් ගාලු මුව‍ෙදාරට ආවා. ඇත්තටම කිව්වොත් වැඩිපුරම දකින්න ලැබුණේ තරුණ පරපුරේ අයයි. ඒ තරුණ පිරිස දිහා බැලූ බැල්මට පෙනෙනවා ලොකු පවුල්වල, ඒ වගේම හොඳ අධ්‍යාපනයක් තිබෙන අය කියලා.

“මේ අය තමයි මේ උද්ඝෝෂණ ව්‍යාපාරය තුළ වැඩිපුරම දකින්න ලැබෙන්නේ. මේක ඇත්තටම පුදුමාකාර උද්ඝෝෂණයක් මහත්තයෝ. ඔහු කීවේ පුදුමයෙන් මෙනි.

ඒ මොහොතේම තවත් දරුණු අකුණක් පුපුරා ගියේ අප තිගැස්මට ලක් කරමිනි. 

“මෙතැනට අකුණු සර වැඩියි වගේ” මම නිකමට මෙන් කීවෙමි. 

“ඔය අකුණු මෙතැනට පාත් වෙන්නේ නෑ. මෙතැන හොරු නැහැනේ.” ඔහු එසේ කීවේ ඔච්චමට මෙනි.

මහ වැසි ඇද වැටුණු ඒ මොහොතේ ජන අරගලයේ ඝෝෂාකාරී බව තරමක් අඩුවිය. ඒ නිසාමදෝ එක දිගට වාහනවලින් නැවත ඇසෙන්නට ලැබුණේ “කපුටු කාක්… කාක්…. කාක්” යන රිද්මානුකූල නළා හඬ සහ “බැසිල්…. බැසිල්… බැසිල්…” යන ඊට පිළිතුරු රිද්මයය.

“මේ මුළු ගාලු මුව‍ෙදාර පළාතේම දැන් දවස් ගාණක ඉඳලම ඇහෙන්නේ ඔය හඬම තමයි….” ආරක්‍ෂක නිලධාරි මහතා නැවත කීවේ සිනාසෙමිනි. තවත් මොහොතකින් මහ වැසි අඩුවිය. මම යළිත් පොද වැස්සේම ජන ඝෝෂාකරුවන් අතරට දිව ගියෙමි. ඇසිල්ලකින් යළිත් නොයෙක් සටන් පාඨ ඇසෙන්නට විය.

මා ඔවුන් අතරින් සීරුවට රිංගා ගියේ එහි සිටි වෛද්‍ය බළකාය වෙතටය. එතැන රතු කුරුස ව්‍යාපාරයට හා සර්වෝදය ව්‍යාපාරයට සම්බන්ධ බොහෝ පිරිසක් ඉන්නා බව මම දුටුවෙමි.

මෙතැන ස්වේච්ඡාවෙන් වැඩ කරන වෛද්‍යවරු රැසක් ඉන්නවා. ඒ පිරිස 600කට වැඩියි. ඔවුන් විටින් විට ඇවිත් අපිත් එක්ක එකතු වෙනවා. මෙතැන වෛද්‍යවරු, හෙද හෙදියෝ වගේම සාමාන්‍ය සේවක සේවිකාවොත් ඉන්නවා.

තවත් වෛද්‍යවරු පිරිසක් බෙහෙත් හේත් අරන් ඇවිත් බෑග් එකේ දමාගෙන මේ වටපිටාවේ ඇවිදිනවා. ලෙඩ වුණොත් ඒ කෙනාට ඒ වෙලාවේම ප්‍රතිකාර කරනවා. ඇත්තටම මේක පුදුම වැඩක්. පුදුම එකමුතුවක්.

නම හෙළි කිරීමට අකැමැති වූ සෞඛ්‍ය සේවකයෙක් කීවේය.

දින කිහිපයකට පෙර ඇරැඹුණු මේ උද්ඝෝෂණ රැල්ලේ සටන් පාඨ ප්‍රබලය. එමෙන්ම ඒ සටන්වලට නායකත්වය ලබාදුන් අයගේ දායකත්වයද ප්‍රබලය. එහෙත් වැස්ස වලාහක දෙවියන් පමණක් නොව 

ස්වභාවධර්මයද ඔවුන් වෙනුවෙන් සෙත් පිරිත් ගායනා කරනා වග දැනෙන්නේ එහි ලෙඩ රෝගවලට ගොදුරු වන්නන් අඩු නිසාය.

“ඊයේ එක් ගායන ශිල්පියෙක් එක දිගට ගී ගැයූ නිසා රෝගී වුණා. අන්තිමට අපි ගිලන් රථයක් ගෙනල්ලා ඔහුව හදිසි ප්‍රතිකාර සඳහා යැව්වා. ඒ ඇරුණු කොට වෙනත් සිදුවීමක් වාර්තා වුණේ නම් නැහැ.”

සෞඛ්‍ය සේවකයා කියූ මේ ගායන ශිල්පියා රැප් ගායක ශිරාස්ය. ඔහු ප්‍රවීණ ගායන ශිල්පියෙකි. අවාසනාවකට ඔහු රෝහලේදී අවසන් ගමන් ගිය එකය. මේ විරෝධතාවලට සහභාගි වූ පිරිස අතරින් රෝගී වී මිය ගිය පළමු පුද්ගලයා ලෙසට ඔහු ඉතිහාසගත විය. එය සැබැවින්ම කනගාටුදායක කරුණකි.

අන්ධකාර භූමියක ස්ථානගත කොට තිබූ කූඩාරම් රැසක් වෙත මගේ අවධානය යොමු වූයේ ඊළඟ මොහොතේය. මම මඩ සහිත ඒ බිමට සීරුවට පා තබා ඇවිද ගියේ එහි සිටි අරගලකරුවන් සමඟ කතා කරන්නටය.

එහිදී මට හමුවූයේ දිවුන්දර සිට පැමිණ මේ අරගලය හා එක්වූ සසිඳුය.

“මේ අසාධාරණයට විරුද්ධව හඬ නඟන්න ඕන නිසාමයි මෙහෙම ආවේ. මම ඉන්නේ හිටපු ඇමැති මහින්ද විජේසේකර මහතාගේ නිවෙස ළඟමයි.”

“ඇත්තටම මම විතරක් නෙමෙයි අපේ පවුල්වල හැමෝම වගේ විටින් විට ඇවිත් මේ ජනඝෝෂාවට එකතු වුණා. ඒක අපි දිගටම කරනවා. මේ සටන නවතින්නේ නැහැ. මේ කට්ටිය ගෙදර යවලම තමයි අපි ගෙදර යන්න හිතාගෙන ඉන්නේ.”

මේ අරගලකරුවන්ගේ එකම අපේක්‍ෂාව ගෝඨාභය ආණ්ඩුව පලවා හැරීමය. එසේ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සාමකාමී විදිහටය.

“අපි මෙතැනට ඇවිත් කූඩාරම් ගහගෙන නැවතුණේ නිකම්ම යන්න නෙමෙයි. අපේ දරුවන්ගේ අනාගතය හදන්න ඕන නිසයි. අපේ දරුවන්ට රටක් ඉතුරු කරන්න ඕන නිසයි.”

“බලන්න මේ වගේ වැස්සක, මේ වගේ මඩ ගොඩක, ගෙදර වගේ පහසුකම් නැතිව අපි මෙහෙම දුක් විඳින්නේ ඇයි? රටට වගේම අපි අපේ දරුවන්ට ආදරේ නිසයි. රාජපක්‍ෂ මහත්තුරු අපේ දරුවන්ගේ අනාගතේ විනාශ කරලා, දාලා ඉවරයි. දැන් මේ රට හදන්න නම් ඔවුන්ව යවන්න ඕන.” එසේ කීවේ කුඩා දරුවකු සමඟ සිටි රජයේ සේවකයෙකි.

“මහත්තයා ඔයා මගේ නම දාන්න. ඕන නම් ෆොටෝ එකකුත් අරන් දාන්න. මම බය නැහැ.” ඔහු ආවේගයෙන් යුතුව යළිත් කීවේය. එහෙත් මාධ්‍යවේදියකු වූ මා ඒ කාරණයේදී තරමක් කල්පනාකාරී වූයේ මේ නිසා ඔහු හෙට දින දේශපාලන පළිගැනීම්වලට ලක්විය නොවිය යුතු නිසාය. 

මේ ජන අරගලය පටන් ගත් මුල් දවසෙ ජනාධිපති ලේකම් කාර්යාල භූමිය අවට තිබුණේ කූඩාරම් කිහිපයක් පමණි. එහෙත් අද වන විට ඒ ගණන දෙතුන් සියයකට වඩා වැඩිය. ලැගුම් ගෙන සිටින පිරිසද සුළුපටු නැත. 

“බොහෝ ස්වේච්ඡා සංගම් වගේම විදෙස්ගත අය අපිට ජංගම වැසිකිළි පහසුකම් ලබා දුන්නා. බීම ගෙනත් දුන්නා. ජංගම දුරකථනවලට ඩේටා කාඩ් පවා ගෙනත් දුන්නා. දැන් අපිට වතුර බෝතලේ ඉඳලා හැමදේම ලැබෙනවා. 

සැරින් සැරේට බිස්කට් හා බනිස් වගේම මාළුපාන් තේ ලැබෙනවා. මේවා කාලා බීලා අපි නිකම් ඉන්නේ නැහැ. මේ ආණ්ඩුව ගෙදරම යවනවා.” 

තවත් සටන්කාමී තරුණයකු එසේ කීවේ මාළු පාන් තිබූ කාඩ් බෝඩ් පෙට්ටියක් දෑතෙහි රඳවාගෙනය. 

“දැන් ඔය මාළු පාන් දෙන කණ්ඩායමට මල්ලිත් හවුල්ද? 

“පිස්සුද අයියෙ? මම මේ සපෝට් එකට අල්ලනවා විතරයි. මේවා කොහෙ ආවේ කියලවත් දන්නෙ නැහැ. මෙතැනට පෙට්ටි පිටින් අරන් ඇවිත් අපිට දීලා යනවා. හැබැයි දෙන අය ගැනත් අපි හොඳ විමසිල්ලෙන් ඉන්නේ. ඒ අයගේ ෆෝන් නම්බර් එක අරන් චෙක් කරලා තමයි අපි මිනිස්සුන්ට දෙන්නේ. කවුද දන්නෙ ගේම්කාරයොත් වස දාලා එවන්න පුළුවන්නෙ.” ඔහු කීවේ පවතින අරගලය තුළ සිදුවිය යුතු විනාශකාරී කාර්යයන් ගැනද අවබෝධයෙනි. 

මේ අවස්ථාවේම මගේ ඇස් දිව ගියේ පොද වැස්සේ කුඩ අල්ලාගෙන සිටින අඹුසැමි යුවළක් වෙතටය. ඔවුන් සිටියේ කුඩා දරුවන් තිදෙනකු සමඟය. දරුවන්ගේ අතේ තිබුණේ සටන්කාමී පුවරුය. 

“දරුවොත් එක්කම විරෝධතා දක්වන්න “ආවා නේද?” මම ඔවුන් වෙතට ළංවී ඇසුවෙමි. 

“දරුවෝ එක්ක ආවේ අපේ විරෝධය ලොකුවටම පෙන්වන්න ඕනෑ නිසා. අනික මේ නැතිවෙන්න යන්නේ දරුවන්ගේ අනාගතයනේ. ඉතින් දරුවෝ ඕනෑමයි කියලා හිතුවා.” එසේ කීවේ පුංචි දරුවන්ගේ තාත්තාය. ඔහුගේ බිරිය අත හුන් දරුවාගේ වයස තවමත් මාස හයකි. 

“මෙහෙම හිටගෙන ඉන්න එකත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් අපිට දැන් ඒක කරන්නම වෙලා. බලන්න අද මේ උද්ඝෝෂණ බිමේ දරුවෝ කොච්චර ඉන්නවද කියලා. අම්මලා තාත්තලා ඒ දරුවන්ව මෙතැනට එක්කරගෙන ඇවිත් තියෙන්නෙම මේ ආණ්ඩුවට ඔවුන්ගේ ප්‍රබල විරෝධය පෙන්වන්න ඕනෑ නිසයි. මේක අපි මැරුණත් කරන්න ඕනෑ.” 

ආණ්ඩුව ගාලු මුව‍ෙදාර පිටිය අලුත්වැඩියා කටයුතු සඳහා වසා දැමුවේ මේ උද්ඝෝෂණය සංවිධානය කෙරුණු පසුගිය 04 වැනි සෙනසුරාදා සිටය. ඔවුන් විසින් බලාපොරොත්තු වූයේ මේ ජන අරගලය දියාරු කර හැරීමටය. 

සාමාන්‍යයෙන් අපේ රටේ කුමක් හෝ දේශපාලන පක්‍ෂයක අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙවැනි ජන උද්ඝෝෂණවලට එකී දේශපාලන නායකත්වයේ අනුග්‍රහය අනිවාර්යයෙන්ම ලැබිය යුතුය. එහෙත් මේ ජන උද්ඝෝෂණයේ සුවිශේෂම කාරණය වන්නේ එය සැබෑවටම සිවිල් ජනතාව සමාජ ජාල වෙබ් අඩවි හා වට්ස්ඇප් ගෘෘප් මඟින් සැලසුම් කෙරුණු විරෝධතාවකි. 

ඒ අනුව පසුගිය සෙනසුරාදා ඔවුන් සැලසුම් කළ පරිදිම ඒකරාශී වූයේය. 

“ආණ්ඩුව ගෝල්ෆේස් පිටිය වහලා. ඒ නඩත්තු කටයුත්තක් සඳහා. අපිත් යමු. ගිහින් ගෝල්ෆේස් පිට්ටනිය හදන වැඩේම උදවු වෙමු.” 

මේ පණිවුඩය සමාජ ජාල වෙබ් අඩවි හා පෙර ලෙසම වට්ස්ඇප් ගෘෘප් හරහා ගලා ගියේ ක්‍ෂණයකිනි.  ඒ අනුව පෙරටත් වඩා තීව්‍ර ලෙස මේ ජන උද්ඝෝෂණයේ සංවිධාන කටයුතු සිදුවිය. ආණ්ඩුවට විරෝධතා නොදැක්වූ තවත් බොහෝ පිරිසක් සක්‍රියව මේ සඳහා මැදිහත් වූයේ ඒ අනුවය. 

“දැන් දවස ගාණේ වතුර බෝතල් මේ භූමියට එනවා. කෑම බීම එනවා. පිටරටවල ඉන්නා අය සුප්‍රසිද්ධ ෆුඩ් සිටිවලට ඔන් ලයින් සල්ලි එවලා අපිට කෑම බීම විතරක් නෙමෙයි, වැහි කබාය, කුඩ හා කෑම බීම එවනවා. 

ඒ වගේම ඒවා භාරගෙන මෙතැනටම ගෙනල්ලා දෙන ධානපතියෝ පවා දැන් මේ විරෝධතා ගොන්නට එකතු වී ඉන්නවා.”

“මොකද අද වෙද්දී රටේ හැම පැත්තක්ම කඩා වැටිලා. සමහර ව්‍යාපාරිකයන්ට තමන්ගේ නිෂ්පාදන කටයුතු කරගන්න අවශ්‍ය කිසිම දෙයක් පිටරටින් ගෙන්වන්න බැහැ.”

ඔහු එසේ කියමින් කෑගසද්දී අවටින් ඇසුණේ මෙවන් සටන් පාඨ කිහිපයක්. 

ඩීසල් ටික ගන්නත් නෑ

පෙට්රල් ටික ගන්නත් බෑ

ලාම්පු තෙල් එන්නෙත් නෑ

පෝලිම්වල අඩුවක් නෑ

ගෑස් පෝලිමේ ඉඳලා

ඇද වැටෙනවා පණ නැසිලා

බෙහෙත් ගන්න දුක් විඳලා

හැරිලා එනව එපා වෙලා

“ඔය අපේ රටේ තියෙන ප්‍රශ්නවලින් ටිකයි. දැන් බලන්න. ජාතිවාදය අවුස්සලා, ආගම් වාදය අවුස්සලා මේ රට කොයිතරම් අගාධයකට ඇදලා දාන්න හැදුවද? මේ තමයි අද පාරා වළල්ලක් වී අපිටම කැරකිලා ඇවිල්ලා තියෙන්නේ. මේවා ඔක්කොම අපේ ඔළුවලට දැම්මේ මේ පාලකයෝයි.” තවත් තරුණයකු කෑ ගසා කීවේ උද්වේගකර හඬකිනි.

ගාලුමුව‍ෙදාර පිටිය අවට හා ෂැංග්‍රිලා හෝටලය අවට මෙන්ම ගෝල්ෆේස් හෝටලය ඉදිරිපස පවා ජන ඝෝෂා කරන පිරිස හඬ නඟන්නේ එකම දෙයක් ඉල්ලාය. ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ගෙදර යන ලෙසය.

“මේ ගොල්ලෝ අන්තර්වාර ආණ්ඩු, සභාග ආණ්ඩු හදන්න හදනවා. රාජපක්ෂවරු එක්ක ඔය මොනවත් කරලා හරියන්නේ නැහැ.  ඒ ගොල්ලෝ එක්ක මේ රට හදන්න බැහැ. ඒකයි අපි කියන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ කියලා. අපි එයා ගෙදර යනතුරු මෙතැන ඉන්නවා.” 

මේ සටහන කියවන විට ඔබේ නිවෙසට සිංහල අලුත් අවුරුද්දේ අසිරිය නිතැතින්ම දැනෙනු ඇත. ඒත් ඒ අසිරිය ඔබට අපට වෙනදා මෙන් සමරන්නට නොහැකිය.

“අපිට වෙනදා වගේ අවුරුදු සමරන්න බැහැ තමයි. නමුත් අපි මේ ‘ගෝඨා ගෝ ගම’ පරිශ්‍රයේ ඉඳලා අලුත් අවුරුද්ද සමරනවා. අලුත් අවුරුදු ක්‍රීඩා කිහිපයකුත් සංවිධානය කර තිබෙනවා. මේවා ඉතිහාසගත වෙයි. අපි අලියට ඇහැ තැබීම වෙනුවට ගෝඨාට මොළේ තියනවා. බලමුකෝ” එසේ කීවේ තරුණ සටන්කාමී කෙල්ලෙකි. 

මේ ජන අරගලය තුළ අපි දුටු සුවිශේෂම කාරණය බවට පත්වී තිබෙන්නේ තරුණ ජවයය. ඒ තරුණ ජවය ඔබ අප සමාජ ජාලා වෙබ් අඩවි හෝ ප්‍රවෘත්ති මාධ්‍ය ඔස්සේ දකිනවාට වඩා අමුතුය. එමෙන්ම ප්‍රබලය. ඒ අමුත්ත හා ප්‍රබලත්වය කොතරම් දැයි තේරුම්ගත හැකි වන්නේ අරගල භූමියට ගොස් පැයක් දෙකක් ගත කළ විටය.

එහි සිටින්නේ අප කවදාවත් දේශපාලන භුමියක එසේත් නැතිනම් දේශපාලන රැස්වීමක දැක නැති ජනතාවක්ය. ඔවුන්ට සැබෑවටම දේශපාලනයක් නැත. ඔවුන් නඟන සටන්කාමී පාඨයන්ගෙන් ඒ බව වඩාත් හොඳින් පැහැදිලි වනු ඇත. එපමණක් නොව, තැනින් තැන ඇසෙන සංගීත රාවයන් හා ගායනාවලින්ද ඉස්මතු වී පෙනෙන්නේ රට, ජාතිය, සාමය ඉස්මතු වන ගීතය. එමෙන්ම දේශපාලනය හා දේශපාලුවන් විවේචනය කරන හරවත් ගීතය.

මැදියම් රැය ගෙවී එළිවෙන්නට හෝරා දෙක තුනක් තිබියදී මා මඳක් විවේක ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැට මායිමේ තැනක වාඩිවෙමිනි. 

“අයියේ… මහන්සිද? කන්න මේ උණු උණු මාළුපාන්.” යෞවනයෙක් මා සමීපයට විත් කීවේය.

“මේ උදේ උණු උණුවේම මාළුපාන්… කොහෙන්ද ගෙනාවේ?”

“අපි දැන් ඒවාට තැන් හොයාගෙන තියෙන්නේ අයියේ. සල්ලි දීලා හදවා ගන්නවා. උදේ වෙද්දි අපේ සහෝදර සහෝදරියන්ට කන්න බොන්න දෙන්න ඕනෑනේ.” ඔහු එසේ කියාගෙන යන්නට ගියේය.  ඒ ඇසිල්ලේ මම අසල සිටි පොලිස් නිලධාරියකු අසලට ගමන් කළෙමි.

“මේ උද්ඝෝෂණ හින්දා  ඔයාලටත් විවේකයක් නැහැ නේද?” මම ඔහුගෙන් ඇසුවෙමි.

“අනේ නැහැ මහත්තයෝ… යුනිෆෝම් එක ඇඳලා හිටියට අපිත් මේ අය වගේම මිනිස්සු. එයාලට තියෙන ප්‍රශ්න අපිටත් තියෙනවා. රාජකාරිය කරන්න ඕන හින්දා මෙහෙම ඉන්නවා. සිවිල් පිට ආව නම් අපිත්  ඒ ගොඩේ.” ඔහු එසේ කීවේ වටපිට බලමින්ය. 

එම නිලධාරියා සමඟ කතාබහ කොට මම ඊළඟට හැරුණේ කිංස්බරි හෝටලය පරිශ්‍රයටය. එහි තිබුණේ අමුතුම විදිහේ පරිසරයකි.

එක් පැත්තකින් පොලිස් බස්රථ කිහිපයකි. තවත් පැත්තක උද්ඝෝෂණවලදී ජල ප්‍රහාර සංග්‍රහයේ යෙදෙන  රථ කිහිපයකි. එසේ නම් එහි අර්ථය ඕනෑම මොහොතක උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලිසිය සූදානමින් සිටිය යුතු බවද? සිවිල් ජන අරගලවලදී එසේ කිරීමට නීතියෙන් ඉඩක් නැත. ඒ නීතිය වඩාත් හොඳින් ඉස්මතු කොට පෙන්වන්නේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධානය.

පොලිසියට සාමකාමී විරෝධතාවලට එසේ ප්‍රහාර එල්ලකොට විසුරුවා හැරීමට බලයක් නැත්නම් ඒ සඳහා කුමක් හෝ කුපිත කරවීමක් සිදුවිය යුතුය. එසේත් නැතිනම් ඒ තැනට වැඩ කටයුතු කළ යුතුය. ඒ සඳහා ආණ්ඩුව තුළ කිසියම් හෝ කූට වැඩපිළිවෙළක් තියේද යන්න දැන් සැක සහිතය.

“ඊයේ අපිට ආරංචි වුණා එහෙම කුමන්ත්‍රණකාරී වැඩසටහනකට ආණ්ඩුව එක්ක ඉන්න හාමුදුරුනමක් යැයි කියා ගන්නා චීවරධාරියකු සූක්ෂ්ම ලෙස සංවිධානය වෙනවා කියලා. ඒ වගේම මිනිස්සු කුපිත කරවන විදිහට මැර කණ්ඩායමක් එවන්නත් හදනවා කියලා. මේවා ගැනත් අපි ඇහැ ගහගෙන ඉන්නේ.”

තවත් පොලිස් නිලධාරියකු එසේ කීවේ ඔහු හදවතින්ම ජන අරගලය සාධාරණ යැයි සිතන නිසා බව මට අවබෝධ විය.

කුමන්ත්‍රණකරුවන් එසේ සිතුවද මේ අරගල භූමියේ සිටින තරුණ කොටස් ඔවුන්ටත් වඩා හැඟීම් දැනීම්වලින් හා සැලසුම්වලින් ප්‍රබලය. ඒ ඔවුන් උගත් බුද්ධිමත් පිරිසක් නිසාය. මේ නිසා කුලියට ගත් හේවායන්ට වඩා මේ ජන අරගලයේ කොටස්කරුවන් සිටින්නේ අඩි ගණනක් ඉදිරියෙනි. 

උදාහිරු නැඟෙන්නට හෝරාවක් දෙකක් ඉතිරිව තිබියදී මම එම අරගල භූමියෙන් සමුගන්නට සිතුවෙමි. එහෙත් ජන හඬ තවමත් ප්‍රබලය.  එමෙන්ම සහභාගි වී සිටි පිරිසේද අඩුවක් දක්නට ලැබුණේ නැත.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

ජායාරූප – අමිත තෙන්නකොන්

 කැලුම් වැලිගම